දෛවය වෙනස් කළ දිරිය ගැහැනිය  ශාරා

දෛවය වෙනස් කළ දිරිය ගැහැනිය  ශාරා

තරුණ ගෑනු ළමයි ලස්සන වෙන්න කරන්නෙ නැති දෙයක් නෑ. එත් බැඳලා ළමයෙක් දෙන්නෙක් ලැබුණම එයාලා තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්න වෙලාවකුත් නෑ. මොකද ගෙදර වැඩයි ළමයින්ගෙ වැඩයි මදිවට ස්වාමිපුරුෂයාගේ වැඩ ගොඩත් කරලා දාලා පස්ස බලද්දි දවස ගොවිලා ගිහිං. උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා නිදාගන්න යනකම් රොබෝ කෙනෙක් වගේ වැඩ කරන ගැහැනිය ඇත්තට ම හදවතක් හයිකරපු මැෂිමක් වගේ.

ඉතින් බඳින්න කලින් රිය සකක් වගේ තිබුණු පුළුල් උකුලයි මිටින් ගතහැකි ඉඟසුඟයි බැන්දට පස්සේ දන්නෙ ම නැතිව තාර බැරල් එකක් වගේ, කිසිම හැඩයක් නැතිව අවලස්සන වෙනවා. ළමයි ලැබිලා ටයර් බැහැලා බලන් ඉන්දැද්දි කැත වෙච්ච බොහෝ ගෑනු උදවිය මානසිකව හඬා වැළපෙන්නෙ හොර රහසේ. ඒ දුක, ඒ වේදනාව ගොඩක් පිරිමි උදවියට පේන්නෙ නෑ.

අයියෝ කොච්චර ලස්සනට හිටියද මම? මට මොකක්ද මේ වුණේ? මොන ඇඳුමක් ඇන්දත් කිසිම හැඩයක් නෑ. දැන් මගේ මිනිහා මං දිහා බලන්නෙවත් නෑ. ඔෆිස් එකේ මොකෙක් හරි එකියක් එක්ක පැටලිලාද දන්නෙ නෑ. ඔන්න ඔය වගේ නානා ප්‍රකාර දේවල් ගැන හිත හිතා අතට අහුවෙන හැම දේ ම කකා තව තවත් තඩි බැරල් වෙන මේ ගෑනු උදවිය ඊළඟට ඉන්නේ දවසෙ ම හිතින් වැළපෙමින්. බුම්මගෙන. හැමදේම එපා වෙලා. ඉතින් ලංකාවේ ගෑනු අයගෙන් බහුතරයකගේ අවාසනාවන්ත තත්ත්වය ඕකයි.

වත්තල පැත්තෙත් මෙන්න මේ වගේ ගෑනු කෙනෙක් හිටියා. මං දැන් මේ කියන්න යන්නේ එයාගේ සත්‍ය කතාව. ඉතා ම අඩු වයසින් කසාද බැන්ද මේ ගෑනු ළමයා හරි ම ලස්සනට හිටියා. පළවෙනි ළමයයි දෙවෙනි ළමයයි ලැබුණම එයා අසාමාන්‍ය විදිහට මහත් වුණා. කටට බ්‍රේක් නැති නිසා අහුවෙන අහුවෙන හැමදේම කාලා එයා බලන් ඉඳිද්දි තව තවත් මහත් වුණා.

හරිම ලස්සනට බඳින්න කලින් හිටපු මේ ගෑනු කෙනා තාර බැරල් එකක් වගේ කැතවෙන්න ගත්තේ බලාගෙන ඉඳිද්දි. මේ නිසා ම එයා හිටියේ පුදුම කලකිරීමකින්. ඇඳුම් කඩවලට ගිහින් ෆිටෝන් රූම්වල ඇඳුම් ඇඟට දාගන්න බැරිව එයා අඬපු වාර අනන්තයි. අප්‍රමාණයි. ඩමිවල ලස්සනට තියෙන ඇඳුම් අරන් අඳින්න තියා ළඟට ගන්නවත් බැරි තරම්.

මොන ඇඳුම ඇන්දත් කිසි ම ලස්සනක් නෑ. බැරල් එකකට රෙද්දක් පෙරෙව්වා වගේ.

මේ නිසා ම මෙයා හිටියෙ අධික මානසික පීඩාවකින්. බලාගෙන ඉඳිද්දි ම කොණ්ඩෙ පවා යන්න ගියා. ගෙදර වැඩවලින් දරුවන්ගෙ වැඩවලින් හෙම්බත් වෙලා හිටපු මෙයා කණ්ණාඩිය ඉස්සරහා දී තමන්ගේ අවලස්සන වුණු ඇඟ දිහා බලන් රහසින් සිය දහස් වාරයක් අඬන්න ගත්තා. ඉස්කෝලෙ කාලෙ පින්තූර දිහා බලාගෙන අනන්ත අප්‍රමාණව වැළපුණා.

අයියෝ මට මේ මොකක්ද වුණේ? ඇයි දෙයියනේ මට මෙහෙම වුණේ? මේ විදිහට දවස ගාණේ වැළපෙමින් හිටපු මගේ මේ කතානායිකාව එන්න එන්නම තව තවත් මහත් වුණා මිස එක දශමෙකින් කෙට්ටු වුණේ නෑ. කිලෝ සීයයකට අධික තරබාරු ගැහැනියක් ජීවිතේ වෙනස් කරගන්න ඕනෙ කියන අදිටන ගත්තා, දවසක් දා උදෑසනක.

ඉර කිරණ පොළොවට වැටිලා අඳුර දුරු කරනවා වගේ ම තමාගේ ජීවිතේ මෙතෙක් කල් තිබුණු මේ අඳුර සහමුලින් ම නැති කරලා දානවා කියලා අදිටන් කරගෙන, එදා උදේ ඇඳෙන් නැගිටපු ඇය මුලින් ම උදෑසන දුවන්න පටන් ගත්තා. ඉන් පස්සේ ජිම් එකකට ගිහින් ව්‍යායාම කරන්න පටන් ගත්තා. කෑම එක්තරා ක්‍රමයකට ගත්තා. කට සහමුලින් ම පාලනය කරගත්තා.

පිරිමියෙක්ට විතරක් නෙවෙයි ගැහැනියකටත් අරමුණක් සහ ඒ අරමුණ කරා යන්න කැපවීමක් තියෙනවා නම් ජය කනුව ළඟට යන්න වැඩි කාලයක් ගත වෙන්නෙ නෑ. ඒකට අවශ්‍ය ඇත්තට ම ධෛර්යය, කැපවීම සහ ඕනෑකම විතරමයි. ඉතින් මං මේ කියන ගෑනු කෙනා නිවැරදි උපදේශයන් යටතේ ව්‍යායාම්වල නිරත වුණා.

අධික වැඩ රාජකාරි රැසකට කොටුවෙලා හිටියත් එයා ඒ වෙනුවෙන් කාලය කළමනාකරණය කර ගත්තා. සමහර වෙලාවට දරුවන් ඉස්කෝලෙට අරලවලා ගෙදරට එන අතරෙදි පැයක් ව්‍යායාම් මධ්‍යස්ථානයට ගියා.

ගෙදරට යාළුවො ආපු වෙලාවට කඩේට ගිහින් එන්නම් කියලා සපත්තු දෙක බෑග් එකක දාගෙන හොරෙන් ජිම් එකට ගිහිං ආවා. මේ බොරුවක් නෙවෙයි. ඇත්තට ම ඇය අවුරුද්දක් මේ විදිහට කැප වුණා.

ඒ කැපවීමේ විශිෂ්ට ඵලය ඇය අද භුක්ති විඳිනවා. දැන් මං කියන්න යන්නේ ඇය කව්ද කියලා. ඇය තමයි ගයනි ගිසන්තා වෙරළවිතාන. ඒත් ඇයව හැමෝම දන්නෙ ශාරා වෙරළවිතාන කියලයි.

ඇය දැන් ප්‍රකට ව්‍යායාම් උපදේශිකාවක්. ඇගේ ව්‍යායාම් මධ්‍යස්ථාන දෙකක් වත්තල සහ කඳාන ප්‍රදේශවල පිහිටලා තියෙනවා. ශාරාගේ ඒ මධ්‍යස්ථාන දෙකට දවසකට අතිවිශාල පිරිසක් ව්‍යායාම් කරන්න එනවා. එදා කුස්සියට වෙලා අඬ අඬා ජීවිතේ ගැන කලකිරිලා හිටපු ඒ ගැහැනිය එහෙමත් නැත්නම් ශාරා අද තමන්ගෙ ම ව්‍යාපාරයක් කරමින් මුදල් හම්බ කරන දිරිය කාන්තාවක්.

ඇයගේ මහන්සිය, වුවමනාව, කැපවීම, ධෛර්යය මේ හැම දෙයක් ම නිසා ශාරා අද ජීවිතය ජය අරං. ඇත්තට ම ශාරාගේ ජීවිතයෙන් තරුණ ගෑනු ළමයින්ට විතරක් නෙවෙයි වයසින් මුහුකුරා ගිය ඔබටත් y අතිරේකය කියවන හැමෝටමත් ගන්න ආදර්ශ අපමණයි. ඇය වැටුණ තැනින් ආයෙමත් නැගිට්ටෙ ගැහැනියකට කරන්න බැරි දෙයක් නෑ කියලා ඔප්පු කරමින්.

ජීවිතේ අභියෝග රැසකට මුහුණ දීලා ඒවා ජය අරගෙන, අද ශාරා දෙපයින් හිටගෙන ඉන්නවා. ඔයාලට ම පේනවා ඇති, ශාරාගේ පරණ පින්තූරයයි අද පින්තූරයයි දිහා බැලුවම ඇගේ කැපවීම කොතෙක්ද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නෙ, එන්න එන්නම වයසට යනවා කියලයි. ඒත් ශාරා නම් දවසින් දවස හිටියටත් වඩා තරුණ වෙනවා.

එයාගේ පරණ පින්තූරයයි දැන් ඉන්න විදිහයි දැක්කම ඔයාලටත් පුදුමයි නේද? පුදුම වෙන්න එපා. ශාරාට විතරක් නෙවෙයි ඔයාලටත් පුළුවන් ජීවිතේට මේ වගේ වටිනාකමක් දෙන්න. ඉතින් y කියවන ඔබට අපි හැමදාම කළේ ජීවිතේ ජයගන්න පාර පෙන්නපු එකයි. මේ විදිහට ශාරාවත් ඔයාලට අපි හඳුන්වලා දුන්නේ ඒ ජය ගත්ත දිරිය කතකගේ සත්‍ය කතාව හරහා ඔබේ ජීවිතයත් ජය ගන්න මාවත එළිපෙහෙළි කර ගන්නනයි.

ශාරා අද සුම්බා සහ ව්‍යායාම් උපදේශිකාවක් ලෙස ජීවිතේ දීර්ඝ ජයග්‍රාහී ගමනක නිරත වෙනවා. ඉතින් ශාරාට මේ ගමනෙදි උදව්උපකාර කරපු හැමෝම ආදරයෙන් මතක් කරන්නත් එයාලට ස්තූතිවන්ත වෙන්නත් අමතක කළේ නෑ,

ඒ වගේ ම ඇගේ සෙවණැල්ල වගේ පිටිපස්සෙන් සිටගෙන මේ ගමන තව තවත් ශක්තිමත් කරන ඇගේ සහෝදරිය ප්‍රමී වෙරළවිතානවත් ඇය සිහිපත් කළේ ආදරයෙන්.

මේ අපූරු ගැහැනිය හෙවත් ශාරා තමන් වගේ ම අධික තරබාරුකමින් පීඩා විඳින සෑම කාන්තාවකට ම ජීවිතේ වෙනස් කරගන්න විදිහ කියා දෙන්න සූදානමින් ඉන්නෙ. ඇගෙන් උපදේශයක් ගන්න.

එහෙමත් නැත්නම් ව්‍යායාම් මධ්‍යස්ථානයට බැඳෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න එයාගෙ දුරකථන අංකය- 0773888886. ශාරා බලන් ඉන්නවා පීඩාවෙන් ඉන්න ඔබට පිහිට වෙන්න. ඉතින් අළු ගසා දමා දැන් ජීවිතය යළි අරඹන්න නැඟිටින්න.

ඔබේ ඇඟ ඇතුළෙ නිදා සිටින ශාරාව අවධි කරවන්න. ඒ , ටික කලක් මහන්සි වී අතර මඟ අතහරින්නට නෙවෙයි. අරමුණ ජයගන්නකම් ගමනේ යෙදෙන්නයි. මේ එයට හොඳ ම කාලයයි.