සුකුරුත්තන් සමාජයක සීනිබෝල ක්ෂණික ආතල්

සුකුරුත්තන් සමාජයක සීනිබෝල ක්ෂණික ආතල්

වර්තමාන යුගය සෑම අතින්ම අභියෝගාත්මක වූ යුගයක් බව අපි සියලු දෙනා පිළිගන්නා කාරණයකි. ලෝක පරිමාණයෙන් ගත්තද ලෝකය තුළ අද දවසේ ඇත්තේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයකි. අභියෝගාත්මක යුගයකට අවශ්‍ය වන්නේ විචාරශීලි මනසක් සහිත මිනිසුන් ය. නැතහොත් අභියෝගයන් විසින් මිනිසුන්ව ගිලගනු ඇත. ලෝකයේ රටවල් කිහිපයක් හැරුණු විට බොහෝ රටවල් තුළ අර්බුධවලින් පිරුණු කාල පරිච්ඡේදයක් පවතින බව ලෝකයේ සිදු වන සිදුවීම්වලින් තේරුම් ගත හැක.

ලාස් වේගාස්වල එක් මිනිසෙකු විසින් සමුහ ඝාතනයක් සිදු කරනුයේ කිසිඳු අපේක්ෂාවකින් තොරව ය. මේ නිසා අප සමඟ සිටින අනෙකා කවර ආකාරයේ පුද්ගලයෙකු දැයි පූර්ව නිගමනයකට එළඹීම අසීරු කර ඇත. පවුල් ඒකකයෙන් පටන් ගෙන සමාජ සබඳතා දක්වා සියලු සබඳතා තුළ අපේක්ෂා භංගත්වය, අඩු වැඩි වශයෙන් සාපේකෂව නිර්මාණය කර ඇත.

මෙවැනි යුගයක මානව සම්පත ඵලදායි ලෙස ක්‍රියා නොකරන අතර ආයතන සබඳතා මෙන්ම පවුල් සබඳතා තුළත් මිනිස් සම්බන්ධතා තුළත් ඇත්තේ ඇල් මැරුණු ස්වභාවයකි. ලංකාවේ මිනිස් සබඳතා, ආයතන සබඳතා, හරස්කඩක් තුළ මේ සියල්ල නිරූපණය වනු ඇත. එහෙත් ගැටලුව වන්නේ මෙවැනි යුගයක අවසානය කෙබදු එකක්ද යන්නයි. දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික බලවේග විසින් නිර්මාණය කර ඇත්තේ ක්ෂණික මානවයෙකි.

ඔහු තීරණ ගනු ලබන්නේ දිගු කාලීන ආයෝජන හෝ දිගු කාලීන බලාපොරොත්තු මත නොවේ. මේ මොහොතේම අත්විඳිය හැකි ප්‍රතිලාභ පමණක් සිතන අතර හෙට දවස ගැනවත් පැහැදිලි අදහසක් නැති මිනිසුන් බහුල වී ඇත. මේ නිසා දිගු කාලීන තිරසාර සංවර්ධනය පිළිබඳව හෝ තිරසාර සාමයක් ගැන කතා කිරීමත් මේ මොහොතට සීමා වනු ඇත .

ඩෙංගු අවසන් වී නැතත් දැන් ඩෙංගු ගැන කතා කරන්නට කෙනෙක් නැත. පෙර පරිදි ම කසළ බැහැර කෙරේ. සිදු වූයේ සහ සිදු වනුයේ මිනිසුන් මිය යාම පමණකි. ජීවත් වන මිනිසුන්ට ඇත්තේ ක්ෂණික සහනයකි. ඒ සඳහා වෙළඳපොළ තම නිෂ්පාදන ඉදිරිපත් කර ඇත. පසුගිය වසර ගණනාවක් තිස්සේ විශාල පිරිසක් මිය ගිය ඩෙංගු රෝගයට මිනිසුන් සොයාගත් විසඳුම වූයේ පැඟිරිතෙල් සහිත ආලේපයක් ශරීරයේ තවරාගෙන, ජීවත් වීම පමණකි.

එසේ ම වකුගඩු රෝගයට විසඳුම වූයේ ෆිල්ටර් කරන ලද ජලය මිලට ගෙන පානය කිරීමයි. ලංකාව පුරා හතු පිපෙනවාටත් වඩා වේගයෙන් වර්ධනය වූ ෆිල්ටර් කරන ලද ජලය විකුණන කඩවල් හැරෙන්නට පිරිසිදු ජලමූලාශ්‍ර රැකගැනීම වෙනුවෙන් කිසිඳු විසඳුමක් සොයාගැනීමට නොහැකි වූයේ ක්ෂණික කොත්තුවේ සිට ක්ෂණික සෝවාන් වීම දක්වා සියලු දෙය කෙටිකාලීනව සොයන්නාවූ පුරවැසියන් නිසාවෙනි. මේ ක්ෂණික මිනිසුන් වෙනුවෙන් ක්ෂණික ආර්ථිකයක් ද නිර්මාණය වී ඇත. ක්ෂණික ආර්ථිකයේ ප්‍රධාන ම පාරිසරික හානිය වන්නේ ඇසුරුම්කරණයයි.

යුගයක් තුළ පවතින සංස්කෘතිය යනු එම යුගයේ වින්දන රටාවකි. වින්දන රටාව නිර්මාණය වන්නේ එයට බලපාන දෘෂ්ටිවාදයන් නිසාවෙනි. මේ නිසා අප මෙහිදී සැලකිල්ල යොමු කළ යුත්තේ මේ සංස්කෘතිය පිටුපස ඇති දෘෂ්ටිවාදය කෙරෙහි ය. ලිබරල් ධනවාදය නැමති දෘෂ්ටිවාදයට සියල්ල හසු වී ඇත.

මේ නිසා ධනවාදී යුගයක පවතින පවුල් හා ආයතනික සංස්කෘතීන් නිර්මාණය කරන සංස්කෘතිය නැවත වරක් පවුල් හා ආයතනික සබඳතා නිර්මාණය කරන නිසාවෙන් විෂම චක්‍රයකට හසු වූ සංස්කෘතියක් නැවත සකස් කිරීම පහසු වන්නේ නැත.

සමාජයේ කුඩා ම ඒකකය පවුලයි. සමාජයක් නිවැරදි කිරීමට අවශ්‍ය නම් එය ආරම්භ කළ යුත්තේ නිවසෙනි. මක් නිසාද යත් ඕනෑම පුරවැසියෙකු පවුලක සාමාජිකයෙකු වන බැවිනි. ලංකාවේ අද දවසේ පවතින දියාරු වී ගිය සබඳතා සහ සන්නිවේදනය විධිමත් කිරීම, සමාජය නිර්මාණය කිරීමේ පළමු පියවර විය යුතුයි. මවුපියන් මුදල් පසු පස හඹා යාමත් මත් ද්‍රව්‍යවල ගොදුරු බවට පත්වීමත් ජනමාධ්‍යයන්ගේ ගොදුරු බවට පත්වීමත් නිසා පවුල තුළ අන්තර් සබඳතා අඩු වී ඇත. මේ නිසා පවුල තුළ ඇති සෙනෙහස, ආදරය, රැකවරණය, සංවිධිත භාවය, විනය නිර්මාණය කිරීම වෙනුවෙන් වෙහෙසීමට මවුපියන්ට කාලයක් නොමැති වීම නිසා අසංවිධිත, හීන විනයක් සහිත පවුල් ඒකක බහුල වී ඇත.

මේ නිසා සමාජයට පිවිසෙන්නේ හීන පෞරුෂයක් සහිත මිනිසුන් පිරිසකි. ඔවුන් විසින් නිර්මාණය කරනුයේ ක්ෂණික කොත්තු ගණයේ විසඳුම් මිස තිරසාර විසඳුම් නොවේ. අද දවසේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සියලු ක්ෂේත්‍රවල අත්දකිනුයේ මෙවැනි විසඳුම් පමණි. එයින් සිදු වනුයේ ගැටලු තව දුරටත් උග්‍ර වීම පමණකි. තවදුරටත් ඉදිරිපත් කෙරෙන තිරසාර විසඳුම් පිළිගැනීමට තරම්වත් මානසික සංයමයක් නැති පරිපාලකයින්, නායකයින් විසින් මුළු රට ම ක්ෂණික කොත්තුවක් කරමින් සිටියි. වසර තිහක් යුද්ධය රැකගත් නායකයින්ට වසර තිහක් සාමය රැක ගැනීමට නොහැකි වන්නේ මෙම යථාර්ථය තුළයි. වගා සංග්‍රාමය ක්ෂණික කොත්තුවකට වඩා යමක් කිරීමට නම් පළමුව සිදු කළ යුත්තේ සංස්කෘතික විප්ලවයකි. අවශ්‍ය තරම් ගැඹුරට මුල් නොඇදුණු සියලු ගස් උදුරා වැටීමට හෝ මිය යාමට උරුමයි. සංවර්ධනය ගසක් නම් එහි මුල් වනුයේ සංස්කෘතියයි.