යුරෝපය හොල්ලන ලංකාවේ කොල්ලා

යුරෝපය හොල්ලන ලංකාවේ කොල්ලා

මං කමාජ් සිල්වා. වයස දැන් නම් අවුරුදු 34ක්. අවුරුදු හතක විතර ඉඳන් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. නමුත් ලංකාවට යනවා එනවා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු කරලා, මං එංගලන්තයට යන්නේ මගේ උපාධිය හදාරන්න. එහිදී මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැවත ලංකාවට ඇවිත් තමයි කැනඩාවට එන්නේ. ඒ මාස්ටර්ස් කරන්න. මං ඉගෙනගත්තේ චිත්‍රපටි නිෂ්පාදන කටයුතු සහ ප්‍රවර්ධනය සම්බන්ධයෙන්.

ඊට පස්සේ ඒ ක්ෂේත්‍රයේ ම අවුරුදු 5ක් තිස්සේ වැඩ කරා. එහෙම වැඩ කරගෙන ඉද්දි එක මොහොතකදී ඒ ආයතනයේ හිටපු 450ක් විතර පිරිසකගේ රැකියාව නැවතුණා. එතැන තමයි හැරවුම් ලක්ෂය වුණේ. රැකියාව නැතිවෙලා දවස් දෙකක් ගත වෙද්දී මං sneakertub පටන් ගන්නවා.

මේ සංකල්පය අනුව අපේ සයිට් එකෙන් කවුරු හරි සල්ලි දීලා පැකේජ් එකක් ගන්නකොට සපත්තු ජෝඩුවකට අමතරව තව මොනා හරි ඇඳුම්, තොප්පි වගේ දේවල් ටිකක් අපි ඒ පුද්ගලයාට ගැලපෙන විදිහට යවනවා. තමන්ගේ පැකේජ් එක ගෙදරට එනකම් එයා දන්නේ නැහැ එයාට සපත්තුවලට අමතරව වෙන මොනවද ලැබෙන්නේ කියලවත්. හැබැයි ඒක ආස හිතෙන කුතුහලයක් තියෙන වැඩක්.

එදා රැකියාව නැතිවෙලා ගෙදර එන ගමන් මං මගේ බැංකුවේ ගිණුම් ශේෂය බැලුවා. ඒකෙ තිබුණෙ ඩොලර් 700ක් විතරයි. මොකද ඒ කාලේ අලුතින් ගෙයක් ගත්තු නිසා මගේ අතේ ඉතුරු වෙලා තිබුණේ එච්චරයි. ඒ 700 තමයි වැඩේට යෙදෙව්වේ. මං පෞද්ගලිකව සපත්තුවලට එහෙම ආසයි. මට ඒ පැත්තෙන් මොකක් හරි කරන්න ඕනි කියලා අයිඩියා එකක් තිබුණා. මහා ලොකුවට සැලසුම් කරලා පටන් ගත්තු දෙයක් නෙවෙයි. නමුත් කරන වැඩේට සෑහෙන්න මහන්සි වුණා. මුල් මාසේ ලාභයක් තිබුණෙ ම නැහැ.

 ලාභයක් ලැබෙන්න, මාස දෙකක් විතර ගියා. මොකද කරන්න ඕනි කියලා හිතලා පටන් ගත්තට ඒ වෙද්දී ක්ෂේත්‍රයවත් ක්ෂේත්‍රයේ අයවත් මං දන්නේ නැහැ. emailම 1000කට වැඩිය යැව්වා. ෆෝන් නම්බර් හොයාගෙන කම්පැනිවලට කතා කරා 250කට වැඩිය. ගොඩක් අවස්ථාවල වුණේ ප්‍රතික්ෂේප වුණ එක. මට ලැබුණු පළවෙනි බ්‍රෑන්ඩ් එක පුමා බ්‍රෑන්ඩ් එක. ඒක ගන්නත් මාස තුනක් විතර එයාලා පස්සෙන් ගියා. කොච්චර ප්‍රතික්ෂේප වුණත් මට වැඩේ අතහරින්න ඕනි වුණේ නැහැ. මං කරන වැඩේට උපරිම මහන්සි වුණා.

මේ වෙද්දී පටන් අරගෙනත් අවුරුදු දෙකකට ළං වෙන්න එනවා. තාමත් දවසට පැය 18ක් විතර කරන වැඩේට මහන්සි වෙලා මං වැඩ කරනවා. මුලින්ම පටන් අරගෙන ගෙදර ම තමයි වැඩ කරේ. මේ වෙද්දී පොඩි ඔෆිස් ප්ලේස් එකක් තියෙනවා. ඒ වගේ ම මගේ ආයතනයේ හතර දෙනෙක් වැඩ කරනවා. හැබැයි බඩු ගේන වැඩේ ඉඳන් ගොඩක් වැඩ තවම කරන්නේ මං.

මීට ටික කාලෙකට කලින් CBC කියන ආයතනය හරහා තිබුණු රියලිටි තරගයකට සහභාගී වෙලා, ජයග්‍රහණය කරන්නත් මට පුළුවන් වුණා. ක්ෂේත්‍රයන්වල විශිෂ්ටයන් කිහිප දෙනෙක් ඇවිත් තමන්ගේ බිස්නස් එක ඉදිරිපත් කරලා, ඒකට ආයෝජනය කරන්න කියලා, තමන්ගේ අදහස ඉදිරිපත් කරන එක තමයි එතැනදී කරන්නේ.

මේ වෙද්දී sneakertub යුරෝපයේ සහ අනිත් රටවල ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉස්සහරට තව තවත් ව්‍යාප්ත කරන්න, ව්‍යාපාරය පුළුල් කරන්න සහ ලංකාවට ගේන්න අදහසක් තියෙනවා. මං ළඟදි අලුත් ව්‍යාපෘතියකුත් පටන් ගත්තා. ඒකෙ වැඩත් තියෙනවා. ඒ සේරම දේවල් එක්ක තමයි මේ වෙද්දී ජීවිතේ ගෙවෙන්නේ.

මං හැමෝටම කියන්නේ තමන්ගේ ආසාවයි හැකියාවයි තියෙන ක්ෂේත්‍රය හරහා දෙයක් කරන්න. තමන්ගේ ආසාව, උනන්දුව, හැකියාව තියෙන ඕනි දෙයක් කට්ට කාගෙන මහන්සි වෙලා කරොත් ඉදිරියට යන්න පුළුවන්... මොකද කිසිම දෙයක් කකුල් දෙක ගාවට නිකම්ම එන්නේ නැහැ. අපි ඒකට වැය කරන කාලය, මහන්සිය, කැපවීම අනුව තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ වගේ ම නිර්මාණශීලිව හිතන්න ඕනි. කොහොම නමුත් නිකම්ම ඉන්නේ නැතිව එක පියවරක් හරි ඉස්සරහට තියලා වැඩක් කරන එක තමයි වටින්නේ."

කමාජ් තමන්ගේ ජීවිතය ගෙවුණු සහ ගෙවෙන හැටි ගැන කියාගෙන ගියේ අතරින් පතර මං අහන ප්‍රශ්නවලටත් උත්තර දෙන ගමන්මයි. සාමන්‍යයෙන් කරනවා වගේ මං පෙරවදනක් නොලියාම කමාජ්ට තමන්ගේ කතාව කියන්න ඉඩ හරින එක හොඳයි කියලා මට හිතුණෙ ඒ ජීවිත ගමනේ පියවරවල තිබුණු අපූර්වත්වය නිසා. ආසාවයි කැපවීමයි කාලයයි තියෙනවා නම් මොනවාද කරන්න බැරි? වෙන කිසිම දෙයක් නැතිව ඩොලර් 700කින් විතරක් තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නම්.. වෙනස් නොවෙන අධිෂ්ඨානයක් සහ ඉවසීමක් එක්ක කොයි තරම් නම් දුර ගමනක් යන්න පුළුවන්ද?

මේ ලෝකේ හීන කියලා දේවල් නැහැ. හීන වෙන්නේ තමන්ට හැබෑ කරගන්න වුවමනාවක් හෝ උනන්දුවක් නැතිකමට මග හැරුණු දේවල් විතරයි. හැම සිතුවිල්ලක්ම ක්‍රියාත්මක කරන්න පාරක්, ක්‍රමයක් විධියක් තියෙනවා.මේ ලෝකේ කිසිම තැනක් හීනවලින් පිරිලා නැහැ. හැබැයි ආසාවන්ගෙන් පිරිලා තියෙනවා. තමන්ගේ ආසාවන් මුදුන්පත් කරගන්න කම්මැලි හිතුනාම, වුවමනාවක් නැති වුණාම තමයි මේ ලෝකේ හීන පිරිලා, ඉතිරිලා යනවා වගේ දැනෙන්නේ. හීනවලට හීනයක් වෙන්න නොදී හැබෑ කරගත්තු මේ වගේ අපූරු චරිත කියන පාඩම්වලින්ම අපිටත් පුළුවන් අපේ හීනවලට යන්න ශක්තිමත් අත්තටු මවා ගන්න. ඒ අත්තටු තියෙන්න ඕනි කොළ කෑලිවලවත් අනිත් පුද්ගල චරිත මතවත් නෙවෙයි.

ඒ හැම අත්තටුවක් ම පිහාටුවෙන් පිහාටුවෙන් එකතු වෙලා සවිමත් වෙලා ගොඩ නැගෙන්න ඕනි අපේ හිතේ. හිතේ හයියෙන් ඒ අත්තටු එක්ක පියාඹලා ලුණු රසැති දහදිය කදුළු බිඳු මතින් තමන්ගේ ම අපූරු ලෝකෙක කිරුළක් පළදින්න පුළුවන් නම් ඉතින් වෙන මොනවාද ?