දැකපු හීන  දියාරු වෙලා ගිහින්

දැකපු හීන  දියාරු වෙලා ගිහින්

වසෙ තිස්සෙම මුළු මූණමත් වහගෙන,අත් මේස් පවා දාලා කළුවට කළුවේ ලෝකෙට වසන් වෙලා ඉඳලා මට දැන් ඇති වෙලා.නිදහස කියන එක විසල් අහසක් නම් මං එහි එක තරුවක් විතරයි.හරියට හරි දවල් දවසට මාසෙට දවස් දෙකක් තුනක් මේ දුක මං වගේ ම තව තරු දහස් ගාණක් විඳිනවා.

මට මතකයි හොඳම මිතුරියක් වෙච්ච නිමාලිත් කියලා තියෙනවා

" ඒ දවස්වලට පන්සල් යන්න හොඳ නෑ.කිළි අහුවෙනවා" කියලා. එයාලාගේ සමාජෙත් එහෙම තැන් තියෙනවලු.

" උම්මා..අැයි මුළු ඇඟම වැහෙන්න ⁣මෙහෙම කළුවට අඳින්නේ...?

ඒ මගේ පොඩි කෙල්ලගෙ ප්‍රශ්න..

ඒවාට මගේ හිතෙ තියෙන උත්තර දීලා මං ගුටි කන්න ආස නෑ ස්වාමියාගෙන්.බිත්ති හතරකට වැඩියෙන් මැදිවුණු ජීවීතේ හුඟක් කාලයක් දැන් ගෙවිලා ගිහින් හින්දා දැන් පත්තියන් ⁣ඕන දුකක්.ස්වාමියා අන්තිම හොඳයි. ආදරෙයි.ඒත් මේ ආගම කේන්ද්‍රීය වුණු පිරිමි සමාජෙක එක ඉත්තෙක් ඔහුත්.

එහා ගමේ අපේ පන්තියේ ඉඳපු සිරියා..දැන් කාන්තා සමිතියේ ලේකම් ලු.ගමට ලොකු සේවයක් කරලා හිහෙන් ලබන තෘප්තිය කියලා නිම කරන්න බෑ කියලා කියද්දි මට මං ගැනම දුක හිතුණා.

දෙවනි දරුවත් කෙල්ලෙක් වුණහම ස්වාමියාගේ මූණ ඇඹුල් වෙච්ච විදිහ ,අල්ලපු ගෙවල්වල පිරිමි උදවියගේ විහිළු සහගත අසාධාරණ බැල්ම,තුන් වෙනි දරුවා පිරිමි දරුවෙක් වෙද්දි වටේපිටේ හැමෝම සුබ පතපු ව්දිහ මට අද වගේ මතකයි.මිනිස්සුන්ගේ මුහුණුවලින් හිත් ඇතුළ කියවන්න මං ඉගෙන ගත්තේ ඒ අවස්ථා දෙකේ.

සම්ප්‍රධාය අතික්‍රමණය කරන්න පුංචි කාලෙදි්ම විප්ලව තොගයක් කරපු ගෑනියෙක් මං.මේ අසාධාරණය ගැන ඉස්කෝලේ උදේ රැස්වීමකදි කරපු කතාවක් නිසා සතියක් පංති තහනම් කෙරුව නිසා අපේ උම්මා මාව බේරද්දි ඇදලා අරන් පන්න පන්න පොල්ලක් සිප්පලක් වෙනකන් හැමෝම ඉස්සරහා අපේ තාත්තා ගහපු පාරවල් අදටත් කැලැල් විදිහට පිටේ තියනවා.

ආගම ජීවීතේ කරගෙන අමාරුවෙන් ජීවත් වෙන අයට උදාහරණ අපේ සමාජයේ ඇති තරම් තියනවා.ඒත් ධනේෂ්වර පියාපත් අපිව වහගෙන.ආගමික ස්ථානය නෙත් ⁣යොමාගෙන.නෝම්ඹි පහුවෙලා ඒ උදවිය බඩු මලු බෙදන්නේ ඒ නිසා.එක්කෝ සිස්ටම් එක කඩලා බිඳලා දියුණු වෙන්න ඕන.නැත්තම් තියෙන ක්‍රමයෙන් ගොඩ එන්න ඕන.ජන්මෙන්ම බිස්නස් අතට ආවා කියලා අපේ උදව්යට කිව්වට, අපේ ස්වාමියාට ඒ ගැන අංශු මාත්‍රයක දෙයක් පිහිටලා නෑ.

"ළමයි ලොකු වුණාම කවුරු වෙන්නද කැමති..?

එක එක්කෙනා එක එක රස්සා ගැන කිව්වා.

මං කිව්වේ

"මොඩ්ලර් කෙනෙක් වෙන්න සර්.." කියලා. ඒ ඉස්කෝලේ දහයෙ පන්තියේදි.

එදාත් මං හුඟක් දේවල් අහගත්තා සර්ගෙන්.පන්තියෙන් කොන් වෙනකන්ම.

අන්තිමට දින්නේ අපේ තාත්තලා.මට පැරදිලා බිත්ති හතරකට කොටු වෙන්න වුණේ සති දෙකක් ඇතුළත මංගල්ලයකුත් ගත්තාට පස්සේ.

ගැහැනියක් විදිහට අවුරුදු ගාණක් දැකපු හීන මගේ ඇස් ඉස්සරහම දියාරු වෙලා ගිහින් තරු අතරම හැංගුණා. ආය හොයාගන්න ම බැරි වෙන්න.ඒත් මං ජීවත් වෙනවා. පැටව් තුන්දෙනාගේ අනාගතය කො⁣හොම වෙයිද කියලා මං දන්නෑ.මට තීරණය කරන්න අයිතියක් හම්බවෙලා නෑ.ලොකු කෙල්ල ඩාන්සින් කරන්න ඕන කිව්වාම මං නොගත්ත උත්සාහයක් නෑ අවසර අරන් දෙන්න.ලොකු කෙල්ල මං වගේ.ඒකි දවසක මට කරන්න බැරි වුණ දේ කරයි.එක්කෝ මං සාමාන්‍ය පවුලක පිටිසර ගමක නොඉපදෙන්න තිබුණා. අපේ ම අයගේ නගරබද මිල මුදල් යහමින් ඇති පිරිසට අපිට තරම් බැරියර් නෑ. එ් වාගේ තැන්වල විවෘත මනසකින් තේරුම් ගන්න පුළුවන් අතළොස්සක් හරි ඉන්නවා.ඒකට අපේ ගම්වල අයන්නේ පටන් ගන්න වචනයක් කියලා අල් රයන්නෙන් ඉවර කළාම පණ වුණත් දෙයි.

මේ සමාජේ වෙනස් වෙන්නෑ කියලා මට දැන් එ්ත්තු ගිහින් තියෙන්නේ.අර නිදහස් අහසේ කඳුළු හංගන් තව තරු අඬයි ගැහැනු අපටත් සම තැන නෙවෙයි, නිසි තැන අපේ පවුලෙන්,සමාජෙන් අපිට ලැබෙනකන්ම..

මං ඒ කාලෙ අරගල කරලා පත්තරේට තීරු ලිපි ලියපු මෆීසාම තමයි.

 

හීන

අපි අපේ ජීවිතේ නොයෙකුත් හීන දැකලා ඇති. නමුත් ඒ දැකපු හීන සැබෑ කරගත්තද? නැතිනම් එහෙම ම කඳුළු බිඳු වගේ හීන බොඳවෙලා යන්නට ඉඩ දුන්නද? චුට්ටක් හිතන්න. ඇයි අපි දැකපු හීන හැබෑ කරගන්න බැරි වුණේ කියලා. අනිවාර්යයෙන් ම අපෙන් පුංචි වැරැද්දක් හරි වෙලා ඇති. අපි හීන දැක්කට විතරක් මදි. ඒ හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕනේ. අප‍්‍රමාණ කැපකිරීම් කරන්නත් වෙනවා. නිදසුනක් විදිහට ඔබ උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙලා විශ්ව විද්‍යාලයට යන්න ඕනෙ කියලා හීනයක්, අරමුණක් තිබුණා නම් ඔබට අප‍්‍රමාණ කැපවීමක්, අධිෂ්ඨානයක් තිබුණේ නැතිනම් ඒ හීනෙ හැබෑ කරගන්න කවදාවත් ම පුළුවන්කමක් නෑ. හීන දැක්කට විතරක් ම මදි, අපි අපේ හීන Modifyකරන්න ඕනේ. ඒ කියන්නේ විශ්ව විද්‍යාලයට

යන්න හීනයක් තිබුණා නම් ඔබට කොයි කැම්පස් එකටද යන්න ඕනේ කියලා, කරන ඩිග්‍රිය මොකක් ද?, කැම්පස් අවුට් වුණාම කරන ජොබ් එක? මේ හැම දේම ඒ හීනෙ ඇතුළෙ තියෙන්න ඕනේ. මම දැකපු FB Post එකක් තිබුණා "සල්ලි උඩ නිදියන්න නම් ඇඳ උඩ නිදියන වෙලාව අඩු කරගන්න වෙයි Bro" කියලා. ඉතිං මට ඒක ඇත්ත කියලා හිතුණෙ ජීවිතේ ඉලක්කගත අරමුණු, දැකපු හීන හැබෑ කරගන්න නම් කැපවීම, උත්සාහය, අධිෂ්ඨානය... මේ දේවල් තිබිය යුතු නිසාමයි. එතකොට තමා අපිට අපේ හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්නෙ.

නෙතු අද්දර පිපෙන හීන

කඳුළු බිඳු සේ බොඳ නොවන්න

දකින හැම හීනයක් ම

මල්ඵල ගන්වන්න

කැප වී දිරිමත් වෙන්න

 

 

බැඳපු මිනිහෙක් කෙල්ලෙකුට කතා කරන්නෙ හොඳකට නෙවේ

ඉටු නොවුණ බලාපොරොත්තු වෙනුවෙන් මට මග බලං ඉන්න තියන්න එපා කියලා පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. මට ඉටු නොවුණ බලාපොරොත්තු නෑ. නෑ නෙවෙයි ඒ වෙනුවෙන් මං විඳවන්නෑ. ඔයා හිතයි මේකි නං මහ යකඩ හිතත් තියෙන කෙල්ලෙක් කියලා. අපි කවදාවත් හමු නොවී ඉන්න තරමට ආදරේ ලස්සනයි කිව්වත්... ඔයාට ඕනේත් මගෙ ළඟින් ඉන්න. එහෙම වෙන්නෙ නෑ කියලා තර්කයකට එන්නෙ ඒකයි.

ඔයා වෙලාවකට කියනවා අර පොත කියවන්න, මේ පොත කියවන්න කියලා. මං ඕවා හිතේ තියා ගන්නෑ. කොටින්ම කියන ගොඩක් දේවල් හිතේ තිබ්බට ඔය පොත් නං මතකම නෑ. මොකද දහ දොලොස් දාහක් වියදං කරලා පොත් මුල්ලක්ම තියාගෙන එෆ් බී එකේ රවුම් ගහන එක නං මට පේන්න බෑ. ඒත් දැං අපි එෆ් බී එනවා අඩුවෙලා. ඔයා පොත් කියවනවා ඇති කියලා මං හිතනවා. පොතක් කියෙව්වා නං ඒකේ තියෙන එව්වා මට කියනවා. මොනවා කරනවද මංදා පොත් ගොන්නක් ගොඩ ගහගෙන. බනින්නම හිතෙනවා, අයිතියක් නැතත්.

ට්‍රාන්සර් එක ගැන දුකත් හිතෙනවා. ඔයාව දාලා ආපු එක. නෑ අරං ආපු එකද මංදා වුණේ. මොකද අපි ඉස්සෙල්ලම ඉන්බොක්ස් චැට් කරේ මං කොටුවෙ ඉඳලා රත්නපුරේ බස් එකට නැගපු දවසක ඒ කියන්නෙ මං රත්නපුරේ ගිය මුල් දවස්වල. ඔව් මං ඔයාව අරං ආවේ රත්නපුරේ ගිහින්.

ඔයාට මතක නැතුව ඇති එදා අපි කතා කරේ හාවි ගැන. ඔයාගෙ පරණ පෙම්වතිය. ඔයාගෙ පරම පිවිතුරු ප්‍රේමය. එයාගෙන් වෙන්වුණු හැටි... ඔය දේවල්. හොඳ කෙනෙක් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කළෙත් ඒ දවස්වල. ඔයා වෙනුවෙන්. ඇත්තටම ඔයාට ලැබුණා. මං දෙයක් ප්‍රාර්ථනා කරන්නෙ හදවතින්ම. ප්‍රාර්ථනා කරනවා අඩුයි. මං කරන්නෙ සත්‍යක් ක්‍රියා කරන එක.

ඒක පිස්සුවක් කියලා හිතෙන අය ඇති. මං කරපු දෙයක් අවංකවම කරා ඒ දේ වෙනුවෙන් මට මේ දේ ලැබෙන්න කියලා. ඒක නං ඇත්තම ඇත්ත. ඔබ හිතයි මං ඔබව ප්‍රාර්තනා කරනවා කියලා කොහෙත්ම නෑ. හැමදාම කියනවා වගේ මං ඔබව ප්‍රාර්ථනා කරන්නෙ නෑ.

එයාට ඕනේ සිංදුවක් ලියන්න. කවදාවත් එක් නොවන පෙම්වතුන් දෙන්නෙක් ගැන. මං වෙනුවෙන් සිංදුවක් ලියන දෙවෙනියා. පලවෙනියා අදටත් කතාවත් නෑ. වෙන්වෙලාම ගියාම. අවුරුදු හතරක් ආදරේ කරලා. ඔයාත් සිංදුවක් ලියලා නොපෙනිම යන්න. ඔව් යන්නම යන්න. එයා ස්ටේජ්වල මහ හයියෙන් ඒ සින්දුව කියනවා. මගෙ කනට කරලා සිංදු කියපු එයා දැන් මහ ලොකු ගායකයෙක්. හැමෝම ආදරේ කරන ගායකයෙක්. මං විතරක් ඈතින් ඉදං බලන් ඉන්නෙ. ගොඩක් ආදරේ කරලා එහෙම දාලා යන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑ.

වැඩ කර කර ඉන්න ගමං මැසේජ් එකක් ආවා. මට ඉතිං මැසෙජ් එන්නේ කස්ටමර් කෙයා තමා.

ලොකු වැඩක් නොතිබ්බ නිසා මැසේජ් එක බැලුවා.

“ඔබ හොඳින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ.” කියලා කට බලියං හිනා වෙන ඉමෝජි එකක්.

මටත් ඩෝං ගාලා හිතට ආපු මැසෙජ් එක සෙන්ඩ් කරා.

“පූජා කරන්නම් මලක් ඔයා නමින්. ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්.” කියලා දිව දික් කරන් ඉන්න ඉමෝජි එකක්.“බැඳලා හිටියත් මං මෙහෙම ඔයා එක්ක කතා කරයිද මදූ?” එයා එව්වා.

“බැඳපු මිනිහෙක් කෙල්ලෙකුට කතා කරන්නෙ හොඳකට නෙවෙ.” ඒ මැසේජ් එකට නං හිත රිදෙන්න ඇති. මේකි මං ගැන හිතන විදිහ කියලා...

ඔයා කියනවා මේක ආත්මීය නවකතාවක් වෙයි කියලා. පිස්සුද? එහෙම එකක් නෙවේ මේක ෆැන්ටසියක්. ඔයා ඒ වෙලාවට ඇස් ලොකු කරන් කට ඇරං බලන් ඉන්නවා. "ඈ යකෝ ෆැන්ටසියක් නං ඔය තරම් හොටු පෙරාගෙන අඬන්නෙ දුක් වෙන්නෙ." "ඇයි ෆැන්ටසියක් ඇතුළෙ අපට රියලිටියක් ගොඩනගන්න බැරිද?" හරි එහෙම නම් නොලියා ඉන්නද? "එපා. එපා" කිව්ව එක හරි බරට දැනුණා. ප්‍රතික්ෂේප නොකිරීම තුළ අමුතු ප්‍රේමයක් ගොඩනගීවි යැයි ඔහු නොසිතන්නට ඇත. “නමුත්” කියා නවතින්නද?

 

පාළුව

චණ්ඩ හිරු හුදෙකලයි

නිමක් නැති ගගනතේ

පුර හඳත් තනිවමයි

තාරකා සිටියත් නුබේ

ගලන ඇල දොල පවා

සැලෙන මදනල පවා

තනිවමයි නැත අයෙක්

සදාකල් වනපෙතේ

ඉතින් කම් නැත මටත්

විඳදරා ගමි මමත්

පාළු සිත දවාලන

කඳුළු පිරි ජීවිතේ