fa ෂො 

තරුණ ජීවිත  කොයිතරම් නං සුන්දර ද?

අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ තරුණ ඔයාලා ආමන්ත්‍රණය කරන්න ඉඩක් ලැබුණේ නෑ. මොනවහරි පටන් ගමු කියලා අපේ "y"කර්තෘ ප්‍රබුද්ධි නිතරම කිව්වත් කාල වේලාව වෙන් කරගැනීමේ ලොකු අපහසුතාවක් තිබුණා. ඒ අතරතුර වරින් වර තරුණ ඔයාලගෙන් ලැබෙන දුරකථන ඇමතුම්වලින්, මගතොට දී හමුවීම්වලින්, "ආපහු "y"එකට ලියන්න" කියලා කෙරෙන ඉල්ලීම්වල නිමාවක් තිබුණේ නෑ. ඔන්න දැන් ආපහු මම ඔයාලට ලියන්න හිතුවා. ඒත් එදා වගේ මුස්ලිම් මිනිහෙකුගෙත්, සිංහල ගැහැනියකගෙත් පවුල් ජීවිතය ගැන නෙවෙයි. අද කාලයේ තරුණ ජීවිතවලට වෙනදාට වඩා වැදගත් කරුණු කාරණා ගැන තරුණ පරපුර දැනුවත් කරන්නයි මගේ බලාපොරොත්තුව.

අවුරුද්දකට ආසන්න කාලයක් අසුරු සැණින් ගෙවිලා ගියා. ඒ කාලය අතරේ මගේ ජීවන ගමනේ සංහිඳියාවත් ඉදිරියට ගලාගෙන ගියා. අපේ දුව ෂනුලි දැන් ඒ ලෙවල් කරලා, රිසල්ට් එනතුරු බලා ඉන්නවා. එයාට රිසල්ට්ස් එනකල් කෝස් එකක් කරන්න ඕනෙයි කිව්වට මාත් රොෂානාත් කැමැති වුණේ මේ මාස කිහිපය එයා විවේකීව ඉන්නවා දකින්නයි. ඒ ලෙවල් කරන කල් හැමදාම පාඩම් කරන්න එයා විඳපු දුක අපි දැක්කනේ. හැම දරුවෙක් ම එහෙමයි. ඉතින් මායි රොෂානායි කල්පනා කළේ දුව මේ ටිකේ ඔන්න ඔහේ ඉඳපුදෙන් කියලයි.

ඒ අතරතුර මම එයාට කියවන්න පොත් ටිකක් දුන්නා. මගේ පොත් රාක්කයෙන් එයාට හොඳයි කියලා හිතෙන ඕන පොතක් අරගෙන කියවන්න කිව්වා. පොතක් කියන්නේ දරුවාට සම්පතක්. කියවීම කියන්නේ මනස මුවහත් කරන හොඳ ආයුධයක්.

ඒ අතරතුර කාලයේ රොෂානා කාලයක් තිස්සේ හිතේ හංගාගෙන හිටිය දැනමුතුකම් දුවට කියා දුන්නා. ඒ ලෙවල්වලින් එයාගේ මනස නිදහස් වනතුරුයි බලා හිටියේ. ජීවිතය ගැන...තරුණ කාලය ගැන.. හිතේ ඇතිවන ආදරය ගැන...සමාජයේ පය ගහලා ජීවත් වෙන්න ගැහැනු ළමයෙකුට තියෙන අභියෝග ගැන... තාත්තා කෙනකුට වඩා අම්මා කෙනකුට ඒවා තරුණ දුවෙකුට හොඳින් කියාදෙන්න පුළුවනි.

හෙට අනිද්දා සමාජයට එකතුවෙන ගැහැනු ළමයෙකුට දැනගන්න කොයිතරම් දේවල් නං තියෙනවද? සමහරු බලා ඉන්නේ අලුතින් ගැහැනු ළමයෙක් පාරට බහින කල්. ආදරය ගැන එයාට උගන්වන්න බලාගෙන ඉන්න තුට්ටු දෙකේ මල්සරාලා වැහි වැහැලා. කවදාවත් තනියම බස් එකක නොගිය තරුණ ගැහැනු ළමයෙකුට මේවා හරි ම අමුතු දේවල් වේවි. ඒ අතරතුර තරුණ පරපුරට අලුත් ආකල්පවලින් හිත පුරෝගන්න ඕන කරන අඩුමකුඩුම කොයිතරම් නම් තියෙනවද...?

ජීවිතය කියන්නේ කුරුළු පියාපතක් වගේ සැහැල්ලු දෙයක් නෙවේ කියලා එයාලා දැනගන්න ඕනා. ඒ වගේ ම තරුණ විය කියන්නේ යහපත් ජීවිතයකට අලුතින් පාර කපන කාලපරිච්ඡේදයක්. ඒ කාලපරිච්ඡේදය ආලෝකමත් කරගන්න ආදරයෙන් දැනමුතුකම් දීම වැඩිහිටි අපේ ලොකු වගකීමක්. මේ අරමුණ, ඒ වගකීම ඉටු කරන්නයි.

"beauty is only skin deep"කෙනෙකුගේ බාහිර පෙනුමට වඩා එයාගේ චරිතයයි වඩාත් වැදගත් කියලා කියන්නයි මේ ඉංග්‍රීසි විශේෂ යෙදුම භාවිත කරන්නේ. අනික් අතට මේ යෙදුමෙන් කියැවෙන්නේ ලස්සන තියෙන්නේ සමේ ගැඹුර තියෙන තාක්කල් විතරයි කියලයි. ඒක ඇත්ත. රැලි වැටුණු හමකට කවුරුවත් ආසා කරන්නේ නෑ. හැමෝම කැමැති ලස්සන හමක් තියෙන කෙනකුට ළං වෙන්නයි.

ජීවිතය සාර්ථක කරගන්න බලපාන කරුණුකාරණා ගොඩාක් තියෙනවා. මූලික ම දේ වෙන්නේ සමාජයට වැඩදායක පුරවැසියකු වීමයි. තමන්ගේ ජීවිතය එළිය කරගන්නවා වගේ ම ඒ තුළින් තවත් ජීවිත රැසකට ආදර්ශයක් වෙන්නත් තරුණ පරපුරට පුළුවන්කමක් තියෙන්න ඕනා.

දරුවෙක් වැඩිවියට පත්වෙද්දී හිතේ ඇතිවන හැඟුම් සමුදාය අතර ආදරයට ලොකු අවධානයක් යොමුවෙනවා. ඒක තමයි තරුණ හිතක අධ්‍යාපනයට අමතරව උපදින ලොකු ම සිතුවිල්ල. අධ්‍යාපනයත්, ආදරයත් අතර තරුණ හිත දෝලනය වෙනවා. කෙනෙකුගේ හිතේ තවත් කෙනෙකු ගැන ආදරයක් ඇතිවෙන්නේ අපි කවුරුත් දන්න විදිහට බාහිර පෙනුමටයි. ඒක මනුස්ස ස්වභාවය. සුදුපාට...ලස්සන...ආකර්ෂණීය ඇස් තියෙන ගැහැනු ළමයෙකුට පිරිමි ළමයෙකුගේ හිත ඇදිලා යන්නේ නිතැතින්මයි. ඒ වගේ ම සුදු පාට...ලස්සන, සෙල්ලක්කාර පිරිමි ළමයෙකුට ගැහැනු ළමයෙකුගේ හිත ඇදිලා යන්නේත් ඉබේටමයි.

ඒක කෙනෙකුගේ බාහිර පෙනුම. හිතේ ලස්සන කවුරුවත් දකින්නේ නෑ. බලන්න වුවමනාවකුත් නෑ. ආදරය ඇතිවෙන්නේ කෙනකුගේ හමේ තියෙන පැහැයටයි කියලා කිව්වට කවුරුත් ඒක පිළිගන්නෙත් නෑ. ඒත් ඇත්තට ම ඒක එහෙම තමයි. කෙනකුගේ ගතිගුණ ගැන දැනගන්නේ සමට ආදරය කරන්න පටන් ගත්තාට පසුවයි. සමහර විට ලස්සන රූපයක් ඇති පිරිමි ළමයෙක්, ලස්සන රූපයක් ඇති ගැහැනු ළමයෙක්... ගතිගුණ අතින් ගොඩාක් නපුරු කෙනෙක්, නොගැලපෙන කෙනෙක් වෙන්නත් පුළුවනි. ඒ වෙද්දී ආදරය පුද දීලා ඉවරයි.

කෙනෙකුට ආදරය කරද්දී හම වගේ ම එයාගේ ගතිගුණ ගැනත් හොයා බලන්න ඕනා කියලා කිසි කෙනෙකුට හිතෙන්නෙ නෑ. එහෙම හිතෙනවා නම් අද කාලයේ අපිට නිතර නිතර අහන්න ලැබෙන ආදරය නිසා සිද්ධවෙන ජීවිත හානි අවම කරගන්න පුළුවන් වේවි.

අවලස්සන... කළුපාට හමක් ඇති ගැහැනු ළමයෙකුට, පිරිමි ළමයෙකුට කාගෙවත් ආකර්ෂණයක් ඇතිවෙන්නෙ නෑ. ඒත් ඒ හමට යටින් තියෙන පුංචි හිතක් කොයිතරම් නම් ලස්සනද කියලා අපි කාටවත් දැනෙන්නෙ නෑ. අපි ඒ වෙද්දී හමට රැවටිලා ඉවරයි. ආදරය කරන්න කලින් බාහිර රූපය වගේ ම ගතිගුණ ගැනත් හොයා බලනවා නම් තරුණ ජීවිත කොයිතරම් නං සුන්දර වේවිද?

ලබන සතියෙත් හමුවෙමු.

ෆවුස්