නිදහස හොයාගෙන ගිය මගේ ජීවිතේ අන්තිමේදි අපායක් වුණා

නිදහස හොයාගෙන ගිය මගේ ජීවිතේ අන්තිමේදි අපායක් වුණා

ජීවිතේ සමහර අවස්ථාවලදි අපි ගන්න තීරණ මුළු ජීවිතේ ම කාලකණ්ණි කරලා දාන්නෙ කිසි හිතක්පපුවක් නැති ගානට. එදා ඒ තීරණේ ගත්තෙ නැත්නම් කියලා මං කීපාරක් නම් හිතින් හිතන්නැතිද? මෙච්චරයි කියලා කියන්න බැරි තරම් වාර ගාණක් හිතින් ජීවිතේ ආපස්සට ගිහින් මං මගේ අතින් වෙච්ච වැරැද්ද හරිගස්සන්න හදන්නැතිද? එහෙමයි කියලා කිසි දෙයක් වෙනස් වුණේ නෑ. දැන හෝ නොදැන ජීවිතේ අපි කරගන්න සමහර ගොංකං ආයෙ කවදාවත් හරිගස්සන්නත් බෑ.

ජීවිතේ හරි හැටි නෝතේරෙන කාලෙට, ආදරේ වටෙන් පිටින් හිටිහැටියෙ හිතට එබෙනකොට... ජීවිතේ වරද්ද ගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියලා, දැනගෙන හිටියෙ නෑ මං. ඒ දරාගන්න බැරි බැල්ම මට හැමදාම මගඅරින්න බැරි වුණා. දවසින් දවස හිතාගන්නවත් බැරි විදිහට ෂෙහාන් මගෙ ජීවිතේට ළංවුණේ ආයේ ඈත්කරන්න බැරි තරමට.

අම්මලා තාත්තලා තියෙන තරමක් හොඳ ම ක්ලාසස්වලට දම්මලා ඉගැන්නුවෙ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න කියලා හිතාගෙන. තාත්තා හිටියෙ හමුදාවේ... ටිකක් වසයි නම් තමයි. නීතියට වැඩ. හැබැයි නියපිටින් පාරක් ගහලා තිබුණෙ නෑ එයාගේ එක ම දුව වෙච්ච මට. ඕනෙයි කියන හැමදෙයක් ම ඉල්ලන පරක්කුවට දෙන්න අම්මට තාත්තට පුළුවන්කමක් තිබුණා. හැමදෙයක් ම කරලා දෙන්න අතටපයට වැඩකාරයොත් හිටියා.

හැබැයි ඉතින් ජීවිතේ සැප වැඩිවෙලා තිබුණට නිදහස කියන දේ නම් මට ලැබුණෙ හුඟක් අඩුවෙන්. ඉස්කොලෙන් යන ඇනුවල් ට්‍රිප් එක යන්නවත් මට තාත්තා ඉඩ දුන්නෙ නෑ. අඩුතරමේ යාළුවෙක්ගෙ ගෙදරක යන්න, ෂොපින් කරන්න යන්න පවා වේලාසන තාත්තාගෙන් පර්මිෂන් අරගෙන ඩ්‍රයිවත් එක්ක කාර් එකේ ගිහින් එන්න ඕනෙ.

ගෙදර එනවයි කියන වෙලාවට වඩා එක විනාඩියක් හරි පරක්කු වෙලා ආවොත් අහන හැම ප්‍රශ්නෙකටම උත්තර බඳින්නත් මට ලෑස්තිපිට ඉන්න වුණා හැමවෙලාවක ම. කොයිතරම් දේවල් ලැබුණත් අන්තිමේදි හිත හොයන්න ගත්තෙ ම මට අයිති නැති නිදහස විතරයි. බස්එකේ, කෝච්චියේ, ස්කූල් වෑන් එකේ එක එක පැතිවල ඉඳන් ඉස්කොලෙ එන එක එක ළමයින්ගේ එක එක කතා නිසා මට හීනයක් වෙලා තිබුණු සමහර අත්දැකීම් හරි ලස්සනට හිතේ ඇඳෙන්න ගත්තා විතරක් නෙවෙයි, හැබැහින් ම ඒ දේවල් අත්විඳින්නත් හිතේ ඇතිවුණේ හිර කරලා තියාගන්න බැරි විදිහෙ ආසාවක්.

අන්තිමේදි මං ජීවිතේ දැක්කා. හැබැයි මං ජීවිතේ දිහා බලපු විදිහ වැරදුණා. ටියුෂන් ක්ලාස් එකේ මේන් ගේට් එකෙන් ඇතුල් වෙලා පිටිපස්සෙ ගේට්ටුවෙන් එළියට පැන්නෙ අලුත් ආදරේ හිතට දුන්නු ධෛර්යයත් එක්ක. වෙලාවකට බීච් එකේ, තව වෙලාවකට පාර්ක් එකේ, හීනෙන්වත් ඇවිදලා නැති ලස්සන පාරවල්වල අතින් අත අල්ලගෙන ඇවිදිද්දි හිත් අස්සෙ මල් පිපුණෙ පොකුරු පිටින්. ජීවිතේ විඳලා නැති නිදහස හොයාගෙන, මේ තමයි ජීවිතේ කියලා හිතාගෙන, නුහුරු නුපුරුදු ආදරෙත් තුරුළු කරගෙන, පාරක් පාරක් ගානෙ පිස්සියෙක් වගෙ දුවන කොට දන්නෙ ම නැතුව මට මග වැරදිලා.

දවසක් මාව ෂෙහාන් එක්ක බීච් එකේ දැකපු අපිට දුරින් නෑ වෙන කෙනෙක් ගෙදරට ගින්න දීලා තිබුණෙ ලුණුඇඹුලුත් දාලා. එදා මං ගෙදර එනකොට තාත්තා හිටියෙ යකෙක් වැහිලා වගේ... ගෙට අඩිය තියන්නත් ඉස්සෙල්ලා මගෙ කන පුරෝලා පාරක් ගහපු තාත්තා මාව ගෙට ඇඳලා අරගෙන හොඳට ම ගහනකොට අම්මා කළේ කරකියාගන්න දෙයක් නැතුව මුල්කට වෙලා අඬඅඬා හිටිය එක. කවදාවත් තාත්තා කරන දේකට මැදිහත් වෙන්න ගෙදර කාටවත් හයියක් තිබුණෙ නෑ. හිතට ඇතිවෙනකල් ගහලා තාත්තා කාමරේටත් ගියාට පස්සෙයි මං අම්මාගෙන් අහලා දැනගත්තෙ මට මෙහෙම ගහන්න හේතුව. එහෙමයි කියලා මං ෂෙහාන් එක්ක තිබ්බ සම්බන්ධෙ නැවැත්තුවෙ නෑ.

 දවසින් දවස ගෙදර තත්වෙත් දරුණු වුණා. හැමදාම ගෙදරින් ගුටි කාලා මටත් හොඳට ම ඇතිවෙලයි තිබුණෙ... අන්තිමේදි මං ෂෙහාන් එක්ක යන්න, කාටත් හොරෙන් ගෙදරින් දොට්ට බැස්සෙ යන්නෙ කොහෙද කියලවත් නොදැන. ෂෙහාන් දුප්පත් පවුලක දරුවෙක් කියලා මම දැනගෙන හිටියා. ඒ වුණත් ඒ ජීවිත අස්සෙ මං නොදැන හිටිය දේවල් මහ ගොඩක් තිබුණා.

ගෙවල් පේළියට ම තිබුණු එක ම ටොයිලට් එකට යන්න පාන්දර නැගිටලා පෝලිමේ ඉන්නකොට, වතුර ටික ගන්න පාරෙ පයිප්පෙ ළඟ ගෑනු කෙහෙවලු පටලව ගන්නකොට, හාල්තුනපහ ගන්න ගියහම මුදලාලි අවලමේ යන්න අඬගහනකොට මට තේරුණා මං ජීවිතේ ආයෙ හරිගස්සන්න බැරි තරමට ම වරද්දගෙන කියලා.

හැමදේම නැතිවුණත් අඩු තරමේ ජීවිතේ තරම් විශ්වාස කරගෙන ආව ඒ ආදරේවත් ඉතුරු වුණානම් ඉවසන්න තිබුණා. අන්තිමේදි ෂෙහානුත් වෙනස් වුණා. ඇත්තම කියනවා නම් වෙනස් වුණා නෙවෙයි, එයා මගේ ඉස්සරහාපිට දාගෙන හිටිය බොරු වෙස්මූණ ගලවලා දාලා එයාට හුරුපුරුදු සල්ලාල ජීවිතේ නිදහසේ විඳින්න ගත්තා. නිදහස හොයාගෙන ගිය මගේ ජීවිතේ අන්තිමේදි අපායක් වුණා.

මිනිහා ගෙදෙර එන්නෙ නැතුව, තැන් තැන්වල කුඩු ගගහා රෑ එළිකරන සමහර දවස්වලට වටේපිටේ සමහර උන් අමාරුව ඇරගන්න ලෑලි ගෙයි දොරට තඩිබානකොට තනි මං ඇඳ රෙද්ද හපාගෙන ඉකිගගහා ඇඬුවෙ දරාගන්න බැරි දුකක් වගේ ම පසුතැවිල්ලක් පපුව මැද හිරකරගෙන. ඒ හැම වෙලාවක ම මට හිතුණෙ මට මේ පත්තු වුණේ පොඩිකාලෙ ඉඳන් දුකක් නොදී හැදුව අම්මාතාත්තගේ හිත්වලට අවුලපු ගින්න කියලයි. ඒ වුණත් අම්මතාත්තා වුණත් මගෙ ප්‍රශ්නෙදි ඊට වඩා ඔළුව කල්පනා කරලා වැඩ කළා නම් අද මගේ ජීවිතේ මේ විදිහෙ අපායක් නොවෙන්න තිබුණා.