මලේගේ ආතල්

මලේගේ ආතල්

මළගෙදර අනුන්ගේ පට්ටන්දර හරි හරියට දිගහැරෙන එක තැනක්. එකට එක රවුමට මුහුණට මුහුණ ඉඳගත්තාම ඉතින් කොල්ලෝ ඔලොක්කුවට කරන වැඩත් එමටයි. ඒ සේරෝම මැද තවත් නිදි නැති රෑක මළගේකට කිට්ටු ජෑම් ගහක් යටදියි මලේගේ කතාව එළියට එන්නේ. ඒ මලේගේ අඹ යාළුවෙකුගෙන්.

මලේව ඔරොප්පු කරන්නවත් බාල්දු කරන්නවත් නෙවි, මේ ලියන්නේ කවුරු කවුරුත්, ඒ වගේ සමාජයේ ජීවත්වෙන චරිත දිහෑ මතුපිටින් විතරක් නොබලා, ටිකක් ගැඹුරට වෙන්න ඒ ජීවිත දිහෑ බලලා කරලා, ඒත් මිනිස්සුනේ කියලා අනුකම්පාවෙන් මානුෂිකව බලාවියි කියන අපේක්ෂාවෙන්.

මලේ කීවාම ගමේ කවුරුත් වගේ ඒ කොල්ලව දන්නෙ ටිකක් පේනවා අඩු කෙනෙක් විදිහට. ටිකක් කිව්වට ටිකක්මත් නෙවෙයි කියලාත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතුවත් වැරදි ම නෑ.

මලේ එයාගේ ලෝකේ එයාට ඕනෑ විදිහට හදාගනිද්දී මේ තරමක් අඩුවෙන් ඇස් පෙනෙන ගතිය නිතර ම ඒ ලෝකෙට බලපෑම් කරනවා. කණ්ණාඩි කුට්ටම, ප්‍රේමවන්තිය, මෝටර් බයිසිකලයක් වගේ හුඟක් දේවල් ඒ අතර වෙනවා. මලේ මුහුණ දුන්නු හුඟක් සිද්ධි බඩ බදාගෙන හිනායන ඒවා කියලයි මලේගේ වගතුග අපට කියන මිතුරා කියන්නේ.

ඔයාගේ ඇස් පෙනීම 12%යි කීවාම ඕනම කොල්ලෙකුට ඇතිවෙන දුක මලේටත් දැනෙන්න ඇති. ඒත් මලේ නෙවෙයි ඒ කතාවෙන් කඩා වැටුණෙ. එදා ඉඳන් මේ ඉලන්දාරියට ඕන කරන්නේ ලෝකේ තියෙන මොඩ්ම කණ්ණාඩි කුට්ටම.

ඉතින් ඒ වගේ එකක් හොයන් මලේ අතේ තිබිච්ච ගාණ අතමිට මොළවගෙන කණ්ණාඩි සාප්පුවෙන් සාප්පුවට යනවා. ඒ ගියාම මලේගේ හිතට අල්ලන කණ්ණාඩි කුට්ටම් හමු නොවෙනවාමත් නෙවෙයි. ඒත් මලේ කොලුකමට ඉල්ලන්නේ ම ඒ හිතට අල්ලන කණ්ණාඩි කුට්ටමත් තව ටිකක් මොඩ් කරලා දෙන්න කියලාමයි.

"අනේ සර්, අපි ඔය පුංචි කළේ කරන්න පුළුවන් උපරිම තරම. වෙන නම් බැහැ..."

"මේක තව පුංචි කරන්න" කීවාම හුඟක් කණ්ණාඩි සාප්පුවලින් මලේට පිළිතුරු ලැබුණෙ එහෙම. ඉතින් අන්තිමේදී මලේ ඒ කියන ප්‍රමාණෙට කණ්ණාඩි කුට්ටමක් ගන්නවා. ඒත් මිනිහා ඒක දාගන්නේ මිනිහට හිතිච්ච වෙලාවට. ඒ මලේගේ හිතේ හැටි.

කණ්ණාඩි කුට්ටම එහෙම වුණත් මලේටත් කොල්ලෙක් විදිහට කෙල්ලෙක්ට ආදරේ කරන්න තිබුණේ පුදුම උනන්දුවක්. ඒත් කෙල්ලො බැලුවෙම මලේගේ ඇස් පෙනීමේ අඩුකම දිහෑ. ඒ මිසෙක මලේගේ පිටට නොපෙනෙන අවංක ආදර හිත කෙල්ලො දැක්කෙ ම නැහැ. ඉතින් මලේට සමවයසේ පෙම්වතියක් ලැබුණෙත් නෑ. හැබැයි පහු බැස්සේ මලේ නෙවේ. මලේ හරිද වැරදිද කියලා කියන්න නෙවෙයි මේ හදන්නේ, ඉතින් ඒ මලේගේ හිතේ හැටිනේ. අනෙක මලේ මේ කියන්න යන තැනට වැටෙන්නත් එයාට බලපෑව කායික, මානසික විතරක් නෙවෙයි. සමාජ, සංස්කෘතික කාරණාත් නැතුවමත් නෙවෙයිනේ.

අපේ මිතුරා මලේ ගැන ඒ කියන්න හැදුව කාරණාව ටිකක් පස්සට දාලා මලේගේ ගොස්ප් එකකින් කතාව පටන් ගන්නවා.

"මලයා මාවත් දාගෙන හවසක බයික්කෙකෙන් එනවා. බයික් එක යමරෙට වළවල්වල වැටෙනවා.ඒවා බේරන්න ගියොත් පැදගන්න බැරිවෙනවා බං කිය කිය මලයා කණමරගාතෙ විදිනවා. පස්සෙ ඉඳන් යන මගේ ඇඟේ ලේ වතුර වෙනවා. ඔහොම ගිහින් ගිහින් මරු වැඩක් වුණේ. පොලිසිය බැරියර් දාගෙන එන යන වාහන නවත්වනවා. මලයා ළඟට එනකල්ම පොලිසිය දැක්කෙ නෑ. දඩ බඩෝං ගාලා මලයා ඇනපි බයික්කෙක බැරියරේ... හරියට වළස් මාමා කතාවේ වගේ තමයි. ඒ වුණාට සිරා සීන්නෙක. පොලිසියටත් ඉතින් හිනා. හිනා වෙවීමයි පොලිසියට එදා මලයට දඩේ ලිව්වෙ.

මලේ කොහොම හරි මලේට ම කියලා ලව් එකක් හොයාගත්තා. මලේගේ ඒ තීරණේටත් කලින් කියවෙච්ච හුඟක් කාරණා බලපාන්න ඇති. එහෙම හිත හිතා ඉඳලා විඳිනවා මිසක් විඳවලා වැඩක් නැහැ කියලා කිය කියා මලේ ගිහින් උගේ පුංචි අම්මගේ ගෙදර නැවතුණා. මහත්තයා මැරිච්ච දවසේ ඉඳන් ළමයත් හදාගෙන තනියෙන් හිටිය තරුණ පුංචි අම්මත් මලේට ඒ ගෙයින් දොට්ට බහින්න කීවෙ නැහැ. ඉතින් මලේ එදා ඉඳන් පුංචි අම්මව බලාගෙන කරගෙන එයාගෙ ළමයගේ වැඩවලටත් උදව්වෙවී ඒ ගෙදර බින්න බහිනවා. මේ සිද්ධියට ගම්මු මලයට කතන්දර පිට කතන්දර හැදුවා. ඒ වුණාට ඌ නෙවෙයි ඒවා ගණන් ගත්තෙ. ඔහොම ටික කාලයක් ගිහින් මලයට හිටිහැටියෙ යාළුවො මතක් වෙනවා. ඉතින් දවසක් මේකා තකහනියෙ ඇවිත් මචං කියලා උගේ අතිජාත මිත්‍ර මට මාර පව් සීන්නෙකකට අඬගහනවා.

"මචං සීයව... " ඌ ඒකම දෙතුන් පාරක් කියද්දි මටත් ඔරොප්පු වෙනවා. ඉතින් කියහංකො සීයා මළාද?

"නෑ මචං බැරිවෙයිද සීයව පන්සලේ නවත්තන්ඩ...?" උගේම නෙවෙයි. ඒක පුංචි අම්මගෙයි උගෙයි දෙන්නගෙම ඕනකමට වෙන වැඩක් කියලා අපේ මිත්‍රයාටත් තේරිලා. ඒ හින්දා අපේ මිත්‍රයා මලේට පව්කාර වැඩ කරන්න එපා යකෝ කියලා බැණලා එළවගෙන විතරයි. ඉතින් ඔන්න බලහන්කො මිනිස්සුන්ගෙ හිත්වල හැටි..."

අපි තවමත් ජෑම් ගහ යට. මලේ ගැන තිබිච්ච අනුකම්පාව ඒ කතාව අහලා භූමිකම්පාවක් වගේ එකකට හැරෙනවා. ඒත් එකපාරට ම කට ඉස්සර කරගන්නත් හිත දෙන්නෑ... ජීවිතේ ගැන අමුතු පැත්තකුත් තියෙනවා. ඒ මොකක් දෝ එකට මුහුණ දෙන්න සමාජ ආශ්‍රයත් ඕනෑ කරනවා වගේ ලොකු හැඟීමක් හිතට වද දෙනවා වගේ දැනෙනවා. ඒත් ඒ එක්කම, අද ඉන්න බහුතරයක් පරිගණකගත වෙච්ච යූත් එකට මෙහෙමවත් සමාජෙන් ඉගෙනගන්න අවස්ථාව ලැබෙන්නෙ අඩුවෙන් කියලත් හැඟීමක් ඇතිවෙනවා.