ඒ මිනිහා මට අප්පා ගැන කිව්ව ඔක්කොම බොරු

ඒ මිනිහා මට අප්පා ගැන කිව්ව ඔක්කොම බොරු

කවදාවත් අම්මට සාප කරන්න එපා දරුවෝ... අම්මා නිසා ඔයාට මෙහෙම වුණේ. ඔයා ගෙදරින් ගියේ ඒ තිරිසනා නිසා. මං ඒක දන්නවා. ඌට කරන්න ඕනි හරියත් මේ වෙද්දී කරලා තියෙන්නේ මයේ පුතේ. ඔයාට කරදරයක් කරන්න හදන එකෙක්ටවත් මං ජීවත් වෙන්න තියන්නේ නැහැ. තිරුප්පම්ව, ඒ ඔයා කුඩප්පා කිව්ව කාලකණ්ණියාව මේ අම්මා මැරුවා පුතේ.

මරලා ඌව පුච්චලා දැම්මා, ඒ ලැයිම් ගේ අස්සෙ ම. ඒ මිනිහාව මයේ මිනිහා කරගන්න මට හේතුවක් තිබුණ නිසා ඔයාට ඒ තිරිසනාට කුඩප්පා කියන්න වුණා. එන්නයි මානික්කවූම් සින්ති කුට්ටි. එන්නයි මානික්කවූම්. ඔයා වෙච්ච හැම දෙයක්ම දැන ගන්න ඕනි මයේ කුට්ටි. හැම දේම දැනගන්න ඕනි.

ඔයාගේ අප්පා වත්තේ බංගලාවේ හැරී මහත්තයා... ඔයාගේ අම්මට ගොඩක් ආදරේ කරා මයේ පුතේ. ඒ ආදරේ තරම ඒ බංගලා බිත්ති කතා කරොත් දවසක ඔයාට කියයි. මේ තේ වත්තේ ගහක් ගාණේ වුණත් ඒ ආදරේ ගැන කතා කරන්න ඇති මයේ පුතේ. ඒ තරම් ඒ උත්තමයා මේ ලැයිමේ දෙමළ කෙල්ලට ආදරේ කරා. දුප්පත්කම ගැන, තත්වයක් නැති එක ගැන නොහිතා හැමදාම ආදරේ කරා.

ඒ ආදරේ නිසාම ඔයා අපිට හම්ම වෙන්න ආවේ. මයේ හැරී කවදාවත් ඔයාවයි මාවයි දාලා ගියේ නැහැ පුතේ. ඔයාගේ අම්මා ගාව තියෙන හුලන් කූරු ටික ඒක දන්නවා මයේ පුතේ. ඒවා දුන්නේ ඔයාගේ අප්පා. ඔයාගේ අප්පා ළඟ නැතිව තනියක් දැනුණොතින් ඒ හුලන් කූරු දිහාවේ බලන්න ලෙච්චමී. මං ළඟම ඉන්නවා දැනේවි. එයා කිව්වේ එහෙම. මං මැරුණොත් දවසක මං ඒ හුලන් කූරු අස්සේ භූතයෙක් වෙලා හරි ඔයා ගාවට වෙලා ඉන්නවා. එයා කිව්වේ එහෙම.

ඒ ඔයාගේ අප්පා. අපේ හෙවනැල්ල වෙන්න හිතපු කෙනා. සීතා අම්මාන් කෝවිලට දවසක් හොරෙන් ගිහින් අපි දෙන්නම දෙමළ චාරිත්‍ර කරා... ආදරේට. ඒ වයසේ සෙල්ලම් ගතියට. කෝවිලේ පූජකතුමාවත් නැතිව අපි දෙන්නා විතරක් හැම චාරිත්‍රයක් ම කරා. සින්දූර් ගාලා. විවාහයක් සම්පූර්ණ වෙන්න ඒක ඇත්ත වෙන්න ඕනි.

ඒත් කසාදෙකදී වැදගත් වෙන්නේ දෙවියෝ ඉස්සරහා සින්දූර් තිලක තියලා දිව්රුම් දෙන එක. දෙවියෝ ඉස්සරහා. ඒකට සනහුරේ උන් මොකටද මයේ පුතේ. දෙයියන්ගේ නියෝජිතයෝ මොකටද? ඔයාගේ අම්මා හිතුවේ එහෙම. ඒක ඇත්ත කසාදයක් නොවුණත් ඔයාගේ අම්මා... අප්පා ගැන හිතුවේ එහෙම. ඉතින් මයේ පුතා අවජාතක දරුවෙක් වෙන්නේ කොහොමද ? එයා කවදාවත් ඔයාව දාලා ගියා කියලා සාප කරන්න එපා සින්ඩි.

එයා එහෙම යන කෙනෙක් නෙවෙයි. කවදාවත් යන කෙනෙක් නෙවෙයි. ඒක තේ බංගලා වත්තේ හැම අහුමුල්ලක් ම දන්නවා. එයා ආයේ ආවේ නැති වුණත් එයා යන්න ඇත්තේ ආයේ එන්න කියලා මේ අම්මා විශ්වාස කරනවා මයේ පුතේ. ඔයා අපි ගාවට එනවා කිව්වම සින්ඩරෙල්ලා ඇන්ඩර්සන් කියලා නම දාමු කිව්වේ එයා. එහෙම කෙනෙක් ඔයාව දාලා යන්නේ කොහොම ද?

සේරම කරේ අර සෙල්වායි තිරුප්පමුයි කියන කාලකණ්ණි තිරිස්සනු දෙන්නා. ආදරයක්, දරු දුකක් නොදන්නා හැතිකරේ... තිරුප්පම් කියන බල්ලා මාව රබර් කැලේ අස්සට ඇදගෙන යන්න හැදුවේ මං ඉස්කොලේ උගන්නන කාලේ. එදා මාව බේරුවේ ඔයාගේ අප්පා. එදා ඉඳන් තමයි හැරී මහත්තයාට මං ආදරේ කරන්න ගත්තේ. සෙල්වා කියන්නේ හැරී මහත්තයාගේ ඩ්‍රයිවර්. මුල් කාලේ නම් තිරුප්පම් එක්ක ඒ මිනිහාගේ කතාවක් තිබ්බේ නැහැ. ඒත් පස්සේ උන් දෙන්නා හදිගැහිලා මේ සේරම කරලා මයේ පුතේ. ඒ කාලකණ්ණි දෙන්නා නොහිටියා නම් අද හැමදේම වෙනස් වෙන්න තිබුණා.

ඔයාගේ අප්පාගේ කාමරේ යතුරු තිබුණේ අප්පා ගාවයි මයේ ගාවයි විතරයි. ඔයාට කවදාම හරි දවසක ගිහින් බලන්න හිතුණොත්, ඒ බංගලාව එදාටත් තිබුණොත් ඒ කාමරේ යතුර ඔයාගේ යකඩ පෙට්ටිය ඇති සිත්ති කුට්ටි. එක දවසකට ගිහින් බලන්න. ඒ කිසි ම දෙයක් වෙනස් වෙලා නැහැ. ඒ විදියමයි. එදා රෑ යන්න ගිය විදියමයි. හැබැයි ආයේ කවදාවත් යන්න එපා සින්ති කුට්ටි. ඒ බංගලාව මහා සාපයක්. ඔයා ඒ සාපෙට අහු වෙන්න ඕනි නැහැ. අප්පාට වෙච්ච දෙයක් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හදිසියේ ගිහින් තිබුණෙ. අප්පාගේ වතුවල ආදායම වත්තේ ලියන මහත්තයා සේරම සෙල්වාට දුන්නම සෙල්වා තමයි ඒවා එතනින් එහාට මහත්තයාට ලැබෙන්න යැව්වේ. පස්සේ සෙල්වා තිරුප්පම් එක්ක ඉන්නකොට දෙන්නා නිතර යනවා එනවා කොට මට හිතුණේ ම මොකක් හරි තියෙනවා කියලා. තිරුප්පම්ගෙන් කවදාවත් දැනගන්න පුළුවන් වුණේ නැහැ. මිනිහා කිව්වෙ විස්තර කියන්න නම් මිනිහා එක්ක නිදි වදින්න ඕනි කියලා. ඊට පස්සේ ඌට බින්න බහින්න ඕනි වුණා. මං දැනන් හිටිය එකම දේ අප්පා ගැන තිරුප්පම් දැනන් හිටියා කියලා විතරයි. මට අපේ ලැයිමේ නවත්ත ගන්නවා ඇර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ, ඔයාට ඔයාගේ අප්පව හොයාලා දෙන්න. ඔයාගේ අප්පට ඔයාව භාර දීලා, ඔයාට හොඳ ජීවිතයක් දෙන්න විතරයි සිත්ති කුට්ටි මට ඕනි වුණේ. මං වගේ පව්කාර ගෑනියෙක් ඊට පස්සේ මැරිලා ගියත් මට කමක් නැහැ. මට හිතුනේ එහෙම.

ඒත් අවුරුදු ගාණක් තිස්සේ ඒ මිනිහා මට අප්පා ගැන කිව්ව ඔක්කොම බොරු. මං හැමදේම චුට්ට චුට්ට හොයා ගද්දි එදා ඒ කරුමක්කාර බැල්ලිගේ පුතා ඔයාට කරන්න ගිය වින්නැහිය අස්සේ ඔයා ගෙදර දාලා යන්න ගිහින් තිබුණා. මයේ ඇස් දෙක වගේ බලාගත්තු හැරීගේ නිල් මැණික යන්න ගිහින් තිබුණා. ඔයාගේ නිල් ඇස් අස්සෙන් අප්පාව මට පෙන්නපු මයේ ජීවිතේ යන්න ගිහින් තිබුණා. හැමදේම හොඳින් ලැබෙන්නේ නැහැ පුතේ මේ ලෝකේ. යක්ෂයන්ට කතා කරන්න ඕනි ඒ විදියට. මං හොයාගෙන, දැනගෙන හිටපු දේවලුත් එක්ක අරූගේ කටින් මං ඉතුරු ටිකත් ගත්තා මයේ පුතේ... අප්පා හදිසියේ ගිහින් තියෙන්නේ අප්පාගේ පවුලේ කෙනෙක්ට අන්තිමයි කියලා. අප්පට හිටපු එක ම නංගි මැරෙන්න යනවා කියලා දැනගත්තම අප්පා කලබල නොවී වෙන කවුරු කලබල වෙන්නද? ඉක්මනට එනවා කියලා අප්පා ගිහින් තියෙන්නේ. සෙල්වාට ඔයාවයි මාවයි බලාගන්න කියලා. ඔක්කොම විස්තර දැනුම් දෙන්න කියලා. අප්පට වැරදුණේ එතැන මයේ පුතේ. අප්පාට වැරදුණේ එතන. සෙල්වා අපිව කෑවා. ඒ තිරිසනා තිරුප්පම් එක්ක එකතු වෙලා අපිව කෑවා. තිරුප්පම්ට ඕනි වුණේ මාව. මිනිහට ලැයිමේ ගන්න බැරි වෙච්ච ගෑනි වුණ මාව. සෙල්වාට ඕනි වුණේ සල්ලි. උන්ගේ බල්ලොත් නොකන සල්ලි මයේ පුතේ. ඒ තිරිස්සනු අප්පට කියලා තියෙන්නේ අප්පාගේ ලෙච්චමීයි ලෙච්චමීගේ දරුවයි මළා කියලා. ඔයා මේ ලෝකෙට එද්දි ම මළා කියලා. අප්පා ඒක විශ්වාස කරේ ඇයි මයේ පුතේ? මේ අම්මා ඒක දන්නේ නැහැ.