තරුණ ජීවිත රත්තරං වටිනවා

තරුණ ජීවිත රත්තරං වටිනවා

පත්තර රස්සාවට 1992 දී "කුමරි" යොවුන් පුවත්පතට එක්වෙන්න මට මඟ පෑදුණේ විශේෂාංග, කවි, කෙටිකතා, පරිවර්තන ලිපි එකදිගට ම ලියන්න ගත්තු නිසයි. කුමරියේ කැටපත් පවුර කවි පිටුවේ වගේ ම "අරලිය" පත්තරේ කවි පිටුවේ සතිපතා ම මගේ කවියක්, නිසඳැසක් වැරදුණේ ම නෑ. ඒත් මේ හැම කවියක්ම, නිසඳැසක්ම වගේ ගොඩාක් වෙලාවට මා අතින් ලියවුණේ මරණය ගැනයි. කුමරි පත්තරේ පූර්ණකාලීනව උපකර්තෘ වරයෙක් විදිහට රැකියාව ආරම්භ කළාට පස්සේත් ඒක දිගට ම කෙරුණා. "අවසන් සුසුම්පොද" කියලා මම වෙනම විශේෂාංගයකුත් පටන් ගත්තා. ඒ විශේෂාංගය පුරා ම තිබුණේ මගේ යෞවනයේ දුක් වේදනාව.

ඔය විදිහට මරණයට පෙම් බඳින යෞවනයෙකු විදිහට මම ලියන්න ගත්තු "අවසන් සුසුම්පොද" විශේෂාංගය ඒ කාලයේ "කුමරි" කියවපු තරුණ පරපුර අතරේ සෑහෙන්න ජනප්‍රිය වුණා. එයාලා එවන ලිපි පවා මම මගේ විශේෂාංගයේ සටහන් කළා. ඒත් කාලයක් ගිහින් මම ජීවිතයට ආදරය කරන්න පටන් ගත්තා. මගේ බිරිඳ රොෂානා මට මුණගැසුණෙත් ඒ කාලයේදීමයි. එයා කැමති වුණේ ම නෑ මම මරණය ගැන ලියනවට.

මම ඒ විදිහට මරණය ගැන කවි, නිසැඳැස් ලිව්වට ඒවා නිර්මාණවලට පමණයි සීමා වුණේ. නැතිව කවදාවත් ජීවිතය නැති කරගන්න නම් උත්සාහ කළේ නෑ. ඒ වගේ ම ඒ කාලේ තරුණ පරපුරෙන් ඒ වගේ අනුවේදනීය සිදුවීම් අහන්න දකින්න ලැබුණෙත් කලාතුරකිනුයි. ඒත් දැන් කාලය වෙනස්වෙලා. පුංචි දේටත් තරුණ තරුණියෝ ජීවිතය නැති කරගන්නවා. ඒත් මොකක්දෝ කරුමයකින් සනීප කරන්න බැරි රෝගයකින් මරණයට ගොදුරුවෙන, ඒත් හැම තත්පරයකදී ම ජීවත්වෙන්න ආසා කරන තරුණ අයත් නැත්තෙ නෑ. එයාලා එක්ක බැලුවම නිකරුණේ ජීවිතය විනාශ කරගන්නා තරුණ අය ගැන ඇතිවෙන්නේ කේන්තියක්.

උදාවෙන හැම දවසක ම ජීවත්වෙන්න ආසා කළ සමහර තරුණ තරුණියන්ට ජීවිතය දාලා යන්න සිද්ධවුණාම ඒක කොයිතරම් වේදනාවක්ද? ඒ වගේ සිදුවීම් අහන්න දකින්න ලැබීමත් ජීවත්වෙන අපිට කොයිතරම් ලොකු දුකක්ද..?

මීට අවුරුදු දෙකකට කලින් 2016 ජනවාරි 15 වැනිදා ජීවිතයෙන් සමුගත්තු 29 හැවිරිදි එක්තරා තරුණියක් ගැන දුක්බර මතකයක් මගේ හිතේ තියෙනවා. ඒක තව දුරටත් මතකයේ රැඳෙන්නත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ජනප්‍රිය ගායක කීර්ති පැස්කුවෙල්ගේ "කඳුළ ඉතිං සමාවෙයං" ගීතය.

සුව කළ නොහැකි අන්දමේ රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටි ඇගේ ප්‍රියතම ගායකයා වුණේ කීර්ති අයියා. කීර්ති අයියාගේ ගීතවලින් ඇය වැඩියෙන්ම ආසා කළේත් "කඳුළ ඉතිං සමාවෙයං" ගීතයටයි. ඊට අවුරුදු කිහිපයකට කලින් ඇගේ විවාහ උත්සවයේදිත් කීර්ති අයියා ගීත ගයා තිබුණා. කීර්ති අයියාගෙත් මේ තරුණියගෙත් පවුලේ හිතවතෙකුගේ මාර්ගයෙන් තමයි අන්තිමේ දී ඇය මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණපාලා ඉන්න බව කීර්ති අයියා දැනගන්නේ.

රෝහලේ මරණ මංචකයේ තනිවෙලා ඉන්දැද්දී කීර්ති අයියා රෝහලට ගොස් ඇය ඉදිරියේ ගීත ගයනවා, ඇගේ පවුලේ අයගේ ඉල්ලීමකට. ගීතය ගයද්දී ඔහුටත් ඇඬුණු බව පසු කලෙක කීර්ති අයියා කියනවා. "ඔයා ඉක්මනට සනීපවෙලා ගෙදර එන්න. මම ඔයා වෙනුවෙන් තව ගීත ගොඩක් ගයන්නම්. " කීර්ති අයියා ඒ තරුණියට එහෙමත් කියනවා. ඒත් ඊළඟ දවසේ ඔහුට ආරංචි වෙන්නේ ඒ තරුණිය මෙලොව හැර ගිය පුවතයි. ඒක හරිම දුක්බර සිදුවීමක්. "කඳුළ ඉතිං සමාවෙයං" ගීතයේ අර්ථය මරණය නොවුණත් මේ ගීතය ඇහෙන හැම මොහොතකදී ම ඒ සිදුවීම මතකයට නැගෙනවා.

ඊයේ පෙරේදා මේ වගේ සිදුවීමක් මට අන්තර්ජාලයෙන් කියවන්න ලැබුණා. ඇය 27 හැවිරිදි ඔස්ට්‍රේලියානු තරුණියක්. පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඇය මෙලොව හැරයන්න කලින් මුහුණුපොතේ ඉතා සංවේදි ලිපියක් සටහන් කරනවා. ජීවත්වෙන්න ලැබෙන හැම දවසක්ම ඇයට එක්තරා විදිහක තෑග්ගක් කියලයි ඇය ලියන්නේ. ජීවත්වෙන්න ඇයට ඇති ආසාව කොයිතරම්ද කියලා තේරුම් ගන්න ඒ ටික හොඳටෝම ප්‍රමාණවත්.

ජීවිතයට ආදරය කරන ඒත් ජීවත් වෙන්න වරම් නැති ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් ලෝකය පුරා කොයිතරම් නම් ඉන්නවද..? එහෙම තියෙද්දී අපේ ම රටේ දිනපතා අහන්න දකින්න ලැබෙන සියදිවි හානි කරගැනීම්, ආදරය නිසා පෙම්වතිය කපා කොටා ඝාතනය කරලා තමනුත් ජීවිතය නැතිකරගන්න සිදුවීම් කොයිතරම්ද?

නිකරුණේ ජීවිත අහිමිකරගත්තු තරුණ තරුණියන්ගේ සොහොන මත මිනිමල්වත් පිපෙන්නේ නෑ. ජීවත්වෙන්න ආසාවෙන් ඉඳලා ඒත් දුක හිතෙන විදිහට ජීවිතය දාලා යන්න වුණු තරුණ තරුණියන්ගේ සොහොන මත විතරක් නෙවෙයි, එයාලා වෙනුවෙන් හඬා වැටෙන සමීපතමයන්ගේ හිත්වලත් ඒ තරුණ ජීවිත වෙනුවෙන් සදාකාලිකවම සුවඳ හමන මල් පිපෙනවා.

මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නම් තරුණ ජිවිත කොයිතරම් සුන්දර වේවිද..?