අසරණ අයට උදව් වෙන්න කැමති ඔබට ආධාර ලබාදිය හැකි තැන් 8ක් මෙන්න

අසරණ අයට උදව් වෙන්න කැමති ඔබට ආධාර ලබාදිය හැකි තැන් 8ක් මෙන්න

 

ශ්‍රී ලාංකික අපි වත්පොහොසත්කම් අතින් ලොකු තැනක නොහිටියත් අපි ඇවිල්ලා දනටපිනට ඉතා ම ලැදි පිරිසක්. වෙලාවකට ජාති ආගම් මුල් කරගෙන ඇවිලෙන්න හැදුවත්, කාටත් කරදරයක් වෙච්ච අවස්ථාවක ඒවා පැත්තකට දාලා එකාවන්ව නැඟී හිටින්න අපි සමත්. පහුගිය අවුරුදු කිහිපය පුරාවට ම උදාවෙච්ච අවාසනාවන්ත ව්‍යසන අවස්ථාවන් ඊට හොඳම උදාහරණ. මහ ලොකු විපත් පැත්තකින් තියලා බැලුවත් ලංකාවෙ අපි සතකුගේ දුකක් වුණත් දැකලා අහක බලන් යන උදවිය නෙමෙයි. හැකියාවක් ලැබෙන විටක දී ආධාර ලැබිය යුතු අයෙක් වේ නම් ඒ අය වෙනුවෙන් පොඩි මුදලක් හරි පරිත්‍යාග කරන්නත් අපි පසුබට වෙන්නෙ නැහැ.

අපි මේ ලිපියෙන් ගෙන එන්නේ එවන් වූ ඔබට පොඩි උදව්වක්. ලෝකය යහපත් තැනක් කරන්නට, තවත් කෙනකුගේ දුකට පිහිටක් වන්නට ඔබේ හිතේ කැමැත්තක් තියෙනවා නම් ඒ සඳහා මුදලින් ආධාර දිය හැකි ස්ථාන කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ගෙන එන්නේ. මේවා හැම එකකට ම වගේ අන්තර්ජාලය හරහාත් ඔබට ආධාර පරිත්‍යාග කරන්නට පුළුවන්.

1. ශ්‍රී ලංකා රතුකුරුස සංගමය

යුද වකවානුවේ වගේ ම ගෙවුණු හදිසි ආපදා අවස්ථාවන්වලදීත් ශ්‍රී ලංකා රතුකුරුස සංගමය විශාල සහන සේවා රැසක් ක්‍රියාත්මක කරන සංවිධානයක්. විපත් අවස්ථාවල දී සහන සේවා ක්‍රියාත්මක කිරීම වගේ ම විපතට පත් ජනතාවගේ සෞඛ්‍ය ආදී නොයෙකුත් අවශ්‍යතාවන් සොයා බලමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමේ වැඩපිළිවෙළ සැකසීම රතු කුරුස සංගමය මඟින් සිදු කෙරෙනවා. තම ස්වේච්ඡා සේවයන් ක්‍රියාත්මක කරවමින් රටට සෙත සලසවන මේ සංවිධානයට අන්තර්ජාලය හරහා ආධාර කරන්නට ඔබට හැකියාව තිබෙනවා.

ඔවුන්ගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කරනවා නම් පහත තොරතුරු ඔබට වැදගත් වේවි.

බැංකුව – Sampath Bank PLC – Head office Branch

ගිණුමේ නම – Sri Lanka Red Cross Society – Assistance Account

ගිණුම් අංකය – 0929 1000 0286

SWIFT CODE – BSAMLKLX

දුරකථන – 112691095/ 112691095

2. SOS ළමා ගම්මානය

SOS ළමා ගම්මාන සංකල්පය හරහා මවුපියන්ගේ රැකවරණය අහිමිව අසරණ භාවයට පත්ව සිටින දරුවන් රැසකගේ ජීවිත රැසකට එළිය, උණුසුම ලබා දෙනවා. SOS සහෝදර සහෝදරියන්ගේ සහ SOS මවුන්ගේ ආදරය, රැකවරණය මැද, සාමාන්‍ය ළමා නිවාසයකට වඩා දරුවකුගේ මනස සහ පෞරුෂය වර්ධනය කිරීමක් මේ ළමා ගම්මාන තුළ දී සිදු කෙරෙනවා.

SOS ළමා ගම්මානයේ රැකවරණය යටතේ සිටින දරුවන්ට ආධාර කළ හැකි ආකාර කිහිපයක්ම තිබෙනවා. ඔබට පුළුවන් මේ එක් දරුවෙක් වෙනුවෙන් මාස්පතා හෝ වාර්ෂිකව අනුග්‍රහය සපයන්න. මේ සඳහා මාස්පතා රුපියල් 1500ක මුදලකුත්, වාර්ෂිකව නම් රුපියල් 18,000ක මුදලකුත් තමයි වැය වෙන්නේ. එහෙමත් නැතිනම් ඔබට පුළුවන් මාස්පතා රුපියල් 1000ක මුදලකින් හෝ වාර්ෂිකව රුපියල් 12,000ක මුදලකින් දරුවකුගේ අධ්‍යාපන කටයුතුවලට අනුග්‍රහය දක්වන්න. SOS පවුලක් සඳහා ආධාර කරනවා නම් එයට මාස්පතා වැයවෙන අනුග්‍රාහක මුදල වන්නේ රුපියල් 15,000ක්.

ඔබට මේ ආයතනයට ආධාර කරන්නට අවශ්‍ය නම් ඉහත ආකාරයේ අනුග්‍රාහකයෙක් වෙන්නට ම අවශ්‍ය නෑ. ඔබට පුළුවන් ඔබේ හැකියාව අනුව ආධාරයක් පරිත්‍යාග කරන්නට.

දුරකථන – 112702712

 

3. සර්වෝදය

සර්වෝදය ආයතනය කියන්නේත් අසරණ ජනතාවට පිහිට වීමට සමාජ සේවා සහ ස්වේච්ඡා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ආයතනයක්. සර්වෝදය සුවසෙත සේවා සමාජය හරහා මවුපිය රැකවරණය අහිමි දරුවන්ට, පවුල් රැකවරණය අහිමි වැඩිහිටියන්ට සහ ආබාධිත අයට රැකවරණය සැලැස්වීම සිදු කරනවා. ඔවුන්ට ආධාර උපකාර කිරීමට කැමති නම් පහත බැංකු තොරතුරු ඒ සඳහා ඔබට උපකාරී වේවි.

බැංකුව – National Development Bank, Colombo 2.

ගිණුමේ නම – Sarvodaya Suwasetha Sewa Society LTD

ගිණුම් අංකය – 101180000047

SWIFT Code – NDBSLKLX

Bank Code – 7214

දුරකථන – 112647159

4. චිත්‍රාලේන් සංවිධානය

චිත්‍රාලේන් සංවිධානය සහ විශේෂ අධ්‍යාපන පාසල විසින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට රැකවරණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ආදී පහසුකම් සලස්වනු ලබනවා. 1967දී අරඹන ලද මේ සංවිධානය හරහා මේ වෙද්දි විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 2000කට වැඩි පිරිසක් වාර්ෂිකව උදව් උපකාර ලබනවා. ඔබටත් පුළුවන් මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මතු සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාගයක් කරන්න.

දුරකථන – 112503906/112582758