අද ගොඩ දෙනෙක් ඉන්නෙ බලෙන් ගෞරව ලබන්න හදන උදවිය  චම්පික ප්‍රියදර්ශන

මල්ලියේ උඹ පිදිය යුතු වීරයෙක්

හුස්ම ගන්නවත් පිට කරන්නවත් මට අමාරුයි කියලා තේරෙන කොට මං ජීවිත ආසාව අතහැරියා. මං නිසා තව කෙනෙක් ජීවත් වෙනවනේ ඒ ඇතියි කියලා මට හිතුනේ. මං මේ ලෝකෙට එන්නේ සල්ලි දීලා මගේ ඇඟ අරගෙන නෙවෙයි නේ. මට යම් හැකියාවක් ලැබිලා තියෙනවා නම් මං එයින් මිනිසුන්ට සේවයක් කරන්න ඕනි. ලෝකේ ආරම්භය ගත්තත් දෙවියන් වහන්සේ මිනිසාව මැව්වා කියන්නේ තවත් ශරීරයකින් ඉල ඇටයක් අරගෙන. ඉතින් මනුස්ස ශරීරයකින්ම කැඩිලා නිර්මාණය වෙනකොට... අම්මා කෙනෙක්ගේ බඩේ මාස ගාණක් ඉන්නකොට අපි දන්නේ නැහැනේ අපි මොන ආගමේද මොන ජාතියේද කියලා. හැම ආගමක ම, ජාතියක ම කියන්නේ යහපත්ව ඉන්න... මිනිසාට සේවය කරන්න කියලා. ඒක තමා අපේ යුතුකම. ඒ යුතුකම අපිට පැහැර අරින්න බෑ "

එහෙම කියන්නේ නවීන් ධනුෂ්ක බණ්ඩාර රත්නායක. එහෙමත් නැතිනම් Ada Derana Sri Lankan of the Year සම්මාන උළෙලේ දී වසරේ නිර්භීතම තරුණයා ලෙසින් සහ පසුගිය ජුනි මාසයේදී හමුදා විරුජන රජිත සම්මානයෙන් පිදුම් ලද ඔහු. 2016 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 18 වෙනිදා වෙනකොට නවීන් සේවය කරන්නේ මඩකළපුව හමුදා කඳවුරේ. එදා මඩකළපුව පාලම අසලින් නගරයට යන නවීන්, මිනිසුන් සෑහෙන පිරිසක් රැස් වෙලා ඉන්න පාලම ගාවින් නවතින්නේ, කිඹුලන් බහුලයි කියන ඒ කළපුවෙන් එළියට කිඹුලෙක් ඇවිදින් දෝ කියන සැකයට. සියල්ල ඇරඹෙන්නේ එතැනින්.

ඒ විදිහට ජල කඳ අස්සේ හැංගිලා තිබුණේ දරු පවුලක් රැගත් ත්‍රීවිල් රථයක්. නමුත් අවට සිටින කිසිවෙකුත් ජලයට බහින්නවත් හිතුවේ නැහැ. වෙච්ච දේ ගැන කම්පා වෙනවා මිසක් කිඹුලන් බහුල, කටු කම්බිවලින් පිරුණු, අපිරිසිදු වතුර තියෙනවා යැයි කියලා කියන ඒ " මඩ කළපුව "ට බහින්න කාටවත් ඕනි වුණේ නැහැ. වෙනත් පවුලක් රකින්න තමන්ගේ පවුලේ හයිය අහිමි කරන්න, පොලිසි ගාණේ ගිහින් උත්තර බඳින්න බැහැ කියලා හිතෙන්න ඇති. හැබැයි මේ එක සිතුවිල්ලක්වත් අවුරුදු 21ක් වෙච්ච නවීන්ට අදාළ වුණේ නැහැ. ඔහුට හිතට වද දුන් එක ම සිතුවිල්ලට පණ පොවමින් නවීන් කළපු ජලය තුළට වේගයෙන් කිමිදෙනවා.

ඒ තරුණ ජවය, ආත්ම විශ්වාසය, නිර්භීතකම ගැන ඔහුගේ වචනවලින් ඔහුට කියන්න කතාවක් තිබුණා.

"මට ඒ වෙලේ හිතට වද දුන්න එක ම කාරණේ ඒ මිනිස්සුන්ව බේරගන්න ඕනි කියන එක. මට බලන් ඉන්න බැරි වුණා. ඒත් මං කවදාවත් මේ විදිහට මිනිස්සු බේරගන්න පුහුණු වීමක්වත් කරලා තිබුණේ නැහැ. මං කළපුව ගාවට එද්දීත් ත්‍රීවිල් එක එළවපු ඒ පවුලේ පිරිමියා ගොඩට ඇවිදින් අඬ අඬා හිටියේ.

අනිත් අය වතුරේ. දෙතුන් සැරයක් කිමිදිලා, ආච්චි කෙනෙක්වයි, පුංචි දරුවෝ දෙන්නෙක්වයි මං ගෙනාවා. එයාලා සැරින් සැරේ අරගෙන එද්දී ඒක ලේසි වුණේ නැහැ. අන්තිම පාර ගොඩට ආවම මට තේරුණා මට තවත් ඉන්න බැහැ... හුස්ම ගන්න අමාරුයි කියලා.

ඒත් ඒ වෙද්දී කෙනෙක් ඇවිත් කිව්වා තව ගෑනු කෙනෙක් වතුරේ ඉන්නවා කියලා. මං ආයෙත් කිමිදුණා. මං මැරෙයි කියලා මට දැනුණා. මට තනියම කරන්න බැහැයි කියලා හිතෙද්දියි මං උඩට ඇවිදින් උදව් ඉල්ලුවේ. ඒත් කවුරුත් ලණුවක් දෙන්නවත් ආවේ නැහැ. අඩු තරමේ ඒ වෙලේ මට කවුරු හරි වචනයකින්වත් හයියක් වුණා නම් වටිනවා. ඒත් ඒ මිනිස්සු හෙළවෙන්නේවත් නැතිව ඔහේ බලන් හිටියා.

මැරුණත් කමක් නැහැ... තව මනුස්ස ජීවිතයක් ජීවත් කරවන්නයි මට ඕනි වුණේ. වතුරෙන් මාව උඩට තල්ලු කරනවා කියලා දැනෙද්දීත් මං යට ගිහින් ඒ ගෑනු කෙනාවත් අරන් ආවා. ඒ වෙද්දී මට මාවවත් මගේ හුස්ම වැටෙනවා කියලාවත් දැනුණේ නැහැ. ඒත් කාගෙවත් උදව්වක් නැති තැන එයාව රෝහලට ගෙනියන වගකීම ගන්න වුණෙත් යට ඇඳුම් පිටින්ම හිටිය මට. ඒකට කමක් නැහැ. ඒත් මට තිබුණ දුක, ඒ ගෑනු කෙනා ගොඩට ගෙනාවමත් ඇඳුමක් හදන්නවත් කිසිම ගෑනු කෙනෙක් උදව්වට ආවේ නැහැ. එතන මිනිස්සු ගොඩක් හිටියා. කෙනෙක්ගේ ආත්ම විශ්වාසය, නිර්භීතකමට එහා ගිය දෙයක්. මට ඕනි දෙයක් ඕනි කෙනෙක් වෙනුවෙන් කැප කරන්න පුළුවන්. ක්‍රියාත්මක වෙන්න ඕනි තැන ක්‍රියාත්මක වෙන්නයි ඕනි.

මමත් එතැන හිටියා කියලා පෙන්නන්න වීඩියෝ කරන්නයි දැන් ඉන්න මිනිසුන්ට ඕනි. මනුස්ස ජීවිතයක් නැති වුණොත් වීඩියෝ එක බල බලා මොනවා කරන්නද? ඇත්තට ම මිනිස්සු ගැන දුකයි. අද තාක්ෂණය නිසා මිනිස්සු සෑහෙන්න පිරිහිලා. ඉස්සර තාක්ෂණය මේ තරම් දියුණු වෙලා තිබුණේ නැහැ. ඒත් මිනිස්සු ගාව මනුස්සකම තිබුණා. ඒත් අද ඉන්නේ යන්නං වාලේ යන පිරිසක්. ජීවිතයක වටිනාකම මිනිසුන්ට තේරෙන්නේ නැහැ"

ඒ, ජීවිත බේරා ගන්නට මරණය හා සටන් කළ තරුණයාගේ හැඟීම. අත්දැකීම. දැක්ම. ඒත් එදා කළපු ජලය අස්සේ නවීන්ගේ හුස්ම වියැකුණා නම්... අවුරුදු 21ක තරුණයෙක්ගේ නිර්භීතකම කළපු ජලයට පැරදුණා නම් මේ කතාව වෙනස් විදිහට ලියවෙන්න තිබුණා. නමුත් ඔහුගේ සිතුවිලි උතුම්. එය ඒ ජල කඳටත් දැනෙන්නට ඇති.

බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබන නවීන් පාසල් කාලයේ පටන් පිහිනුම් ක්‍රීඩාවේ දක්ෂයෙක්.

තමන්ගේ හැකියාව මනුස්සත්වයේ සලකුණක් කළ ඔහු සැබෑවට ම වීරත්වයේ සලකුණක්.

"එදා කළපුවෙන් ගොඩ ගත්තු ඒ දරුවෝ අද ආයේ දකිද්දී දැනෙන සතුට කියන්න බැරි තරම්. මනුස්සයෙක්, ගහක්කොළක්, සතෙක්... ඒ හැම දෙයක්ම වටිනා ජීවිත. අපි හැමෝම පොත් වගේ. කාලෙක මේ ලෝකෙට ඇවිදින්, පෙරවදන, පටුන, ජීවිත කතාව ලියලා පොතට නිමාවක් තියලා, අපි මැරෙනවා.

කවුරු හරි අපේ පොත පුස්තකාලෙක තැන්පත් කරනවා. අපි ආයෙත් නොදන්නා තැනකට ගිහින් පොතක් ලියනවා. ඕක තමයි ජීවිතේ. ඒ ජීවිතේට වටිනාකමක් දෙන්න පුළුවන් නම්, ඕනම මොහොතක ඒ ජීවිත වෙනුවෙන් සේවය කරන්න පුළුවන් නම් එච්චරයි."