කොළඹ කුණු  සල්ලි කරන ක්‍රමය මේකයි ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල

කොළඹ කුණු  සල්ලි කරන ක්‍රමය මේකයි ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල

එදා මීතොටමුල්ල කුණු කන්දට යටවී අහිමි වුණු ජීවිත, උන්හිටි තැන් නැති වී අනාථ වුණු ජීවිත වගේ ම තමන්ගේ සමීපතමයන් පණපිටින් වැළලෙනවා දැක දැක වේදනාවට පත් වුණු ජීවිත ගැන ඒ අමිහිරි මතකය මොහොතකට අවදි කරමුද? එදා ජාතියක් විදිහට අපි හැමෝම එකා වගේ අත්වැල් බැඳගෙන ඔවුන් වෙනුවෙන් අපට හැකි උපරිමය කළ බව සැබෑව.

 නමුත් කුණු කන්දකට යට වී අපේ ම උන් වේදනා විඳ අවසන් සුසුම් හෙළන තුරු ම කුණු ප්‍රශ්නයට විසඳුම් සොයන්නට නොහැකි වීම ජාතියේ ම දුර්වලකමක් ලෙස කැපී පෙනුණ බවත් අමතක කළ නොහැකි ය. මේ වෑයම ඒ අමිහිරි මතකය හාරවුස්සා ඔබ වේදනාවට පත්කරන්නට නොව, කොළඹ අවට කුණු ප්‍රශ්නයට සොයාගත් සාර්ථක විසඳුමක් ගැන ඔබට කියන්නට ය.

කොළඹ අවට එක්රැස් වන දිරාපත් වන අපද්‍රව්‍යවලින් නිෂ්පාදනය කෙරුණු පළමු කොම්පෝස්ට් තොගය පසුගිය අගෝස්තු 29 වනදා කොළඹ නගර සභා පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් වෙළෙඳපොළට නිකුත් කෙරුණු බව ඔබ දන්නවාද? මේ විදිහට කොළඹ අවට කුණු ප්‍රශ්නයට විසඳුම් සොයන්නට සාර්ථක පියවරක් ඉදිරියට තිබ්බෙ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවයි. ඒ මහනගර හා බස්නාහිර සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ.

මේ දැවැන්ත කර්තව්‍යයේ වගතුග අසා දැනගන්න නම් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, අසේල ඉද්දවෙල මැතිතුමා තරම් සුදුස්සෙක් තවත් නොමැති තරම්. මේ ඔහු සමඟ කළ කතාබහ, ඔහුගේ ම වචනවලින්.

“අපේ ප්‍රධාන ම රාජකාරිය තමයි ගංවතුර පාලනය කිරීම සඳහා පහත් බිම් සංවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම හා ඒ ආශ්‍රිතව ඇති ඇළ මාර්ග නඩත්තු කිරීම. ඒ අනුව යම්කිසි පහත් බිමක් සංවර්ධනය කරනවා නම් විශේෂයෙන් ම අපි බලන්නේ ග්‍රැනේජ් සිස්ටම් එක කොහොමද වෙන්න ඕනෙ කියලා.

ඒ ක්‍රමවේදයෙ දි හැම ඇළ මාර්ගයක ම තියෙන ජපන් ජබර ටොන් ගණනාවක් අපි ඇළවලින් සුද්ද කරලා කොහේ හරි ගොඩගහනවා. මම මෙහි සභාපති වරයා වශයෙන් පත්වුණාට පස්සේ තීරණයක් ගත්තා ඒවයෙන් කොම්පෝස්ට් නිපදවන්න. අපි එහෙම ප්‍රවිශ්ටයක් ලබනකොට තවත් අතකින් රජයේ අවශ්‍යතාවක් බවට පත් වුණා, කසළ කළමනාකරණය විධිමත්ව සිදු කිරීම. ඔය සඳහා රජය මුලින් ම අවුරුදු දෙකකට කලින් අමාත්‍යාංශ ලේකම්වරු හතර දෙනෙක්ගෙන් යුතු ප්‍රධාන කමිටුවක් පත් කළා. ඒ කමිටුවෙ සභාපති වුණේ අපේ අමාත්‍යාංශයේ ලේකම් තුමා. ඒ මාර්ගයෙන් කොළඹ අවට කසළ කළමනාකරණය අප ආයතනයට පැවරුණා.

මෙහි සභාපතිවරයා වශයෙන් පත්වුණාට පස්සෙ මම මගේ කළමනාකරණ කණ්ඩායමට ඉලක්කයක් දුන්නා. භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොවී අපි ආදායම් උපයන ආයතනයක් හැටියට නව කළමනාකරණ සැලැස්මක් යටතේ, නව ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා, වෙන ම ආදායම් ඉපයීමේ ක්‍රම හොයාගන්න. ඒ එක්ක ම අපි කැලණිය ප්‍රාදේශීය සභාවත් එක්ක ඒකාබද්ධ වුණා. ඒ වන විටත් ඔවුන් දිරාපත් වන කසළවලින් කොම්පොස්ට් නිපදවීමේ ව්‍යාපෘතියක් කැලණියේ මානෙල්ගම අරඹලා තිබුණා. ඒ කාබනික පොහොර අපි අරගෙන අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් පටන්ගත්තා, “මිහිජය” නමින්. ඒ වගේ ම දියත උයනෙ මිහිජය පොහොර අලෙවි කරන්න වෙළඳකුටියක් ආරම්භ කළා. එය ඉතා සාර්ථකව කෙරෙනවා.මේ විදිහටයි අපි මේ ක්ෂේත්‍රයට පිවිසුණේ.

අපි කොළඹ අවට කසළ කළමනාකරණ කලාපයක් ස්ථාපිත කරන්න මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය තුමාගේ අනුමැතිය ඇතුව කෙරවලපිටියෙ අක්කර පනහක ප්‍රදේශයක් වෙන්කළා. ඒ අනුව කසළ කළමනාකරණය සඳහා ව්‍යාපෘති කළමනාකරුවෙකුත් පත් කරලා අදාළ කටයුතු කරගෙන යනකොට තමයි මීතොටමුල්ලෙ ඛේදවාචකය සිදු වුණේ. පසුව ජනාධිපති තුමාටත් අගමැති තුමාටත් අවශ්‍යතාවක් පැනනැඟුණා මේ කසළ කළමනාකරණ කර්තව්‍ය බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයට සෘජුව පවරන්න. එය ලිඛිතව ජනධිපති ලේකම්වරයා විසින් බස්නාහිර හා මහනගර සංවර්ධන ඇමතිතුමාට පවරලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ කොළඹ කසළ කළමනාකරණ කාර්යභාරය මෙහෙය වීමේ කටයුත්ත අපේ සංස්ථාවට බාර වුණේ.

අද වෙද්දි රාජ්‍ය ආයතන මේ කර්තව්‍යයට විශාල සහයෝගයක් ලබාදෙනවා, විශේෂයෙන් ම පරිසර පොලිසිය, යුද හමුදාවේ කොළඹ අලංකරණ අංශය, නාගරික සංවර්ධන අධිකාරියට අනුයුක්ත කර ඇති යුද හමුදා අනුකණ්ඩය ඉතා විශාල කාර්ය භාරයක් ඉටුකරනවා. ඒ වගේම පළාත් පාලන ඇමතිතුමා, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා, බස්නාහිර පළාතේ මහඇමති තුමා, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ඇතුළු සියල්ලන්ගේ ම උපරිම දායකත්වය ලබා දෙනවා.

එය ඉතාමත් ප්‍රශංසනීයයි. අපේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිතුමා විදිහට ලසන්ත අලගියවන්න ඇමතිතුමා දක්වන සහයෝගයත් විශේෂයෙන් මතක් කළ යුතුයි. මේ කටයුත්තට මහජන සහයෝගය ලබාගැනීම සඳහා දැනුවත් කිරීමේ කටයුතු, ආදර්ශමත් ක්‍රියාපිළිවෙත්, ශ්‍රමදාන කටයුතු, පසු විපරම් කටයුතු බොහෝමයක් ක්‍රියාත්මකයි. දැනට අපේ කෙරවලපිටියේ කසළ අංගණය වෙත සාමාන්‍යයෙන් දිනකට, වෙන්කරන ලද දිරාපත් වන කසළ ටොන් හාරසිය පනහක පමණ ප්‍රමාණයක් අපි ලබාගන්නවා.

ඒ වගේ ම දිරාපත් නොවෙන ප්‍රමාණය ඒ වගේ දෙගුණයක් පමණ වෙනවා. ඒ ගැන කියනවා නම් ඒ දිරාපත් නොවන කොටස සියට සීයක් පරිසර හිතකාමීව ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නෙ නැහැ. නමුත් අපි දවසින් දවස එහි පරිසර හිතකාමී භාවය වැඩිදියුණු කරනවා. දිරාපත් වන කසළ අනිවාර්යෙන් ම කොම්පෝස්ට් බවට පත් කරනවා.”

එසේ නම් ඒ දැවැන්ත කර්තව්‍ය ගැන අසාදැන ගත්තා සේ ම ඒ වෙනුවෙන් අපේ උපරිම දායකත්වය දෙන්නට ද එකා වන්ව කටයුතු කරමු.

කසළ විධිමත්ව බැහැර කිරීමෙන් හා ප්‍රතිචක්‍රීකරණයට සහාය දීමෙන් තවත් එක් ඛේදවාචකයකට මංපෙත් විවර වීම වළකාගත හැක.