ජීනියස්  කෙනෙක් වෙන්න  ආසාවක්  තියෙනවා ද?

ජීනියස්  කෙනෙක් වෙන්න  ආසාවක්  තියෙනවා ද?

ඔය ජීනියස් කියන වචනේ අපිට එක එක තැන්වලින් ඇහෙනවනේ. ඕක පාවිච්චි වෙන විදිහට අපි හිතාගෙන ඉන්නේ ජීනියස් කෙනෙක් කියන්නේ අනික් මිනිස්සුන්ට වඩා මාරම මොළයක්, බුද්ධි ප්‍රභාවක් තියෙන, ඒක ලෝකෙට ඵලප්‍රයෝජනයක් වෙන විදිහට යොදවන හාදයෙක් කියලනේ. ඒක සරලව එහෙමයි කියලා ගමුකෝ.

දැන් ලෝකේ මෙතුවක් කාලෙකට හිටපු මාරම ජීනියස්ලා තමයි ඩාවින්චිගේ ඉඳන් අයින්ස්ටයින් දක්වා හාදයෝ. හරි, අපිට ජීනියස් කෙනෙක් වෙන්න බැරිද? බැරිකමක් නෑ, හැබැයි සෑහෙන්න කැපවීමකින් වැඩකරන්න වෙනවා.

මේ කියන්න යන්නේ ජීනියස් කෙනෙක් වෙන්න තියෙන මාර්ගය ගැන තමයි.

1. ඕනෑකම තේරුම් ගන්න

සමහරු හිතාගෙන ඉන්නවා තමන් හෙන මොළකාරයෝ කියලා. සමහරු දන්නවා තමන් මොළකාරයෝ කියලා, හැබැයි ඒ අයට ඊට එහා ගිහින් ජීනියස් ලෙවල් එකට එන්න ඕන කරනවා.

දැන් තේරුම් ගන්න ඕන දේ තමයි ඇත්තටම තමන්ට වුවමනා මොනවද කියන එක. ජීනියස් කෙනෙක් වෙන්න වුවමනා කරන්නේ ලෝකෙට පේන්න නං, කවදාවත් ජීනියස් කෙනෙක් වෙන්න බැරිවෙයි. ඇත්තටම ජීනියස් කෙනෙක් වෙන්න ඕන කරන්නේ තමන්ට ලෝකේ වෙනස් කරන්න, ලෝකෙට දෙයක් කරන්න තියෙන වුවමනාව හින්දා. ජීනියස් කෙනෙක් වෙන එකේ තියෙන ආත්ම තෘප්තිය හින්දා. තමන් ජීනියස් කෙනෙක්ය කියන එක වෙන කවුරුවත් දැන නොගන්නත් පුළුවන්. ඔන්න ඕක තේරුම් ගැනිල්ල තමයි මූලික පියවර.

2. තමන්ගේ ආසාව හොයාගෙන යන්න

සමහරු හිතනවා ජීනියස් කෙනෙක් කියන්නේ හැමදේ ගැනම හැමදෙයක්ම දැනගන්න එක කියලා. හැබැයි එහෙම හැමදේම දැනගන්න ගිහින් නතර වෙන්නේ කිසිම දෙයක් ගැන හරියට දන්නෙ නැති, හැමදේම ටික ටික දන්න කෙනෙක් වෙලා තමයි. ඒ නිසා තමන්ට හැබෑවට ම පරතෙරට ම යන්න ඕන විෂයක්, තමන් ආස ම කරන විෂයක් ‍තෝරගන්න ඕන. ඒ විෂය සහ/හෝ ඒකට අදාළ වෙන වෙනත් විෂයක් දෙකක් ගැන පරිපූර්ණ දැනුමක් ළඟා කරගන්න අතරේ, ලෝකේ අනික් දේවල් ගැන සාමාන්‍ය දැනුමක් තිබුණහම හොඳටෝම ඇති.

හැබැයි මේ ආස දේ හොයාගන්නවා කියන්නේ පුංචි කාලේ වගේ “මට පයිලට් කෙනෙක් වෙන්න ඕන”කියලා හිතන එක නෙවෙයි. ඊට වඩා සීරියස් හිතන්න ඕන තමන් දක්ෂ, තමන් ආස දේ මොකක්ද කියන එක ගැන.

3. පුහුණුව අනිවා!

දැන් තමන්ගේ ප්‍රියතම විෂයක් ‍තෝරාගත්තට පස්සේ ඒ විෂයය ක්‍රමානුකූලව හදාරමින් ඒ විෂයයේ ප්‍රවීණත්වය ළඟා කරගන්න ඕන. අපි හිතමු අපි ‍තෝරගන්නේ දේශපාලන විද්‍යාව කියලා. මුලින්ම කරන්න ඕන අතීතයේ ඉඳන් විෂයක් විදිහට දේශපාලන විද්‍යාව විකාශනය වෙනකල්, එතැන ඉඳන් අද වෙනකල් මිනිස්සු ඒ සම්බන්ධයෙන් එකතු කරගෙන තියෙන දැනුම අපිත් ලබාගන්න එක. ඒක තනියෙන් කරන්නත් පුළුවන්. එහෙම නැතිනම් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හෝ කරන්නත් පුළුවන්.

කොහොම කළත් වැදගත් වෙන්නේ ක්‍රමානුකූල පුහුණුව. මොකද අක්‍රමවත් ඉගෙනීම, පුහුණුව කවදාහරි සාර්ථක වෙන්න පුළුවන් වුණත් ඒකට කාලය නාස්ති වෙන්න තියෙන ඉඩ වැඩි නිසා. ඉතින් මේ න්‍යායික දැනුම බොහොම වැදගත් වෙනවා ඊළඟ පියවරට.

4. ප්‍රායෝගික දැනුම

අපිට පොතේ දැනුම විතරක් අරගෙන කවදාවත් ජීනියස් කෙනෙක් වෙන්න බැහැ. ඇත්තටම පොතේ දැනුම කියන්නේ ජීනියස් කෙනෙක් වෙන්න යන පාරේ බොහොම පොඩි දුරක් විතරයි. එතනින් පස්සේ අපි ඒ දැනුම ප්‍රායෝගිකව යොදවන්න ඕන. ප්‍රායෝගික අවස්ථාවන්ට ඒ දැනුම යොදවලා, ඒ ආශ්‍රයෙන් නව දැනුමක් නිර්මාණය කරන්න, අලුතින් දේවල් ඉගෙන ගන්න ඕන. මේ ප්‍රායෝගික පුහුණුව කියන එක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි අපි කැමති විෂයක් නම් කරන්නේ, බොහොම විනෝදජනක දෙයක්.

 ඒ වගේ ම තමයි අපිට කවදාවත් ප්‍රායෝගික පුහුණුව එක රෑකින් ගොඩදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කියමු සාහිත්‍යයට කැමති හාදයෙක් කියලා. එතකොට ඒ මනුස්සයා දිගින් දිගට ම ලියන්න ඕන. ආයෙමත් කියවන්න ඕන. ඒ අතරේ ලියන්න ඕන. සෙල්ලමක් නෙවෙයි.