ඔබේ කතිරය කතුරක් කරගන්න

ඔබේ කතිරය කතුරක් කරගන්න

ඡන්ද උණුසුමක් සමඟ ටික ටික ගිනියම් වන සමාජ වාතාවරණයක් උඩදී වයි පාඨක ඔබට පුංචි වචන ටිකක් කියන්නට හිතුණේ තරුණ ඔබ සැමවිට ම සබුද්ධික චින්තනයෙන් තීන්දු තීරණ ගන්නා බැවිනි.

වයි අතිරේකයේ තහනම් වචනය දේශපාලනය වුවද පුරවැසියා උපතින් ම දේශපාලන සත්ත්වයකු ලෙස නිර්වචනය වන බැවින් ටිකක් බරට සේ ම ගොඩක් සැරට මෙවර වයි අතිරේකයේ කතුවැකිය ලියන්නට හේතු වූයේ කාරණා කිහිපයක් ම මුල්කරගෙන ය.

මේ අවුරුද්දේ ඡන්ද වරම ලබා ඉස්ඉස්සෙල්ලා ම ඡන්දපොළට පියනඟන තරුණ නංගිලාට මල්ලිලාටත් කතිරය ගසන්නට යන අනෙක් තරුණ මහළු හැම දෙනාටමත් කතිරය ගසා තෝරා ගැනීමට නොව මෙවර කතිරය ගසා එළවා දැමීමට ඒ වටිනා කතිරය කතුරක් කරගන්නා ලෙස මම ඔබෙන් මුලින් ම ඉල්ලා සිටිමි.

අද දේශපාලනය ම විපරීත වී හමාර ය. එයට වගකිව යුත්තේ කවුරුන්ද?

උත්තරීතර පාර්ලිමේන්තුවේ ගුටිකෙළි හරඹ කරන, අසැබි වචන පාවිච්චි කරමින් සුනඛ රැඟුම් පාන දේශපාලන බෙලහීනයන් ජඩයන් සේ ම සල්ලාලයන් පාර්ලිමේන්තුවට පත්කර හැරියේ ඔබ ම මිස පිට ග්‍රහලෝකයක සිටිනා ඒලියන්ලා පිරිසක් නොවන බව කණගාටුවෙන් යුතුව වුවද කිව යුතු ය.

දිනෙන් දින රට පුරා විද්වත් කථිකා කොතෙක් කෙරුණද අප අදටත් තෝරා පත්කර යවන දේශපාලනඥයන් අතර හික්මීමක් ඇති පරිණත බුද්ධියක් ඇති උගත් වැදගත් චරිත පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කෙතරම් අඩුවෙන් දැයි අමුතුවෙන් කිවයුතු නැත.

හොරුන් එළවා දමමු යැයි කියමින් පත් වූ බොහෝ දේශපාලනඥයන් කම්බ හොරු බව ඇත්තට ම අපි නොදන්නවා යැයි කිව හැකිද? ජනතා මුදල් වනසන, කොමිස් ගහන, හොරකම් කරන, ලිංගික අල්ලස් ඉල්ලන, මැරකම් කරන ජඩයන්ගේ කෙළිමඩලක් බවට අද දේශපාලන වේදිකාව පත් වී තිබීම රටේ අවාසනාවන්ත තත්ත්වයක් පමණක් නොව අප අපගේ ම ධීනකමේ ප්‍රතිඵලයක් නොවන්නේද? මන්ද එවැනි අලුගෝසුවන් තෝරා පත්කර හැරියේ ද අප ම වන බැවිනි.

මේ තත්ත්වය පාර්ලිමේන්තුවෙන් පුපුරා ගොස් පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නගර සභා පුරා ම පිළිලයක් සේ පැතිරගොස් හමාර ය. මෙය වෙනස් කළ යුතු කාලය එළඹ ඇතත් එයට අපට ඒ හැටි ඕනෑකමක් නැති සැටියකි. එසේ වූවා නම් කම්බහොරු යළි යළිත් පත්වීමට ඇති ඉඩකඩ වැසී යෑමට ඉඩ තිබුණද තවමත් එවැනි තත්ත්වයක් පේන තෙක් මානයක නැත.

මෙවර පැවැත්වෙන මැතිවරණයට ද පාතාලයේ ක්‍රියාකාරී සාමාජිකයන් සිව් දෙනෙකුට නාම යෝජනා භාර දී ඇති බව පැෆරල් සංවිධානය කළ සමීක්ෂණයක දී හෙළි වී තිබේ.මේවාට හිනාවිය යුතුද ඇඬිය යුතුද එසේත් නැත්නම් අපගේ පශ්චාත් භාගයට අපිම වේවැලකින් ගසාගත යුතුදැයි සිතාගන්නට නම් තවම හරිහැටි බැරිය.

එසේ ම ඡන්ද උණුසුම අස්සේ අපට අසන්නට ලැබුණේ ඌවේ මහ ඇමැතිවරයාගේ අපූරු හපන්කමක විලිලජ්ජා සහගත ප්‍රවෘත්තියකි.

විදුහල්පතිවරියක් දණ ගස්වා බලපුළුවන්කාරකම් පෙන්නුවැයි කියන මහ ඇමතිවරයා, අධ්‍යාපනය ලැබීමට වැස්සකටවත් පාසලකට ගොඩ නොවූ මුග්ධ තිරිසනකු ලෙස කිසිවකුට ඇඟිල්ල දිගු කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇතිවීම අභාග්‍යයක් නොවේද?

එවැන්නක් නොකළ බව ඔහු මාධ්‍ය හමුවේ පැවසුවද ගුරුවරියකගේ කඳුළු බොරු කළ නොහැකි බව ද තවත් කිසිවකුට කීමට පුළුවන. දේශපාලන හෙංචයියන්ගේ සපත්තු ලෙවකන අධ්‍යාපන බලධාරියන්ද කටයුතු කර ඇත්තේ අමන අයුරිනි.

චෝදනා තවමත් ඔප්පු වී නැතත් ඒ සඳහා කඩිනම් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණ වීම සෘජුව ම විය යුත්තකි. අධ්‍යාපනයවත් උතුම් වූ ගුරු වෘත්තියවත් බල්ලාට දමා කිසිවකුට කටයුතු කළ නොහැකි ය. එසේ හිතා කටයුතු කරන බෙලහීනයන්ට නීතිය හමුවේ දඬුවම් දීමෙන් අනාගතයේ එවැනි ජඩකම් කිරීමට පෙර කෙනකු දෙවතාවක් හිතන තත්ත්වයක් රට තුළ ස්ථාපිත කළ යුතු ම ය.

පසුගිය පාලන සමයේ ගුරුවරියන් දණ ගැස්වූ, රාජ්‍ය සේවකයන් ගස්බැඳ දැමූ ගෝත්‍රිකවාදී තිරිසන් දේශපාලනඥයන්ගේ අමන රැඟුම් අපි හොඳහැටි දුටුවෙමු. එවැනි වාතාවරණයක් යළිත් මතු නොවන්නට මුළු මහත් සමාජයක් ම එකාවන්ව පෙළගැසී වෙනසකට මුලපිරුවේ ඒ වෙනස සැබෑම වෙනසක් විය යුතු බැවිනි. එහෙත් ඒ වෙනසට මුවා වී පරණ අලුගෝසුවන් තමන්ගේ අළුගසා බසා දමා යළිත් අලු යටින් මතුවනවා නම් වහාම වතුර පනිට්ටුව අතට ගෙන වතුර ගසා ඒ ගිනි පුපුරු සහමුලින් ම නිවා දැමිය යුතු ය. ඒ යළිඳු කිසිඳු අයුරකින් දුමක් හෝ නොනැඟෙන පරිදි ය.

ඉතින් තරුණ ඔබ මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධකය බව මතක තබා ගන්න. කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු යැයි කියමින් සාම්ප්‍රදායික වහල් සමාජ ක්‍රමයට ආවඩන මිනිසුන් හමුවේ ඔබ සැබෑම ගිනිපුපුරක් වන්නේ ඔබට එවැනි ඔලමොට්ටල මතිමතාන්තර නොමැති බැවිනි. සබුද්ධිකව සිතන තරුණ ඔබගේ ඡන්දය මෙවර නිසි ලෙස භාවිත කරන්න. තරුණ ඔබට පාටක් නැත. පක්ෂයක් නැත. තරුණ ඔබ අද පවතින ක්‍රමය අනුව ගතයුතු නිවැරදි ම තීරණය ගන්නා ප්‍රායෝගික ඥානයෙන් හෙබි පුරවැසියන් පිරිසක් බව අපි දනිමු.

මැරයන්, ජඩයන්, සල්ලාලයන්, තිරිසනුන් දේශපාලන වේදිකාවෙන් නෙරපා දමන්න ඔබේ බලය පෙන්වන්න. වැඩදායී සත්‍යගරුක, උගත්, බුද්ධිමත් පිරිසක් ඔබේ ගමේ පාලනයට පත්කර ගන්න සැමවිට ඔබ වගබලාගන්න. එය ඔබට කළ හැකි බව ඔබ නිවැරදිව සිය ඡන්දය පාවිච්චි කළහොත් ප්‍රතිඵලයෙන් සනාථ වනු නොඅනුමාන ය.

දේශපාලන මඩගොහොරුව පවතින නරාවළින් ගොඩ ගැනීමට ඔබට අසීමාන්තිකව ඇති ඒ බලය, ඒ වරම, නිසි ලෙස ප්‍රයෝජනයට ගන්න. ඉතිං නංගියේ, මල්ලියේ, අයියේ, අක්කේ, තරුණ ඔබේ ජවය මෙවර නිසි ලෙස පෙන්වන්න.

ඡන්දයට පමණක් හිනාවෙන, මූණු දකින, සුරංගනා ලෝක පෙන්වන, සල්ලි විසි කරන ඒ සුර දූතයන් ඇතුළේ සිටින කළු හැඳගත් සාතන්ලා හරියට හඳුනාගන්න. උන්ව කෑලි කෑලිවලට කපා දමන කතුර ඔබ අතට දැන් ලැබී ඇත. එය දැන් සිට ම හොඳහැටි මුවහත් කරගෙන ඡන්ද පොළට යන්න. පාට පක්ෂවලට ලඝු නොවන්න වග බලාගන්න. මෙතෙක් කල් පැවති, පවත්වා ගෙන යන්නට වලිකන ඒ දූෂිත රාමුව බිඳින්න. ඔබ ඒ රාමුවට හිරවී නොසිට එය බිඳ දමා නැඟිටින්න. එවිට රටට වැඩදායී, ගමට වැඩදායී, සත්‍යගරුක, නීතිගරුක, උගත්, බුද්ධිමත් පුද්ගලයන් පිරිසක් ඔබේ ගම පාලනයට පත්වනු ඇත. ගමින් පටන්ගෙන එය පාර්ලිමේන්තුව දක්වාම දිවෙන ප්‍රදීපස්ථම්භයක් කිරීමට ඔබට එවිට හැකිවනු ඇත. ඒ එළිය අඳුරේ පවතින දේශපාලන වේදිකාවට නැවුම් වූත් තිරසාර වූ ආලෝකයක් එක් කරනු නොඅනුමාන ය.