වෙනස් වෙමුද දරුවන් වෙනුවෙන්?

වෙනස් වෙමුද දරුවන් වෙනුවෙන්?

අම්මලා තාත්තලාට පුංචි ඔවදනක් දෙන්න හිතාගෙන තමයි ඔන්න අද මම පෑන අතට ගත්තේ. අද ඉන්න අම්මලා, තාත්තලා හරි ම කාර්යබහුලයි. මුළු ජීවිතය ම යාන්ත්‍රීකරණය වෙලා. පවුල සමඟ ගෙදර රැඳෙන කාලය අඩුවෙලා. ඉන්න ටික වෙලාවත් අතේ තියෙන ජංගම දුරකථනය, ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් හොරකම් කරගෙන. දරුවන්ගේ හැකියාවක් දකින්න වෙලාවක් නෑ. ඔවුන්ට සවන් දෙන්න වෙලාවක් නෑ. ළමයෙක් ළඟට ඇවිත් ප්‍රශ්නයක් ඇහුවත් ෆෝන් එක ඔබ ඔබ, ඒ ලෝකවල වල්මත් වෙලා ඉන්න මව්පියන්ට "හ්ම්" ,"ඔව්", "නෑ", "ගිහිං තාත්තගෙන් අහන්න", "ගිහිං අම්මගෙන් අහන්න", "මං වැඩකනෙ ඉන්නෙ පස්සෙ එන්න" ඔන්න ඔය වගේ උත්තර ටිකක් ඇරෙන්න දරුවගේ ප්‍රශ්නෙට සාවධාන වෙන්න තරම්වත් එයාලට දැන් වුවමනාවක් නැති වෙලා. ඔබ ම හිතන්න. ඇත්තට ම තමන් කරන්නේ එහෙම නේද? දරුවා ගෙයි ඇතුළෙ මොනතරම් තනිවෙලාද?

පවුලේ හැමෝම එකට එකතු වෙලා කෑම කන ගෙයක් අද හොයාගන්නවත් පුළුවන්ද? එදා දවසේ සිදුවීම්, දරුවන්ගෙ ප්‍රශ්න, ඉස්කෝලෙ කරපු දේවල් කතා කරන්න, ඔවුන් සමඟ සතුටු වෙන්න, හිනාවෙන්න, කෑම කන අතරෙදිවත් එකට ඒ දේ කරන්න අද පවුලෙ හැමෝට ම බැරිවෙලා. ඒ දේ මඟ ඇරිලා, ඕනකමින් ම මඟ ඇරලා දාලා.

අම්මා ඉන්නේ එයාගේ ලෝකෙක. තාත්තා ඉන්නේ තාත්තගේ ලෝකෙක. දරුවො දෙලොවක අතරමං වෙලා. හිතන්න පොඩ්ඩක් මේ දේවල් ඇත්ත ම ඇත්ත නේද?

තරගකාරී අධ්‍යාපන රටාව ඇතුළෙ දරුවන් තුළින් ගුණගරුකකම් ඈත්වෙලා. අල්ලපු ගෙදර දරුවට වඩා තමාගේ දරුවා ඉහළට යන්න ඕනෙ කියන මතයෙ ඉඳන් හැම වෙලාවෙම අනෙක් ළමයෙක්ට තමන්ගෙ දරුවා සන්සන්දනය කරන්න මව්පියන් පෙළඹිලා.

 "එහා ගෙදර එකා මේෂන් බාස්. උගේ අම්මා අකුරක් ලියන්න දන්නෙ නෑ. ඒත් පොඩි එකා පන්තියේ පළවෙනියා හැමදාම. කන්නෙ කරවලයි බතුයි. ඒකට මුං. මුන්ට ඉල්ලන ඉල්ලන හැමදේම අරං දෙනවා. කන්න දෙන්නෙ තියෙන හොඳ ම දේවල්. තාත්තා කොම්පැණියෙ ලොකු නිලයක ඉන්නෙ. ඒත් මුං පන්තියෙ විසි ගණන්. අනේ අම්මපා කාගේ කරුමයක්ද මන්දා. අර එහා ගෙදර එකා වගේ තොපිට ඉගෙන ගන්න බැරිද? අපිව ම කන්න ඉපදුණු උන්."

මෙන්න මේ වගේ දරුවන්ට බණින අම්මලා තාත්තලා ඕන තරම් හොයාගන්න පුළුවන්. ශිෂ්‍යත්වෙ පාස් වුණේ නෑ කියලා දරුවට නොසෑහෙන්න තරවටු කරපු සිද්ධියත් ඒ දරුවා ඒවා දරාගන්න බැරිව සියදිවි හානිකරගත් පුවතත් අපි වැඩි ඈතක නෙවෙයි, මේ අවුරුද්දෙ ම අත්විඳපු මහා අවාසනාවන්ත ඛේදවාචකයන්. බොහෝ මව්වරු, පියවරු "නොදකින් මේ වගේ අම්මලා තාත්තලා" කියලා බැණ වැදුණත් තමන්ගේ ගෙදර දිහා හැරිලා බැලුවොත් තත්ත්වය මීට නොදෙවෙනි නෑ කියලා වටහා ගන්න බැරිකමකුත් නෑ.

ඉතින් අම්මේ, තාත්තේ, මේ තත්ත්වය නැති කරන්න පුළුවන් ඔබට විතරයි. දරුවෙක් හැදිය යුත්තේ, ඔහුට අධ්‍යාපනය ලබාදිය යුත්තේ ලොකු ලොකු තාන්නමාන්න ලබාගන්න නෙවෙයි. හැමෝට ම වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, නීතිඥවරු වෙන්න බෑ.

එහෙම රටක් පවතින්නෙත් නෑ. නමුත් හැම දරුවෙක්ට ම රටට බරක් නැති යහපත් පුරවැසියෙක් වෙන්න පුළුවන්. අපි අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ ජීවිතය ජයගන්න මිස රස්සාව මූලික කරගෙන නෙවෙයි. ඒ සඳහා දරුවාට නිසි ඉලක්කයක් ලබා දීම ගෙදරින් සිදු කළ යුතුයි.

ඒ වගේ ම කවදාවත් දරුවෙක් ඉස්සරහා ගහමරා ගන්න යන්න නම් එපා. තමන්ගේ බිරිඳට සැමියාට දරුවන් ඉදිරියේ ආදරය කරන්න. බිරිඳව සැමියාව හොර රහසේ නෙවෙයි දරුවන් ඉදිරියේ සිපගන්න. දරුවන්ට එය අරුමයක් නොව, සාමාන්‍ය දෙයක් බවට පත්කරන්න. එවිට අනෙකාට ගරුකරන්න, ආදරය කරන්න, දරුවා ගෙදරින් ම ඉගෙන ගනීවි. බඳින්න ඉස්සර "මැණික", "සුදූ", "පැටියෝ" කියලා කතා කරපු දෙන්නා දෙමහල්ලො දරුවන් ලොකුවෙද්දි "ඒයි", "මේයි", "ඇහුණද" වගේ වචන කතා කරන්න ගන්නවා විතරක් නෙවෙයි "ඕයි", "ගෑනියේ" වගේ වචනත් ආමන්ත්‍රණ භාෂාවට එකතු කරගන්න එක හරිම වැරදි දෙයක්.

ඇයි ඔබට නොහැකි පෙර සේ ම දරුවන් වැඩෙද්දිත් ඒ ආදරය ඒ විදිහට ම පවත්වාගෙන යන්න. එය දරුවන්ට කදිම ආදර්ශයක් වේවි. බිරිඳව සැකකරන, සැමියාව සැකකරන පවුල්වල දරුවන් වැඩිවියට පත්වෙද්දි දරුවනුත් ඒ විදිහට ම තම බිරිය, සැමියා සැකකිරීම අරඹන බව අමතක කරන්න එපා. මොකද දරුවා ආභාසය ගන්නේ ගෙදරින්. දරුවන් සැමවිට ම සිය වැඩිහිටියන් අනුකරණය කිරීම සිරිතක්. ඒ නිසා කිසි දිනක දරුවන් ඉදිරියේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා. ඉතාම කෙටි කාලයකදී දරුවන් ඔබ ඉදිරියේ මත්ද්‍රව්‍ය භාවිත කරන ඒ හිත කම්පා කරන සිදුවීම ඔබටත් විඳගන්න වෙන බව ඒකාන්තයි.

 

ඉතින් අම්මේ, තාත්තේ, ඔබ අතින් සිදුවෙන මේ වැරදි අද සිට නවතන්න හිතට ගන්න. උස්මහත් වෙන දරුවා සමාජයට ආදරය කරන, සමාජය ආදරය කරන අයෙක් බවට පත්කිරීමේ වගකීම ඇත්තේ ඔබට ම පමණයි. තරුණ අම්මලා තාත්තලා වන ඔබ එක දවසක් උත්සාහ කරන්න, වෙනස් වෙන්න. පළමු පියවර තබන්න ටිකක් අමාරුයි තමයි. ඒත් උත්සාහ කරන්න. ඔබට වෙනස් වෙන්න පුළුවන් වේවි පහසුවෙන් ම. ඒ වෙන කව්රුවත් නිසා නෙවෙයි මල් කැකුළක් වන් ඔබගේ ම ලෙයින් ඉපදුණු හුරතල් දරුවා වෙනුවෙන්.