මේ අපේ  අවසාන හමුවීමද?

මේ අපේ  අවසාන හමුවීමද?

"දන්නවද? ඔයා ඔහොම මඩේ හිටෙව්ව ඉන්න වගේ දෙපැත්තට වැනෙනකොට මට මතක් වෙන්නෙ විරාගයේ අරවින්දව. හැබැයි මං සරෝජනීවත් බතීවත් නෙවි.."

අපි නිතර ආවගිය කූල්ස්පොට් එකේ ඉඳන් මං ඒ ටික කිව්වෙ එයාගෙ නිහැඬියාව බිඳින්න.

"ඇත්තට? දැන් ඔයා ඔය කියන අරවින්දටයි සරෝජනීටයි බතීටයි මොකද වුණේ?"

"අපොයි ඔයා විරාගයවත් කියවලා නැද්ද සඳසෙන්? යන්න ගිහින් ඔක්කොටම ඉස්සෙල්ලා ඒක කියවලා එන්න."

"පිස්සු නැතුව කියන්නකො ළමයො.."

"හ්ම්ම්ම්...අරවින්ද කියන්නෙ මහ ගුප්ත මිනිහෙක්. හැම තිස්සෙම එයා ළඟ තිබුණෙ අනිත් අයට වඩා වෙනස් ගතිගුණ. කොහොම හරි අරවින්දයි සරෝජනියි ආදරේ කරනවා. සරෝජනීගෙ ගෙදරින් එයාට වෙන ප්‍රපෝසල් එකක් ගේනවා. සරෝජනී ලෑස්තියි හැමදේම අතෑරලා හරි අරවින්ද ළඟට එන්න. ඒත් අරවින්දට ස්ථීර ප්‍රතිපත්තියක් තිබුණෙ නෑ..තීරණයක් ගන්න තරම් ශක්තියක් තිබුණෙත් නෑ. අන්තිමේ සරෝජනී ගෙදරින් කතා කරපු කෙනාව බඳිනවා. බතී කියන්නෙ අරවින්දගෙ ගෙදර වැඩට ඉන්න ගෑනිගෙ දුව. අරවින්ද බතීට හැමදේම හොයලාබලලා කරලා දෙනවා, හරියට තාත්තා කෙනෙක් වගේ. ඒත් බතී ටික ටික ලොකු වෙනකොට අරවින්දට බතී ගැනත් අමුතු අමුතු අදහස් ඇති වෙනවා...ඒත් ලෝකෙට තියෙන බය නිසා බතීව තමන් ළඟ නවත්තගන්න අරවින්ද බය වෙනවා. අන්තිමේදි බතීටත් යන්න අරිනවා.

ඔහොම නෙවි, අරවින්ද ගැන කියනවා නම් තව ඕනෙ තරම් දේවල් තියෙනවා..අදට ඔය ඇති."

"දැන් එතකොට ඔයා ඒ වගේ මිනිහෙක්ටද මාව සමාන කළේ?"

"හැමදේකදිම නැති වුණත් ගොඩක් දේවල්වලදි ඔයයි අරවින්දයි එක වගේ...

අරවින්ද කියන්නෙ ජීවිතේ තමන් ආදරේ කරපු කිසිම දෙයක් අයිති කරගන්න සටන් කරපු මිනිහෙක් නෙවී.එහෙම මිනිහෙක්ට ආදරේ කරලා කවදාවත් කාටවත් සැනසීමක් ලබන්නත් බෑ."

"ඔයා ඔය කරන්නෙ නොතේරෙන්න මට අපහස කරන එක.."

"නොතේරෙන්න නෙවි සඳසෙන්... මං කියන්නෙ තේරෙන්න...ඒත් ඔයා හැමදාමත් කළේ නොතේරෙනවා වගේ හිටිය එක.

ඇත්තටම දවසක ඔයාට මාව බඳින්න පුළුවන් වුණත් මේ යන විදිහට ඔයත් එක්ක ජීවිතයක් පටන්ගන්න පුළුවන්ද කියන එක ගැන නම් තව හිතන්න වෙයි වගේ."

"දන්නවද ඔයාගෙ ප්‍රශ්නෙ මොකක්ද කියලා?

පොත් කියවලා වැඩියි.."

"පොත්වල තියෙන්නෙත් ජීවිතේ සඳසෙන්...

මිනිස්සු පොත්වල ලියන්නෙ හදවතට දැනුණු, අත්විඳපු දේවල්..."

"අනේ මන්දා...අපි දැන් යමුද?" බිබී හිටිය ඔරෙන්ජ් ජූස් එකත් පැත්තකට කරලා, සඳසෙන් ටේබල් එකෙන් නැගිට්ටෙ මූණත් නරක් කරගෙන.

"ඇයි ඔච්චර හදිස්සි...? කියන්න... මේ අපේ අවසාන හමුවීමද? නැත්තම් අවසාන එකට කලින් එකද?" මං ඇහුවෙ කිසි හැඟීමක් නැති ගාණට.

"නෑ ඒ දෙක ම නෙවෙයි...මට තව ටිකක් කල් දෙන්න..."

එතකොට නම් මට යන්තමට හිනා ගියා.නෑ මං හිතාමතා ම හිනා වුණා.

"ඔහොම හිනාවෙන්න එපා අනූ. එතකොට මට මං ගැන ම මහා ලැජ්ජාවක් දැනෙනවා."

"ඔයාට තව කොච්චර කල් දුන්නත් මට ඔයාගෙන් අහන්න වෙන්නෙ 'සමාවෙන්න' කියන වචනෙ විතරයි..

ඒ වුණත් ඔයාව අමතක කරලා හිත හදාගන්නවට වැඩිය මං කැමතියි ඔයා වෙනුවෙන් බලන් ඉන්න.."

ඒ කතාබහෙන් පස්සෙ ටික දවසක් ඔහේ ගෙවිලා ගියා. නිහැඬියාව අස්සෙ හැංගිලා තිබුණු මොකක්දෝ නපුරක් මගෙ හිතට එබෙන්න පටන් ගත්තෙ හිටි ගමන්මයි.

මහ පාන්දර 2.00ට විතර ෆෝන් එකට ආව මැසේජ් එක, අඩ නින්දෙ හිටපු මාව සම්පූර්ණෙම්ම ඇහැරෙව්වා.

"මට සමාවෙන්න. මට බෑ ඔයාට මං වෙනුවෙන් තවත් බලන් ඉන්න කියන්න...මං තීරණයක් ගත්තා. ළඟදිම දවසක මං මහේශිව බඳිනවා...

ඔයා කිව්වා හරි. මමත් අරවින්ද වගේ ම තමන් ආදරේ කරපු දේවල් වෙනුවෙන් සටන් නොකරපු මිනිහෙක්. එහෙම මිනිහෙක්ට ආදරේ කරලා කවදාවත් කාටවත් සැනසීමක් ලබන්න බෑ.

ඒ නිසා සරෝජනියි බතියි කළා වගේ ඔයත් මගෙන් අයින් වෙලා, ජීවිතේ හදාගන්න. හැබැයි කවදාවත් මාව අමතක කරන්න එපා.

ඔයා කියන විදිහට ආදරේ කරන දේවල් දිනා ගන්න සටන් කරනවයි කියලා මං කා එක්ක ෆයිට් කරන්නද? මගෙ ම අම්මා එක්කද? ඊට වැඩිය හොඳ නැද්ද මං ජීවිතේ අතාරින එක...

කරන්න දෙයක් නැති ම තැන අරවින්දගෙ අම්මා අරවින්දගෙ ජීවිතේ අතෑරලා දැම්මා. ඒත් මගෙ අම්මා කළේ මගෙ ජීවිතේ එයාගෙ අතට ගත්තු එක. ඒක එහෙමයි කියලා මට බෑ කවදාවත් මගෙ අම්මට වෛර කරන්න...ඔයා මට ආදරේ කරපු තරමට ඔයත් කවදාවත් මගෙ අම්මට වෛර කරන එකක් නෑ.ඉතින් මට සමාවෙන්න.

අරවින්ද මැරෙන්න වැටිලා හිටිය වෙලාවෙත් සරෝජනී ආවා බලලා යන්න...පුළුවන් නම් අන්න ඒ විදිහට, ඔය හිතේ කොනක මටත් පොඩි හරි ඉඩක් තියන්න...

මං ඔයාගෙ අරවින්ද."

මං පුදුම වෙන්නෙ නෑ. දැනන් හිටියා මේ දවස එන විත්තිය...ඒත් ඇයි මෙච්චර ඉක්මනට?

ෆෝන් එක පැත්තකට කරලා, ඇස් දෙක තද කරලා පියාගත්තා. නින්ද ගියේ නෑ මට... හැබැයි මං ඇඬුවෙ නෑ.