කරගමුද කපුකමක්?

කරගමුද කපුකමක්?

මඟුල් කපුකමත් එක එක්කෙනාට එක එක විදිහට පෙනේවි. ඒ කෙරුවාව අද, එදාට වඩා නම් වෙනස්. ගෙන්ගෙට ගාටන කපු මහත්තුරු, කපු නෝනලා දැන් අඩුයි. නමුත් විවාහ මංගල සේවාවලින් අපූරුවට ඒ අඩුව පිරිමැහෙනවානේ. මේ කතාබහ ඒ සම්බන්ධව දීර්ඝ කාලීන අත්දැකීම් ඇත්තියක් සමඟයි. ඇය තලංගම ශුභා ශ්‍රී මංගල සේවයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා බුද්ධිකා වික්‍රමසේකරයි.

“මේ ඉතින් මොඩ් කාලෙනෙ. මගුල් කපුවොත් කපෝති ඇති?”

“ම්හ්... මොන. අපි ඕසෙට වැඩ. හැබැයි පුතෝ අප්ඩේට් විදිහට.”

“ඒ කිව්වෙ?”

“අලුත් ටෙක්නොලිජියට. තාක්ෂණෙත් ඉතින් විවිධාකාරයිනේ. ඒත් ඒ විතරක් මදි.”

“මොනවද වෙන?”

“කනෙක්ෂන්ස් උපරිම තියෙන්න ඕනෙ. මනාල-මනාලියෝ දහස් ගණනකගේ වගතුග නිතරම ළඟ තියෙන්නත් ඕනෙ. හැබැයි තව එකක් කියන්න ම ඕනෙ. අවංකව, සාධාරණ, යහපත් විදිහටමයි මේ සේරම කරන්න ඕනා.”

“ඉඳහිට හරි අසාධාරණ ඉල්ලීම් එහෙමත් එන පාටයි?”

“මෙහෙමනේ... මැදි වයසෙ නැතිනම් වියපත් සමහර මනමාල මහත්තුරු ළමිස්සියොමනෙ ඉල්ලන්නේ.”

“මළකෙළියයි. ඉතින් ඉතින්?”

“එහෙම කොහොමද?අපි ඉතින් එයාලට තේරුම්බේරුම් කරලා දෙනවා, හැඟීම්වලින් නෙවෙයි බුද්ධියෙන් ජීවිතේ තීන්දු තීරණ ගන්නය කියලා. ඒකයි නුවණට හුරු. කසාද බඳින්නේ හැමදාටමනේ.”

“ඒකත් එහෙමද? එතකොට යූත් එක?”

“එයාලා දැන් හරිම සෝෂල්නේ.”

“පැහැදිලි කළොත්?”

“හුඟක් කොල්ලො හොයන්නේ කෙල්ල පාටීස්වලට එහෙම යනවද? ඒ ගිහින් සෝෂල් විදිහට ඉන්න දන්නවද? ඩාන්ස් කරනවද? ඉංග්ලිෂ් පුළුවනිද? ඔන්න ඔව්වා තමයි.”

“එතකොට කෙල්ලො?”

“ඒත් ටිකක් ඒ විදිහම තමයි. හැබැයි කොල්ලට “බර” තියෙනවද එඩියුකේටඩ්ද කියලා හොයනවා.”

“එහෙම නම් ඇන්ටිලා අංකල්ලා?”

“ඒ අය විවිධාකාරයි සමහරු සාම්ප්‍රදායික විදිහටමයි හිතන්නෙ. ඒ අතර වෙනස් විදිහට හිතන කට්ටියත් නැතුවම නෙවෙයි. ඒ සමහර මතිමතාන්තර මතක් වෙද්දී හිනාත් යනවා.”

“හිනා නොවී කියමුකො එකක් දෙකක්...”

“හතර කේන්දරේ පාළු නම් කපෝතියි. එහෙම අයට මගුල්තුලා හරියන්නේ ම නැතැයි කියලා ඒ කට්ටියමයි හිතින් මවාගන්නෙ. තව ඔය සමහරු මනමාලිගේ කකුලෙ ඇඟිලි සේරෝම බිම වදිනවද කියලා එහෙම හොරෙන් විපරම් කර කර බලනවා.”

“මාමණ්ඩිලා?”

“ඒ හුඟදෙනෙක් හරි සයිලන්ස්. නැන්දම්මලා තමයි වැඩිපුර කතාබහට එන්නෙ.”

“ලේලිලා නැන්දම්මලා ඇල්ලුව අඩව් එහෙමත් ආරංචි වෙනවා ඇති නේද?”

“මොකෝ නැතිව? එහෙම එකක් මොහෙමයි. ඒ නැන්දම්මා පැන්ෂන් ගිය ටීචර් කෙනෙක්. එයාට පුත්තු ම දෙන්නෙක් හිටියේ. මෙයා ලොකු පුතාටත් ලස්සන ටීචර් කෙනෙක් ම හොයලා බැන්දුවා. ඒ අලුත් ජෝඩුව ළමයිබමයි හදාගෙන මහ ගෙදරමයි හිටියෙ.”

“ඊළඟට?”

“පොඩ්ඩා (පොඩි පුතා). එයාටත් ලොකු තැනකින් බැන්දුවෙ. ඒත් ඒ ජෝඩුවට නම් ළමයි ලැබුණේ ම නෑ. දැන් නැන්දම්මට නම් මේක ඉවසන්න ම බෑ. එක ම ගෙදර උඩ-යට තට්ටුවලමනේ මේ ජෝඩු දෙක ම හිටියේ.”

“සෙත්ශාන්ති පස්සෙ එහෙම හුඟක් යන්න ඇති?”

“ඒ ගිහිල්ලත් ඵලක් වුණේ නෑ. ඒ පාර තමයි නැන්දම්මා හිතුමතේ හිතුවක්කාර පාරක ගියේ. එක්කෝ අපි ඒ ටික කතා නොකර ඉමු. ඒක එච්චර සතුටුදායක කතාවක් නෙවෙයි.”

“ඒත් පොදු සමාජ යහපතට කිව්වොත් නරකද?”

“හොඳයි. එහෙනම් අහගන්නකෝ... නැන්දම්මාට අලුත් ලේලිගෙනුත් දරුවෙක් ඕනම කළා. ඒ ආසාව ඉෂ්ට කරගන්න මේ අම්මණ්ඩි නෑනා-මස්සිනාලා එකතු කෙරෙව්වා.”

“ඒ කිව්වේ එයාගෙ ම ලොකු පුතාවයි බාල පුතාගෙ බිරිඳවයි?”

“ඔව්. අම්මාගේ කීමට පිටුපාන්න බැරිම තැනයි පුතා ඒකට එකඟ වෙලා තිබුණේ. පොඩි ලේලිත් එහෙමයි. ඒත් ඒකෙන් වුණේ අහිංසක කුරුලු කූඩු දෙකක් කැඩිච්ච එක විතරයි.”

“ඇයි මොකද වුණේ?”

“එදා හිසරුදාවක් හැදිලා ලොකු ලේලි වේලපහ ගෙදර එනවා. ඒ ඇවිත් කාමරේට ඇතුළු වෙද්දි ම මේ අනඟ රැඟුම ඇස් දෙකෙන් ම දකිනවා. ඒ ළමයා ඒ මොහොතෙ ම දරු පැටවුන්වත් අරන් ගෙයින් දොට්ට බැහැලා යන්න යනවා. අදටත් ඒ පවුල් දෙක ම සී සීකඩ.”

“ඒ කතාව ශෝචනීයයි. කියමුකෝ තව එකක් දෙකක්?”

“එක සල්ලිකාර මහත්තයෙක් හිටියා. එයාගේ නෝනා නම් එච්චර සල්ලි බාගෙ තිබිච්ච කෙනෙක් නෙවෙයි. ඒත් මහත්තයා නෝනට ඒ අඩුව දැනෙන්න දුන්නෙ නෑ. නෝනා ගෙයක් ඉල්ලුවා. මහත්තයා ඒක අරන් දුන්නා. නෝනා කාර් එකක් ඉල්ලුවා. මහත්තයා ඒකත් අරන් දුන්නා. නෝනට මහත්තයාමයි ඒ වාහනේ පදින්නත් හුරු කළේ. ඉන් පස්සෙනෙ අනේ වැඩේ වුණේ.”

“ඇයි නෝනා කාර් එක හප්ප ගත්තාවත්ද?”

“නෑ නෑ. ඊටත් වඩා ලොකු දෙයක්නෙ කරගත්තේ. නෝනා ඒ කාර් එකෙන්මනේ වෙන මිනිහෙකුත් එක්කලා පැනලා ගියේ.”

“අනේ පව්නේ. ඒ මහත්තයා හරියට දුක් වෙන්නැති?”

“එහෙම තමයි. කාලයක් තිස්සෙ ඒ මහත්තයා සාංකාවෙන් ඉන්නෙ. හැබැයි අදටත් ඒ මහත්තයා අර නෝනගේ හැඩහුරුකම් තියෙන මනමාලියක් හොය හොයා ඉන්නෙ. එයාව දාලා ගියත් ඒ මහත්තයා තාමත් එච්චරට ම ඒ නෝනට ආදරෙයි.”