පිරිමින්ට දුක හංගනවට වඩා ආදරේ හංගන්න පුළුවන්

පිරිමින්ට දුක හංගනවට වඩා ආදරේ හංගන්න පුළුවන්

උදේ ඉඳලා රෑ වෙනකල් හිනා ම වේගෙන ඉන්න හිත්වල මොනවා හෝ දුක් කතා ටොන් ගණන් තියෙනවා කියලා කොහෙහරි තිබුණා. (මට හිනා වෙන්න පුළුවන් ඕන තරම්. මේ දැනුත්. හිතන්න එපා මං දුකින් කියලා ඒ මගේ හැටි.)

මට ඔයා ගැන හිතන්න අයිතියක් නැති බව දැන දැනම, ඔයා ගැන හිතන එකට මම සමාව ගන්නෙ නෑ. ඇත්තට ම ඒ ඔයත් ඒ තරමට ම මං ගැන හිතන බව දන්න හින්දා. මොකටද මං සමාව ගන්නෙ? ඔයයි මාව මෙතනට ගෙනාවෙ... ඔයා ගැන හිතන්න සැලැස්සුවෙ... ඒක හරි කතාවක්නෙ. කෙනෙකුට පුළුවන්ද එහෙම කරන්න. ඔව්. ඔයා හිතන්නෙ මං නොහිතන එක ගැන නෙවේ. මං හිතන එක ගැන. ඔයා කියයි මට පව් පුරවන්න එපා කියලා. ඒතැන ඉඳලම ඔයා මං ගැන හිතනවා. ඒ ගැන හීනි ආඩම්බරයක් නැතුව නෙවේ.

මට ඕනෙ, ඔයාගෙ උරහිසට ඔළුව තියාගෙන බස් එකක දුර ගමනක් යන්න. කෙටි ගමනක් අපිට හිමි නිසාම නෙවේ, අඬන්න හිතුණම අඬන්න... පාළු කඩයක තේ කෝප්පයක් බොන්න... රස්නෙට තියෙන රොටියක් කන්න... කතා නොකර අහගෙන ඉන්න... ඒත් ඔයා කියයි අපි ළංවෙනවා කියන්නෙ දුක තුරුල් කර ගන්න එක කියලා. "හ්ම්ම්" කියලා මට පැත්තකට වෙලා ඉන්න තිබුණා. ඒත් අපි ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනා කියලා ඔයා ම කියනකොට මං කොහොමද ඉන්නෙ? ඒ කියන්නෙ සතුටින් ඉන්නවා කියන්නෙ ඒකට. දුකෙන්ද ඉන්නෙ කියලා මං අහන්නෑ. මොකද පිරිමින්ට දුක හංගනවට වඩා ආදරේ හංගන්න පුළුවන්.

ඒත් මං හොයන්නේ ආදරයක් නෙවේ, ආරක්ෂාවක්. පිරිත් නූලක්. හරියට ඔයා වගේ. අයිතිකර ගැනීම ගැන හීනයක් නෑ. මොකද අයිති දේවල් ලැබුණම ඒකෙන් වැඩක් නෑ. ඒ කියන්නෙ අයිතිකර ගන්න බැඳීමකට වඩා අහිමි වෙන බැඳීමක අමුතු රහක් තියෙන හින්දා. එහෙම කිව්වෙ තවත් අයිතියක් වෙනුවෙන්. නැතුව අයිතියක් ලියවිලා තියන තැනක් වෙනුවෙන් තවත් කෙනෙක් අයිතිවාසිකම් කියන්න ආවොත්? බය කියන එක ගැහැනු හිතකට දැනෙන්නෙ කොහොමද කියලා මං ඔබට කියයි. ඒත් පිරිමි බය නොවී ඉන්න එක ගැන මට බයක් දැනෙනවා. මං කෙටියෙන් කියන්නම්. ගැහැනු හැඟීම්වලට බයයි.

අපි කතා කරලා තිබුණෙ නෑ ඒ කියන්නෙ. කොහොමද ඔය තරම් බැඳුණෙ? මටත් තියෙන එකම ප්‍රශ්නෙ ඒක. බැඳීම් නං කොහොම ඇතිවෙන්න බැරිද? ඒත් දැක්ක ගමන්... කටහඬ අහපු ගමන්... බැඳීම් ඇතිවෙන්න පුළුවන් වුණත් මේක මහ පුදුම බැඳීමක්. ආදරයක් කියලා කවුරුහරි වරදවා තේරුම් ගනී කියලා බයයි. නෑ. මේක බැඳීමක්. බැඳීම් ගැන හරි බයෙන් ඉන්නෙ. ආදරය බිදුණා වගේ නෙවේ බැඳීමක් බිදුණම.

ඇස් රතු වෙනකල් අඬලා අඬලා ඇඬුවෙ නෑ වගේ ඉන්න පුළුවන් විදිහෙ අරුමපුදුම හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න දන්නවා වුණාට, ඔයා දන්නවා මං ඇඬුවම. ඔයාව ඉල්ලලා අඬන්න මට ඕන කමක් නෑ. මං අඬලා තියෙනවා ඒ අඬන්න ම ඕන දේවල්වලට. මට ඇඬුණම ඔයා සතුටු වෙනවා කියලා මං දන්නවා. ඒක කඳුළු එක්ක තියෙන තරහක් නෙවේ. සී ටී බී බස් එකක සල්ලි නොදී ගියාම දැනෙන සතුට වගේ හීනී එකක්. බැඳීමක් වෙනුවෙන් අඬනවා කියන්නෙ එතන තියෙන කඳුළුවල මොකක් හරි රසායන ද්‍රව්‍යක් තියෙන්න පුළුවන්. ඔබ සතුටු වෙන්නෙ අන්න ඒ බැඳීම ගැන.

මට කතා කරන්න ඕනකමක් තිබුණෙ නෑ. මොකටද හිත් රිදව ගන්නෙ? මං හිතුවෙ එහෙම. ඒත් කතා කරපුවම මෙච්චර හිත සැහැල්ලු වෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ. මං දැනන් හිටියේ නෑ ඔයා වැඩියෙන්ම කතා කරලා තියෙන්නෙ මට කියලා. ඒක මට නිකමටවත් හිතුනේ නැති කතාවක්. ඒ තමයි අර කියපු හිත සැහැල්ලු වෙන කතාව. ඕන තරම් කතා කරන්න ඇති. ඒත් ඒ අපි ගැන නෙවේ. අපි කතා කළේ ඔයත් මාත් අතර තියෙන හිස් අවකාශයක් ගැන. එතනට ඔයාටවත් මටවත් එන්න බෑ. ඇත්තට ම අපට එතනට එන්න ඕනකමක් නෑ. කවුරු හරි කියයි මේක නං ආදර කතාවක් කියලා. එහෙම කිව්වොත් ඒක මහ මෝඩ කතාවක්.