මට අද කෝවිල් යන්න  හොඳ නැහැ..

මට අද කෝවිල් යන්න  හොඳ නැහැ..

මට පේන්නේ ඒ දෙන්නගෙ ම මොළේ, ටයිම් එක අනුව සාපේක්ෂව වෙනස් වෙනවද කොහෙද? මාග්‍රට් නැන්දා හිතං ඉන්නවා යශෝ අක්කා අපේ අයියගේ කරේ එල්ලෙන්න යනවා කියලා... අපේ අයියා හිතන් ඉන්නවා අනුරාධ සර් සින්ඩිව දැලේ දාගන්න යනවා කියලා... සින්ඩි කියනවා වගේ පයිත්තියම් අප්පා..

"චූටි පුතා" අප්පච්චි ඇවිත්..

"එනවා අප්පච්චි.."

"කෝ පුතේ සින්ඩි.."

ගෙට ගොඩ වෙන්නත් කලින්ම මමී හොයන්නේ සින්ඩිව.

"ආ.. මේ ළඟ දේවාලෙට ගිහින් එන්නම් කියලා අයියා එක්ක ගියා මමී.. "

"අයියා එක්ක ? තනියම ?? "

"ඔව්.. මටත් යං කියලා සින්ඩි කරදර කරා. ඒත් මට අද කෝවිල් යන්න හොඳ නැහැ.. මොනවද ඒගොල්ලන්ගේ තියෙනවලු නේද ලෙඩ දවස්වලට යන්න එපා කිලි කියලා.. ඒත් ඉතින් එහෙම කියලා සින්ඩිටත් ඉන්න කියන්න බැහැනේ.. ඉතින් අයියා එක්ක යැව්වා.. පව්නේ මමී. එයා හෙට යනවනේ.. "

මමී මොනවත් නම් කිව්වේ නැහැ.. හැබැයි ටිකක් වෙලා කල්පනා නම් කරා.. මං කිව්වේ බොරුවක් කියලා එයා දැනගෙනවත්ද ?

අයියා එද්දී අප්පච්චිලත් ඇවිත් සෑහෙන වෙලා.. ඒත් අයියවයි සින්ඩිවයි අල්ලගන්න ඊටත් වැඩිය ගොඩක් වෙලා ගියා.. අයියා ආව ගමන් අප්පච්චි එක්ක මොකක් හරි කතාවකට ගියා. සින්ඩි නම් තාම කාමරේ.. සුභද්‍රා ඇන්ටි ඉන්න නිසා මොකුත් අහන්න බැහැ . මං ඉතින් සාලේ මැද්දට වෙලා මගේ ඩයරි එක ලිය ලියා උන්නා.. ඩයරි ලියන්න මට පුරුදු කරේ සින්ඩි.. එයාටත් තියෙනවා හෙන පතරංග ජාතකේ වගේ ඩයරියක්.. එයාත් හැමදාම ඕක ලියලා අල්මාරිය අස්සේ හංගනවා. අනුන්ගේ ඩයරි කියවන එක හොඳ පුරුද්දක් නෙවේ නිසා බලන්නත් බැහැ. ඒක කියෙව්වා නම් සේරම කතන්දර ටික දැනගන්න තිබ්බා. මාග්‍රට් නැන්දා නම් කවදාවත් ඩයරි කියවන්න යන්නේ නැහැ. ඒ අතින් එයා හරි වැදගත්.

අපේ අයියා නම් අනේ මන්දා.. එයා නම් ඉස්කොලෙන් අවුට් වුණායින් පස්සේ ඩයරි එකක් ලියනවා තියා අකුරක් ලියනවාවත් මං කවදාවත් දැකලා නැහැ.. එයාගේ තියෙන්නේ ලැප් එක එක්ක කොට කොට කරන වැඩ.

"නංගි.... පොඩ්ඩක් කතා කරමුද ?"

ඒ අයියා.. අප්පච්චිත් එක්ක එයාගේ කතාව ඉවර කරලද කොහෙද කෙලින්ම ඒ පැත්තේ ඉඳන් ආවේ..

"කෝ සින්ඩි? "

"කාමරේ නේද .. සුභද්‍රා ඇන්ටි එක්ක ඇති.. එනවකො යන්න එළියට.. මේක අපි දෙන්නගේ කතාවක්.. ප්‍රසිද්ධියේ කියන්න බැහැ."

එහෙම රහස් කතාවකට නම් අපිට දවල් රෑ වෙනස් නැතිව තියෙන්නේ ගල් බංකුවේ හෙවණ තමා. එහෙම නැතිනම් මගේ කාමරෙන් එළියේ බැල්කනි එක.. එතනට වැඩිය ගාඩ්න් එක මැද්දේ තියෙන ගල් බංකුව ගාව ෂුවර්.. කාටවත් ඇහෙන්නේත් නැහැ.

"මොකෝ සින් එක? සුභද්‍රා ඇන්ටිගේ වත්තේ ප්‍රශ්නේ ඉවරලුද ?"

මං ඇහුවේ ඉතින් පුරුදු ගල් බංකුවේ ඉඳගන්න ගමන්.

"ඒක නම් ඉවරයිලු. ගැමුණු අන්කල් සුභද්‍රා ඇන්ටිට තේ වත්ත දීලා පැත්තකට වෙලා.. මිනිහට තියෙන ඉඩම්වල හැටියට ඕක ප්‍රශ්නයක්ද? මේ ඒක නෙවේ.. මං අද කාසිවත්තට ගියා. සින්ඩිගේ ගෙවල් තිබුණ දිහාවේ."

"ඊට පස්සේ."

ඊට පස්සෙයි අයියා වෙච්ච දේවල් ඔක්කොම කියාගෙන කියාගෙන ගියේ..

"මොකක් ? අච්චර සින්ඩි පැනලා ආව දේවාලේ හරියෙමද ඔයා සින්ඩිව කාර් එකේ දාලා තනියම ගියේ ?? ලොකු ?? ඔයා මාර මනුස්සයෙක් නේ හලෝ.. මොළේ නැද්ද?"

"නෑ නෑ. .මං පේන දුරින් කා එක නැවැත්තුවේ. කා එකේ වීදුරු කළු නිසා එයාව පේන්නේ නැහැ නේ කාටවත්.. එහෙම අවුලක් වුණේ නැහැ. මං එද්දී ම වගේ තමයි සින්ඩි නැගිට්ටෙත්"

"හ්ම්ම් .. ඊට පස්සේ මොකද වුණේ? රාධා මොකද කිව්වේ ?"

"මං වැඩි දෙයක් කිව්වේ නැහැ.. මං කිව්වේ සින්ඩි මගේ යාළුවෙක් කියලා.. "

"එයා එකපාර පිළිගත්තාද ඔයා එහෙම කිව්වම.."

"නැහැ .. මං ඊට පස්සේ සින්ඩිගේ ෆොටෝ එකක් පෙන්නුවා."

"ඊට පස්සේ?"

"ඊට පස්සේ තමා හොඳම සීන් එක වුණේ.. රාධායි මීනම්මායි මට පොඩි බඩු පෙට්ටියක් දුන්නා. ඉබ්බෙක් දාපු පෙට්ටියක්. පොඩි යකඩ පෙට්ටියක්.. එයාලා කියනවා ඒක සින්ඩිට දෙන්නලු.. පරිස්සම් සහිතව.. ඒක සින්ඩිගේ අතට දෙන එකලු ලෙච්චමීගේ අන්තිම කැමැත්ත වුණේ."

"ලෙච්චමීගේ ?? ඒ කිව්වේ සින්ඩිගේ අම්මාගේ ??"

"ඔව්.. එයා මැරෙන්න කලින් දවසේ ඇවිදින් ඒ පෙටිටිය දීලා ගිහින් තියෙනවා. මීනම්මාටයි රාධාටයි ඒක දීලා තියෙන්නේ.. කවදාහරි සින්ඩි එයාලව හොයාගෙන ආවොත් ඒ පෙට්ටිය එයාට භාර දෙනවා කියන පොරොන්දුව පිට. ඉතින් එයාලා මට ඒක දුන්නා.."

"ඉතින්.. ඔයා ඒක සින්ඩිට පෙන්නුවාද ?"

"නෑ නංගි.. මට තේරෙන්නේ නැහැ මොකක් කරන්නද කියලා... මං ඒක එහෙමම ගෙනත් කාර් එකේ ලොකර් එකට දැම්මා.. ඊට පස්සේ කෝවිලට ආවා.. "

"කෝවිලට ඇවිදින් සින්ඩි මට කෝල් කරා.. දැන් එතකොට සින්ඩි දන්නේ නැද්ද ඔයා කොහෙද ගියේ කියලවත් ?? ඒ එයාගේ ගෙවල් පැත්ත නම් එයාට අඳුරගන්න බැරි වෙන්නේ නැහැ නේ.."

"මං හිතන්නේ නැහැ.. එයා ඇහැරුණා විතරයි මං එද්දී.. අනික මං වත්ත මැද්දේ නැවැත්තුවේ. මං හිතන්නේ නැහැ අඳුරගන්න ඇති කියලා.. කෝවිල ගාව නවත්තපු වෙලේ නම් එයා ටිකක් බහින්න අදිමදි කරා. මං හිතන්නේ බයට වෙන්න ඇති. පස්සේ අවුලක් වුණේ නැහැ. කවුරුත් එයාව අඳුරගත්තේ නැහැ.. ඇඳුම් පැළඳුම් වුණත් දැන් වෙනස් නේ.. "

"හ්ම්ම්... ඊට පස්සේ මොකද වුණේ?.."