අදාළ තැන් වැහෙනවා නම්  ගවුම කොට වෙන තරමට ලස්සන වැඩියි

අදාළ තැන් වැහෙනවා නම්  ගවුම කොට වෙන තරමට ලස්සන වැඩියි

අදාළ ප්‍රදේශ ආවරණය වන්නේ නම් ගැහැනු ළමයකුගේ ගවුම කොට වන තරමට ආකර්ෂණය වැඩි වන බව, පසු ගිය දිනෙක සභාවක පැවැත් වූ කතාවක් අවසන් කිරීමට කථිකයා යොදා ගත් උපමාවකි. කාලය රන් හා වටින නමුදු අපේ මිනිසුන් කතා කරන්නට ගිය විට කාලය ගැන සැලකිලිමත් නොවේ. බොහෝ උත්සවවල අවසානයේ නිකරුණේ වැය කරන කාලය මිනිස් පැයවලින් විශාල ගණනකි. විශේෂයෙන් රැස්විම්වල, උත්සව සභාවන්වල කථිකයින් සිතා සිටින්නේ තමන්ගේ කතාව දිග කතාවක් වූ තරමට සාර්ථක වන බවයි. එසේ ම බොහෝ අය කතා කිරීමට පෙර කිසිඳු සූදානමක් නොවීම නිසා අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ කතා කිරීම සුලබ කරුණකි. මෙයින් අපතේ යන්නේ කථිකයාගේ කාලය පමණක් නොව අදාළ උත්සවයට හෝ රැස්වීමට සහභාගි වූ සියලු දෙනාගේ වටිනා කාලයයි.

අපේ රටේ කාලය පිළිබඳ කිසිඳු හැඟීමක් කිසිවෙකුට නැති තරම්. අපිට ඕන තරම් කාලය තියෙන බැවින් අපිට තාමත් සංවර්ධනය කරා යන්න බැරි වෙලා. බස්වල, වැඩබිම්වල, කාර්යාලවල, පාසල්වල විනාශ වන කාලය මිනිස් පැයවලට හැරෙව්වොත් අපි නොදැනුවත්ව ම විශාල පැය ගණනක් දිනකට අපතේ යවලා මේ නිසා ලෝකයේ අඩු ඵලදායිතාවයක් ඇති රටක් විදිහට අපේ රට හඳුන්වනවා. කාල ඵලදායිතාවය කියන්නේ දවසේ පැය විසි හතරෙන් අපි කොතරම් ප්‍රමාණයක් අපිට ප්‍රයෝජනවත් වන නැතිනම් තවකෙකුට ප්‍රයෝජනවත් වන කාර්යයක යෙදුනද යන්නයි. ඔබට පුළුවන් නම් අද දවසේ ඔබේ කාලයෙන් ඔබ තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් වන විදිහට කොතරම් කාලයක් ගත කළාද කියලා නිකමට ගණන් හදලා බලන්න.

කාලය රන් හා සමානයි කියන්නේ මේ නිසා. කාලයට පුළුවන් රත්රන්වලට වඩා දේවල් මිනිස්සුන්ට ලබා දෙන්න. කාලයෙන් වැඩ ගත් මිනිස්සු තමයි ලෝකයේ ඉදිරියට යන්නෙ. ඒ කාලය රත්රන්වලට හරවන්න හැකි නිසා. අද අපි ඉන්න තත්ත්වය මොකක් වුණත් ඒ අපේ කාල කළමනාකරණයේ ප්‍රතිඵලයක් මිසක් කරුමය නම් නොවෙයි. ඒ නිසා සාර්ථක මිනිසුන්ගේ සාර්ථකත්වය යට ඇති රහස වන්නේ කාලයත් එක්ක කරපු අරගලයක්. රටක් විදිහට අපි තවමත් මේ රහස් හඳුනාගෙන නැහැ. ඒ නිසා අපේ ගොඩක් දේවල් සකස් වෙලා තියෙන්නේ කාලය කා දමන විදිහට. නවයට පටන් ගන්නවයි කියන රැස්වීම දහය හමාරට පටන් ගන්නවා. එතන කතා කරන අය පැය ගණන් කතා කරනවා. අවසානයේ පැය හතරක් පහක් සිය ගණනක් මිනිස්සු තම වටිනා කාලයත් එක්ක එක් පුද්ගලයෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ නොසැලකිලිමත් කළමනාකරණය නිසා කාලය කා දමනවා.

කළමනාකරණය කියන්නේ තමන් සතුව තිබෙන දේවල් උපරිම කාර්යක්ෂමතාවකින් භාවිත කරමින් අපේක්ෂිත අරමුණක් කරා යාම. අපේ බොහෝ කළමනාකරුවන්ට අමතක වන කාරණයක් වන්නේ කාලය උපරිම කාර්යක්ෂමතාවකින් භාවිත කර ගන්නේ කොහොමද කියන එක ඒ නිසා අනවශ්‍ය දේවලට වැඩියෙන් මහන්සි වෙන විදිහට තමයි අපේ ගොඩක් දෙවල් හැදිලා තියෙන්නේ. සහකරු හෝ සහකාරිය එක්ක ජීවිතේ සැලසුම් කරන්න උත්සාහ ගන්නවට වඩා මඟුලට මහන්සි වුණාම කසාදයක් සාර්ථක වෙනනේ නෑ වගේ ඕන ම තැනක අනවශ්‍ය දේවලට වැඩි ප්‍රමුඛතාවක් ලැබෙන විට අවශ්‍ය දේ ඉබේ ම යටපත් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ලංකාවේ ගුරුවරුන්ට උගන්වනවට වඩා මහන්සි වෙන්න වෙලා තියෙනවා තමන්ගේ වාර්ෂික වැටුප් වර්ධක, උසස්වීම් හදාගන්න. ඒ නිසා බොහෝ ගුරුවරු ඒවට කැප වෙන විට පාසලේ අතිරේකව හෝ තමන්ගෙන් ඉටු විය යුතු දෙවල් අතපසු වෙනවා. සාමාන්‍යයෙන් පාසල් පද්ධතියේ මහන්සි වෙලා වැඩ කරන, කැපකිරීම් කරන අයගේ වැටුප් වර්ධක, උසස්වීම් යටපත් වෙලා, කලාප කාර්යාලවල නිතර හැසිරෙන අයගේ ඒවා ඉක්මනින් හැදෙන්නේ මේ නිසා.

ලක්ෂ පහළොවක් විතර ඉන්න රාජ්‍ය සේවකයොයි ඔවුන් භාවිත කරන නවීන තාක්ෂණයයි අරගත්තම රටේ සංවර්ධනය කොතරම් වේගයෙන් සිද්ධ විය යුතුද කියලා හිතාගන්න බෑ. ඒත් අපි තාමත් පරණ ලාකිකයොම විදිහට ඉන්නවා. රටේ කෝටි දෙකක් වුණු ජනගහනයෙන් ලක්ෂ පහළොවක් සෘජුවම රටේ අනාගතය වෙනුවෙන් ජාතික අරමුණුත් එක්ක වැඩ කරන්න බැඳිලා ඉන්න විට රටක් අසාර්ථකත්වයට පත් වෙන්නේ ඇයි කියලා ටිකක් නොවෙයි ගොඩක් හිතන්න වෙනවා. ඒ රාජය සේවය තුළ ඇති ඵලදායිතාව පිළිබඳ ගැටලුවක්.

ලොකයේ රටවල්වල තාක්ෂණය දියුණු වෙනකොට මිනිස්සු කරපු දේවල් උපකරණවලට බාර දෙනවා. වැඩ පහසු කරගන්නත් කාර්යක්ෂම කර ගන්නත් අපේ රටේ තාක්ෂණික උපකරණ තියෙද්දිත් තවමත් යල් පැනගිය ක්‍රමවේදයන් ම භාවිත කරමින් කාලයත් ශ්‍රමයත් අපතේ යවනවා. අවුරුදු හැත්තෑවක් තිස්සේ අපි හරියට අපේ තිබුණු දේවල් සහ කාලය කළමනාකරණය කර ගත්තා නම් අද අපි කතා කරන්න ඕන අපි ගත්ත ණය ගැන නෙවෙයි. අපි දීපු ණය ගැනයි. අවාසනාවකට අපි අවුරුදු තිහක් විතර තිස්සේ සිට ම කතා කරන්නේ අපි ගත්ත ණය ගැන. ඒ අපි කාලය රත්රන්වලට හැරෙව්වේ නැති නිසා.