ලැජ්ජ නහරෙ කපා මහ පාරේ ගියා

ලැජ්ජ නහරෙ කපා මහ පාරේ ගියා

වැඩට යන අතරමඟ මුණගැහෙන එක එක ජාතියේ චරිත, මතක පොතට හරි අපූරු කතන්දර එකතු කරලා තියෙනවා. රස්තියාදුකාරිට බස් එක තරම්, මහ පාර තරම් හොඳ විශ්ව විද්‍යාලයක් වෙන කොහෙවත් මුණගැහිලා නෑ. ඒ තරමට පාඩම් ඉගෙනගන්න කිසි ම තැනකින් පුළුවන් කමකුත් නෑ.

ඒ අවුරුදු හය හතකට කලින් දවසක්. මට මතක විදිහට මං එදා තාත්තා එක්ක බස් එකට නැග්ගේ ලොකු නැන්දලගෙ ගෙදර යන්න. අනාදිමත් කාලයක ඉඳන් අපේ රටේ බස්වල නානාප්‍රකාර වෙළෙන්දෝ, යදින්නෝ හිඟයක් තිබුණෙ නෑ නේ.

අපරාදේ කියන්න බෑ. ඒ අතින් අපේ රට හරිම දියුණුයි. බස් එක පිටත් වෙන්න ඔන්න මෙන්න තියලා ටිකක් වැදගත් පාට මනුස්සයෙක් බස් එකට නැග්ගා. හරි පිළිවෙළට ඇඳලා හිටපු ඒ මනුස්සයා බොහොම සංයමයකින් අපූරුවට විස්තරයක් කියාගෙන ගියා....

"අපි විවාහ වෙලා අවුරුදු හතක්. අපට දරුවො හිටියෙ නෑ. බේත් හේත්, යාග හෝම, පූජාවල් හැම දේම කළා. ඒත් ඒ එකක්වත් සාර්ථක වුණේ නෑ. අන්තිමට අපි ගිය අවුරුද්දෙ පත්තිනි දේවාලෙට භාරයක් වුණා. අපිට දරුවෙක් ලැබුණොත් අපි හිඟමනේ ගිහින් සම්මාදම් කරලා කිරි අම්මා දානයක් දෙන්නයි බාර වුණේ. හිතුවා වගේ ම අපට ලස්සන දුවෙක් ලැබුණා.

 දැන් එයාට මාස තුනක්. බාරෙ ඔප්පු කරන්න කාලෙ හරි. මං රජයේ කාර්යාලයක සේවය කරන්නේ. මට කිසි ම මුදල් අගහිඟයක් නෑ. ඒත් බාර වුණේ හිඟමන් යැදලා, කිරි අම්මා දානෙ දෙන්න. ඒ නිසා හැකි අයුරින් ඔබතුමන්ලාගේ උපකාරය බලාපොරොත්තු වෙනවා."ජේත්තුකාර මහත්තයා කියපු කතාව අහගෙන හිටපු බොහොම දෙනෙක් ඔහුට මුදල් පරිත්‍යාග කළා.

අපේ තාත්තත් රුපියල් සීයක්ම දුන්නා. අසුනෙන් අසුනට සිරියාවන්ත හිනාවකුත් එක්ක ඇවිදගෙන ගියපු සම්මාදම් මහත්තයගෙ මූණෙ හැඩහුරුකම රස්තියාදුකාරිගෙ මොළේ ඇතුළේ සීරුවට තැන්පත් වුණා. ෂර්ලොක් හෝම්ස් වගේ ඕන වෙලාවට එළියට ගන්න, මං එහෙම මතක තියාගෙන හිටපු දහස් ගාණක් මූණු මගේ හිත අස්සේ තියෙනවා.

හෙමින්ද හයියෙන්ද කියලා නොදන්න වේගෙකින් කාලෙ ගතවෙලා ගියා. ඊට අවුරුදු හතකට පස්සෙ මම මගේ හොඳම යාළුවා මධුශානිත් එක්ක කොළඹ ඉඳන් රත්නපුරට ගියේ එතනින් තවත් බස් එකක නැගලා, යාළුවෙකුගේ ගෙදරක පින්කමකට යන්න. රත්නපුරෙන් බැහැලා, යාළුවගෙ ගමට යන බස් එකකට ගොඩ වුණත් ගමේ බස් ඉතින් කොළඹ බස් වගේ විනාඩි පහෙන් දහයෙන් දුවන්නෙ නෑ නේ. බස් එක පිටත් වෙන්න විනාඩි විස්සක් විතර තිබුණ නිසා අපි දෙන්නා රටකජු ගොට්ටක් කන ගමන් ඕපදූපයක් කියෙව්වා.

හිඟන්නෝ, පුලන්නෝ කීප දෙනෙක් කටපාඩම් යාතිකාව කියලා, බස් එකට ගොඩවෙලා, බැහැලා ගියා. අපේ කතාබහ අස්සෙ ම එක පාරට ම මතකයේ කොහෙන් හරි ඇහෙන හඬක් කතා කරන්න පටන් ගත්තා. මං ඔළුව උස්සලා බැලුවා. ටිකක් වයසක පාට වෙලා තිබුණට ඒ මූණමයි. 'සම්මාදම් මහත්තයා'. කාලෙකට කලින් අපේ තාත්තත් රුපියල් සීයක් දුන්න කිරි අම්මා දානෙ තාමත් දෙන්න බැරි වෙලා.

හත් අවුරුද්දක් සම්මාදමේ... කතාවත් නතර කරලා මං කට ඇරගෙන ඒ දිහා බලා හිටියා. පත්තිනි මෑණියන්ගේ කරුණාවෙන් ඒ කාලේ ලැබුණු දරුවා දැන් ලොකු ළමයෙක් වෙලත් ඇති... මිනිස්සු ජීවත් වෙන්න ගහන ගැට... මධුශානි ඒ මනුස්සයට දෙන්න අතට ගත්ත සල්ලි මං නැවැත්තුවෙ නැත්තෙ එයා ඒක පින් සිතුවිල්ලකින් දෙන්න හදපු නිසා. බොරු කරලා අරන් ගිහින් හරි ඒ මනුස්සයා තමන්ගෙ වුවමනා එපාකම් පිරිමහ ගන්නවා ඇති කියලා හිතලා. ඒත්... බොරුව, වංචාව හුරු වුණාම මුළු ජීවිතේ ම අනුන් රවටලා ජීවත් වෙන්න මිනිස්සු හුරු වෙනවා.

ඒ එක කතාවක් විතරයි. ගිය මාසේ මැද හරියේ අවුරුදු හතක විතර හුරබුහුටි ගෑනු දරුවෙක් වඩාගත්ත අම්මා, තාත්තා කියාගත්තු ජෝඩුවක් ඔය විදිහෙ ම කතාවක් කියනවා... එකදිගට ම දවස් කිහිපයක් කිහිප තැනකදිම මට මුණගැහුණා. ඒ දරුවා ඉස්කෝලේ යන වයසේ.

එයාව උස්සගෙන එහෙම හිඟමනේ ගියාම දරුවගෙ අධ්‍යාපනය? කවුද මේවා ගැන හොයන්නේ.? ඇත්තට ම අසරණ වුණ මිනිස්සු කොහොමද හොයා ගන්නේ...? සමහර වෙලාවට තරුණ වයසේ පිරිමි ළමයි ටිකට් ඇඟේ ගගහ පුංචි එවුන්ගෙ ශල්‍යකර්මවලට කියලා බස්වල, මහ පාරේ, සල්ලි එකතු කරනවා. හොයලා බලනකොට ඒ පොඩි පැටව් ජීවිතේ දාලා ගිහින්. සල්ලි එකතු කරන මිනිස්සු ඒ දරුවා කලුද සුදුද වත් දන්නෙ නෑ.

අලුතෙන් ම මං දැකපු තවත් දෙයක් තමයි සුදු ඇඳගත්ත උපාසක අම්මලා පිරිකරකුත් අතේ තියාගෙන බස්වල නැගලා, පිරිකරට සම්මාදම් එකතු කරන එක... දෑත දෙපය හයියට තියෙද්දි අනුන්ට අත පාන්නෙ ලැජ්ජ නහරෙ කපලා නිසා නෙවෙයි. හිඟාකන එක විධායක ශ්‍රේණියේ රැකියාවකට වඩා සුඛෝපභෝගී රැකියාවක් බවට පත් වෙලා තියෙන නිසා. ඔය සමහරු කියන්නේ බල්ලො මරලා හරි මොකද සල්ලි හම්බ වෙනවා නම් කියලා. හම්බ කළේ කොහොමද කියලා සල්ලි කොලේ අච්චු ගැහෙන්නෙ නෑ කියනවත් මට ඇහිලා තියෙනවා. මේ මොනවා කොහොම කිව්වත් එක එක රටාවලට, එක එක හැඩතලවලට කොහොම කොයි විදිහට ආවත් මේකෙ ඇතුළාන්තය රැවටීම.... ඒක සමාජය ඇතුළේ වැපිරිලා, පැළවෙලා, ඵල දරලත් ඉවරයි...