හීන් සැරයෙන් හිස පුරවන්න

හීන් සැරයෙන් හිස පුරවන්න

ගඟකින් එතෙර වන්නට ගිය හිවලෙක් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අමාරුවෙන් සිටින කල්හි එතැනට පැමිණි ඉත්තෑවෙක් හිවලාගේ ඇඟේ සිටින කිනිතුල්ලන් ගලවා දමන්න දැයි විමසයි. මෙයට පිළිතුරු දෙන හිවලා පවසන්නේ ඇඟෙහි සිටින කිනිතුල්ලන් දැන් ලේ බී බඩවැල් පුරවාගෙන ඇති හෙයින් ඔවුන් තවත් ලේ නොබොන බැවින් උන් ගලවා දැමීම අනවශය බවයි. යම් විදිහකින් මෙම කිනිතුල්ලන් ගලවා දැමුව හොත් වෙනත් කිනිතුල්ලන් පිරිසක් පැමිණ ශරීරයේ වසා ලේ බොන බැවින් තමන්ට තවත් අමාරු වන බව හිවලා පවසයි. ඉත්තෑවකුට කියා කිනිතුල්ලන් ගලවා ගැනීම කොතරම් වේදනාකාරී ද යන වග දැන සිටි හිවලා ඉත්තෑවගේ හිතවත්කම ආරක්ෂා කරගනිමීන් වැඩේ ගොඩදා ගත්තේ ය.

සැඩපහරකට හසු වූ හිවලෙකුගේ අවශ්‍යතා ලැයිස්තුවේ කිනිතුල්ලන් ගැලවීම තිබිය හැක්කේ ඉතාමත් පහළිනි. බඩගින්න මෙන්ම ශරීරයේ වේදනාවන්, නිවසට යාමේ වුමනාව, විවේකය වැනි බොහෝ අවශ්‍යතා පසු කරන විට කිනිතුල්ලන් ගැලවීම අවශ්‍යතාවක් විය හැකි වුවද ඉත්තෑවකු කිනිතුල්ලන් ගැලවීමට ඉදිරිපත් වීම තුළ ඇත්තේ හාස්‍යයකි. මෙම කතාව ඊසොප් විසින් වසර දෙදහසකට පෙර ගොතන ලද කතාවක් වන නමුදු මෙහි වලංගු භාවය සදාකාලික වනු ඇත. වර්තමාන ලංකාවට මෙම කතාව අදාළ කරගෙන ඔබ සිතන්න.

හාස්‍ය රසය ජන විඥානයට කතා කළ හැකි ප්‍රබල ම භාවයකි. බුද්ධිය ප්‍රබෝධමත් කළ හැකි අවියකි. ලෝකය පුරා වසර දහස් ගණනක් තිස්සේ ජනකතා, ජනශ්‍රැති, උපමා කතා ආදියෙන් ජන විඥානය පෝෂණය විය. ඊසොප් යනු ග්‍රීසියේ ජීවත් වූ වහල් බවින් මිදුණ බුද්ධිමත් කතන්දර කරුවෙක් ලෙස සැලකේ. ඔහු අදින් වසර දෙදහසකට පමණ පෙර ජීවත් වූ බව කියවෙන අතර ඔහු විසින් කියන ලද කතන්දර ජනවහරින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් සංස්කෘතික වෙනස්කම් සමඟ ජනකතා බවට පත් වී ඇතැයි සැලකේ.

පංච ත්‍රන්ත්‍රය යනු දඹදිව නගරයක රාජ්‍යය පිහිටුවාගත් අමර ශක්ති නම් රජෙකුගේ, බුද්ධිමත් භාවයෙන් අඩු පුතුන් තිදෙනාට ඉගැන්වීම සඳහා විශ්ණු ශර්මන් නැමති පඬිවරයා විසින් අදින් වසර දෙදහසකට පමණ පෙර රචනා කරන ලද කෘතියකි. අධ්‍යාපනය ලබා දීමවිධිමත් ආයතන සහ ක්‍රමවේදයන් තුළින් කළ නොහැකි වූ කල විශ්ණු ශර්මන් පඬිවරයාට කුමාරවරුන්ට දැනුම ලබා දීමට පංච තන්ත්‍රය තුළ ඇති කතන්දර තුළින් හැකි විය. නොපවතින දෙයකින් පවතින දෙයක් විස්තර කිරීම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. උපමාවක් යනු පවතින සංකීර්ණ දෙයක් විස්තර කිරීමට භාවිත කළ හැකි තේරුම් ගත හැකි දෙයකි. නැතහොත් නීරස දෙයක් ඉගැන්වීම සඳහා රසවත් මාධ්‍යයක් භාවිත කිරීමකි.

දෙවුන්දර දේවාලයට එන වන්දනාකරුවන්ට රාත්‍රියේ පාළු කැපීමට කතන්දර් කියූ අන්දරේ වන්දනා නඩයක් සමඟ මහනුවරට ගොස් රජවාසල කවටයා බවට පත් විය. ඔහු හාස්‍යය තුළින් පවතින තත්ත්වයන් සහ සන්නිවේදනයේ අඩුලුහුඬුකම් ප්‍රශ්න කරමින් අසන්නාගේ බුද්ධිය අවධි කරන අතර උපහාසයට ලක් කළ නොහැකි චරිත උපහාසට ලක් කරයි.

මහදැන මුත්තා ද අපේ ජන විඥානයේ තවමත් සිටින එවැනි පුද්ගලයෙකි. ඔහුගේ කතා තුළ හාස්‍යයට ලක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් ය. මිස්ටර් බීන් මිනිසුන් හිනස්සවන්නේ පවතින ක්‍රමයට විරුද්ධ වූ ඔහුගේ ක්‍රියාවන් තුළිනි. එසේ වුවද බීන්ගේ ක්‍රියාවන් පුද්ගල බද්ධ හෙයින් අනෙකාට හානියක් නොවේ. එහෙත් නායකයෙකු ලෙස පෙනී සිටින මහදැන මුත්තාගේ ක්‍රියාවන් ද හාස්‍ය ජනක වන්නේ නොගැලපීමට අමතරව ඒ තීරණ තුළ ඇති විනාශකාරිත්වය නිසාවෙනි.

මෙවැනි ජනකතාවලින් පෝෂිත පරිකල්පනය, බුද්ධිය, ප්‍රතිභාව මෙන් ම ස්ථානෝචිත ප්‍රඥාව අවධි කරවීමට මෙවැනි කතන්දර ඉවහල් වූවා විය හැකියි. "කිරිහාමි", "හීන් සැරය", "මඟුල් කෑම" වැනි කතන්දර තුළින් ද මුනිදාස කුමාරතුංගයන් උත්සාහ ගත්තේ හාස්‍යය තුළින් දරුවන්ගේ බුද්ධිය අවධි කරවීමයි. ආනන්දය තුළින් ප්‍රඥාව කරා ගෙනයාමට නම් නිර්මාණයන් තුළ ආනන්දය මෙන්ම ප්‍රඥාව අවධි කිරීමට සමත් අදහස් ද තිබිය යුතු ය. විශේෂයෙන් දරුවන්ගේ බුද්ධි වර්ධනය සිදු වන අවුරුදු දෙකත් හතත් අතර කාලය තුළ අසන, කියවන මෙවැනි කතන්දර තුළින් අතීතයේ විශාල බුද්ධි ප්‍රබෝධයක් සිදු විය. රූපවාහිනිය ආලින්දය ආක්‍රමණය කිරීමට පෙර බොහෝ විට නිවෙස් තුළ දෙමාපියන්, වැඩිහිටියන් සමඟ ගත කරන සුන්දර පැයක් දෙකක් දරුවනට තිබිණි. ජීවිතයට අවැසි අධ්‍යාපනයක් මෙම කතන්දර අසන දරුවනට ලැබුණු අතර ජීවිත සකස් වීමට මෙම කතන්දර බලපෑවේ ය. සතුන් කතාවල ප්‍රධාන චරිත වීම නිසා වින්දනය වැඩි වූවා මෙන් ම සතුන් පිළිබඳ අවබෝධයක් ද ඇති විය.

රටක සාහිත්‍යය යනු කවියක් කෙටි කතාවක් නවකතාවක් පමණක් නොව එම රටේ ජනශ්‍රැති, ජනකතා, උපමා කතා, කාටුන් මෙන් ම වර්තමානයේ ෆේස්බුක් තුළ ෂෙයාර් කරනු ලබන බොහෝ නිරිමාණයන් ද මෙයට අයත් විය යුතු ය. සමාජ පරිවර්තනයන් හමුවේ නැවතත් කතන්දර කීමට යා නොහැකි වුවත් සියුම් ලෙස දරුවන්ගේ විඥානය සකස් කිරීමට විකල්ප ජන සාහිත්‍යයක් ගොඩනැඟිය යුතු ය.