චීත්ත කෑල්ලක් ඇඟේ ගෑවුණාම  තුන් ලෝකෙ ම අමතක වෙනවට ඕවා හොඳ පාඩම්

චීත්ත කෑල්ලක් ඇඟේ ගෑවුණාම  තුන් ලෝකෙ ම අමතක වෙනවට ඕවා හොඳ පාඩම්

ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ මගෙ ඉස්සරහ හිටගෙන ඉන්න සචිත් දැකලා මට ආපහු සැරයක් හිනා ගියා. ඒක දැකලා ඌ මට රුව්වා.

"රවපං ඉතින් ඔහොම වෙලා මදි" හිනාව නවතන්නෙ නැතුව ම මං කිව්වා.

'සචිත්' රස්තියාදුකාරිගෙ මොන්ටිසෝරි කාලේ ඉඳන් ම යාළුවා. ටිකක් සෙල්ලක්කාර වුණාට නරක කොල්ලෙකුත් නෙවෙයි. ඉස්කෝලේ කාලෙන් පස්සෙත් අපේ යාළුකම නැති වුණේ නෑ.

එදා 25 වෙනිදාවක්. සචිත්ගෙ පඩි දවස. මාසයක් මහන්සි වෙලා අතට ගන්න පඩිය එහෙම පිටින්ම නැත්තට නැති වෙන ඛේදනීය ඉරණම... අම්මෝ ඒක කොයිතරම් ශෝකජනකද? ඒත් මේකාට වෙලා තියෙන දේට හිනා නොවී ඉන්නෙ කොහොමද?

"උඹට පුළුවන් හිනා වෙන්න විතරයි. රුපියල් දෙසීයක් දීපං මට යන්න" අඬන්න ලං වෙච්ච මූණක් හදාගෙන සචිත් කියවනවා.

"හරි හරි බං. මටත් දුකයි තමයි. ඒ වුණාට චීත්ත කෑල්ලක් ඇඟේ ගෑවුණාම තුන් ලෝකෙ ම අමතක වෙනවට ඕවා හොඳ පාඩම්"

සචිත් බර හුස්මක් හෙළුවා. පැයකට විතර කලින් මෙතනට වෙලා සචිත් කියපු කතාව මං ආයෙ මතකෙට ගත්තා.

වෙනදා පුරුදු විදිහට ම පුරුදු වෙලාවට සචිත් බස් එකට නැග්ගේ ඔෆිස් ඇරිලා ගෙදර යන්නලු. සෙනග පිරුණු බස් එකේ මැද හරියෙ හිටගෙන වටපිට බලනකොට ලස්සන කෙල්ලො දෙන්නෙක් ළඟ ම ඉඳලා. ඇඟට ම ඇලුණු ලෙගින් එක, බඩෙන් වියතක් විතර පේන කොට ටී ෂර්ට් එක, ඒක මැද එල්ලුන සන්ග්ලාස් එක, රෝස කම්මුල්, රතු තොල් තව තව එක එක හැඩේ අරවා මේවා...... මෙච්චර දෙයක් වෙලත් මේකගෙ පැණි බේරෙන වර්ණනාවනෙ වැඩේ. ඔන්න ඉතින් අපේ සචිත් එක ගෑනු ළමයෙකුට ඇහැ දාලා.. මෙන්න ඒ කෙල්ල මේකට ඇස් දෙක ම දාලා. මං කියනවට වඩා මේක රහ වෙන්නෙ සචිත්ගෙ ම වචනවලින් කීවාම.

"ඒකි සුරංගනාවියක් වගේ බං. පට්ටම ලස්සනයි. මං දිහා බලද්දි පපුව හීතල වෙලා ගියා... මං ටික ටික එතනට කිට්ටු වුණා. ඒකි නිකන් ලාවට හිනා වුණාදත් මන්දා. උන් දෙන්නම එක වගේ ලස්සනයි. සෙනඟ ගොඩේ මං ටිකක් වැඩිපුර කිට්ටු කළා. බ්රේක් පාරක් ගහපු පාර කෙල්ල මගේ ඇඟේ.. ඊට පස්සේ ඒකි එහෙමම හේත්තුවක් දාගෙන ම හිටියා. සෙනඟ වැඩි නිසා ඒකිට එහාට මෙහාට වෙන්නත් බෑ. මාත් ඉතින් සනීපෙට හිටියා"

"අම්මපා උඹ නම් හැදෙන්නෙ නෑ. වෙච්ච දේ මතක් වෙද්දි ඔහොම කතා කරන්න පුළුවන්ද වල් ඌරෝ..?"

මං කීවෙ කේන්තියෙන්.

හෝල්ට් දෙක තුනක් විතර ඌව දිව්‍ය ලෝකෙ යවපු සුරංගනාවියෝ දෙන්නා කට කොනකින් හිනා වෙලා ඇහැකුත් ගහලා බැහැලා ගිහින් තිබුණේ මාසෙක මහන්සියටත් විදලා.

ඊට පස්සෙ තමයි ඉතින් සචිත් අපේ ඔෆිස් එක ළඟින් බැහැලා මාව හොයාගෙන ආවේ.

මං දැක්කා ගොසිප් නිව්ස් එකක තියෙනවා කොළඹට කාන්තා කොල්ල කල්ලියක් බැහැලා කියලා. සචිත්ට සිද්ධ වෙච්ච සිද්ධියත් ඒකෙ එක පැතිකඩක්. තව දේවල් බොහොමයි. සෙනඟ ගැවසෙන තැන්වලදි බෑග්වලට, පර්ස්වලට අත්වෙන ඉරණම පොදුවේ බොහොම දෙනෙක් විඳලා තියෙන අමිහිරි අත්දැකීමක්. ඒ වගේ ම සචිත්ට වෙච්ච දේ තවත් දුරදිග ගිහින් නොදන්න කාන්තාවෝ තැන් තැන්වලට අරගෙන යන පිරිමින්ට ඇඳිවතත් නැතුව යන්න වුණ සිද්ධිත් ඕන තරම්. මේ දේවල් කරන කාන්තාවන්ව මතුපිටින් බලලා අඳුරගන්න ලේසි නෑ. ඔවුන් බොහෝම සුක්ෂමයි.

කොළඹ නෙවෙයි, රටේ කොතන වුණත් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඇස් පියාගෙන හිතට වහල් වෙන්න කලින් අවධියෙන් ලෝකය දිහා බැලුවොත් වටී.