A STREET CAT NAMED BOB

A STREET CAT NAMED BOB

 

එංගලන්තේ සරේ ප්‍රාන්තයේ 1979 මාර්තු 15 වෙනිදා පොඩි කොල්ලෙක් ඉපදෙනවා. ඔහු ජේම්ස් බෝවෙන්. ජේම්ස්ගේ අම්මයි තාත්තයි ජේම්ස්ට අවුරුදු 5 වෙද්දී දික්කසාද වෙන නිසා ජේම්ස්ට සිද්ධ වෙනවා අම්මා එක්ක ඕස්ට්‍රේලියාවට යන්න. හැබැයි ඊට පස්සේ කාලය ජේම්ස්ට එච්චර හොඳ කාලයක් වෙන්නේ නැහැ.

පාසල් ගියත් ඔහු පාසලේ දී ටිකක් මුළු ගැන්විලා හිටපු ළමයෙක්. පාසල කොහොමත් ජේම්ස්ට එච්චර සිත් ගන්නා තැනක් වෙන්නේ නැහැ. ඉතින් ඔහු අවුරුදු 16 දී පාසල අත්හරිනවා. සෑහෙන මානසික පිඩා ගොඩක් මැද්දේ ජීවිතය ගෙවන ජේම්ස්ට දවසක ඕස්ට්‍රේලියාව සදහටම දාලා එන්න ඕනි වෙනවා. ඒකට හේතු ගණනාවක් බලපාලා තියෙනවා. ඔහුගේ අම්මගේ දෙවෙනි සැමියා වුණු මාර්ක් ජේම්ස්ගේ පෙම්වතිය වූ ක්‍රිස්ටි එක්ක ගෙදර අමුත්තන්ගේ කාමරේ ඇද මත ඉදලා අහුවෙනවා වගේම අවුරුදු 7ක් ජෙම්ස්ගේ අම්මා එක්ක තිබුණු විවාහය දාලා මාර්ක් ක්‍රිස්ටි එක්ක පැනලා යනවා.

මේ නිසාවෙන් සෑහෙන්න මානසිකව කඩා වැටෙන ජේම්ස් එංගලන්තයට එනවා. කාලෙන් කාලෙට යාළුවො එක්ක නතර වෙලා ජේම්ස් රස්සා හොයනවා. නමුත් ඔහුට ගැලපෙන රස්සාවක් ලැබෙන්නේ නැහැ. තිබුණු ප්‍රශ්නයි සේරම එක්ක ජේම්ස්ට විසඳුමක් දෙන්නේ ඔහුගේ යාළුවො. නින්ද යන්නේ නැති නිශ්ශබ්ද රාත්‍රීන්ගෙන් මිදෙන්න ඉවරයක් නැතිව ඔලුව අස්සේ වද දෙන ප්‍රශ්නවලින් මිදෙන්න ජේම්ස්ගේ යාළුවෝ ජේම්ස්ට හොයලා දෙන පාර තමයි මත්ද්‍රව්‍ය. ඔහු වැඩි වැඩියෙන් හෙරොයින්වලට ඇබ්බැහි වෙද්දී අන්තිමට ජේම්ස්ට සිද්ධ වෙන්නේ මහා පාරට වැටෙන්න . තමන්ගේ බඩු ටිකත් අරගෙන මහා පාරේ උදේ ඉඳන් රෑ වෙනකම් සින්දු කියල දවස තිස්සේ හම්බ කරපු සල්ලිවලින් කෑමයි මත්ද්‍රව්‍ය යි අරගෙන ආයේ පාරේ අයිනක ම නින්දට යන එක ජේම්ස්ට පුරුද්දක් වෙනවා. අවුරුදු ගානක් තිස්සේ ජිවිතේ මහා පාරට දාලා ඔහේ ගෙවද්දී මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම් මත ඔහුව පුනරුත්ථාපනයට යොමු කෙරෙන අවස්ථා ඕනි තරම්. නමුත් ඒ හැම අවස්ථාවකින් ම හැම පුනරුත්ථාපන කඳවුරකින් ම ඔහු පැනලා යනවා.

නමුත් මොකක්දෝ වාසනාවකට ඉන්න හිටින්න තැනක් නැති මිනිස්සු වෙනුවෙන් ලැබෙන නිවසක් දවසක් ජේම්ස්ට හමුවෙනවා. කොටින්ම කිව්වොත් මහා පාරේ නිදා ගන්නවා වෙනුවට තමන්ගේම කියලා පුංචි වහලක් ඔහුට දුප්පත් මිනිසුන්ට උදව් කරන සංවිධානයකින් ලබා දෙනවා. ඒ කාලේ වෙද්දීත් ඔහු කරන්නේ තමන්ගේ පුරුදු රස්සවමයි. මහා පාරේ සිංදු කියනවා.

දවසක් මේ විදියට සිංදු කියලා ගෙදර එද්දී ඔහුගේ නිවසේ මුළුතැන්ගෙයි අමුත්තෙක් ඉන්නවා. ඒ දුඹුරු පාට ලොම් කිලිටි වුණු පූසෙක්. ජේම්ස් ඒ පූසා ව එලවන්න උත්සාහ කරත් ඌ යන්නේ නම් නැහැ. අද යයි හෙට යයි අයිතිකාරයෙක් ඇවිත් අරන් යයි කියලා බලාගෙන හිටියත් ඒක වුණෙත් නැහැ.කොච්චර එලෙව්වත් පූසා කොහෙවත් යන්න කැමති වුණේ නැහැ වගේම අයිතිකාරයෙක් හොයලා පූසා ව බාර දෙන්න ජේම්ස් කොච්චර උත්සාහ කරත් ඌ අයිතිකාරයෙක් නැති දඩාවතේ යන පූසෙක්ම වුණා.

හැමදාම ජේම්ස් සිංදු කියන්න ගෙදරින් යනකොට පියවර කිහිපයක් පිටිපසින් එන ආයේ හවසට ගෙදර එනකොට ගෙදර දොරකඩ බලන් ඉන්න පූසා ට ජේම්ස් නමක් තියෙනවා. “ බොබ් “

දවසක බොබ්ගේ කකුලක විසර ගෙඩියක් ඇවිදින් තුවාල වෙලා තිබුණා. ජේම්ස්ගේ අතේ තිබුණු මුළු මුදලම යුරෝ 30ක්. ඒ සියල්ල වියදම් කරලා ජේම්ස් බොබ් ට සති දෙකක් තිස්සේ බෙහෙත් අරන් දීලා බොබ්ව හොඳ කරනවා. තවමත් මත්ද්‍රව්‍යවලටයි ආහාරවලටයි මුදල් හොයන්න සිංදු කියන ජේම්ස් එක්ක ඊට පස්සේ බොබ් බස් එකේ නැගලා හැම තැනම යනවා. ජේම්ස් සිංදු කියද්දී කර උඩට නැගල බලන් ඉන්නවා. මිනිස්සු සල්ලි දෙද්දී ස්තුතියි කියන්න බැරි කමට ඥාව් සද්දයක් දානවා. බොබ් නිසා සල්ලි ලැබෙන ප්‍රමාණයත් ටික ටික වැඩි වුණා වගේම බොබ්ට ආදරේ කරන කට්ටියකුත් බොබ් බලාගෙන එන පිරිසකුත් බිහි වුණා.

නමුත් එක ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ ජේම්ස්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම්. ජේම්ස් මත්ද්‍රව්‍ය ගද්දි බොබ් බලන් ඉන්නේ හරිම අමුතුවට. ඌ ඒකට කැමති නැහැ. ඒ ඔස්සේ ජේම්ස් හිතනවා. මත්ද්‍රව්‍ය නවත්තන්න උත්සාහ කරනවා. ශරීරය මත්ද්‍රව්‍ය ඉල්ලා ඉල්ලා ජේම්ස්ව දණින් වට්ටද්දී බොබ් ජේම්ස්ව ඔහුගේ අධිෂ්ඨානය ශක්තිමත් කරන්න ඒ ළඟින්ම බලාගෙන ඉන්නවා. මත්ද්‍රව්‍යවලින් මිදෙන්න වගේම ජේම්ස්ගේ ජීවිතේ තනිය මකන්න හොඳ කාලවල වගේම නරක කාල වලදීත් ළඟින් ඉන්න මේ බොබ් ගැනයි ජේම්ස් ගැනයි පොතක් ලියන්න කියලා ඔහුට දවසක් සාහිත්‍ය සම්බන්ධ පුද්ගලයෙක් කියනවා. ඔහු ගැරී ජෙකින්ස්. ඉතින් ජේම්ස් පොතක් ලියනවා. ඒ A Street Cat Named Bob. බොබ් ජේම්ස්ගේ දෛවය කණපිට හරවන්නේ එතැනදී. ඒ පොත ලෝකේ වටේ මිලියන ගානක් අලෙවි වෙනවා වගේම ඒ පොත ආශ්‍රිත ව චිත්‍රපටයකුත් බිහි වෙනවා. එහි රඟපාන්නෙත් බොබ්. ඒකෙ ප්‍රතිපලය වෙන්නේ ඉන්න හිටින්න සැප පහසු තැනක් නැතිව එදා වේල කන්න විතරක් හොයා ගත්තු ජේම්ස් බොබ් එක්ක තමන්ගේම ගෙදරක මිලියන ගානක වත්කමට උරුමකම් කීම යි.

අපිරිසිදු විදියක ඉඳන් රතු පලස දක්වා ජේම්ස්ගේ ජීවිතය ගෙනිච්ච බොබ් වත් ජේම්ස් වත් මුල අමතක කරන්නේ නැහැ. ඔවුන්ට ලැබෙන මුදල්වලින් සත්ත්ව සුබසාදනයට වගේම අනාත මිනිස්සු වෙනුවෙන් උදව් කරන්නත් ඔවුන් කටයුතු කරනවා. ඒ වගේම මත්ද්‍රවය ඇබ්බැහි වුණු මිනිසුන්ට පුනරුත්ථාපනය වෙන අයට තමන්ගේ ජීවිතය ඇසුරෙන් උපදෙස් දෙනවා.

මේක,ජීවිතේ කියන්නේ මොකක්ද කියලා මනුස්සයෙක්ට කියා දෙන්න පුළුවන් වුණු අපේ කාලේ පූසෙක්ගේ කතාවක්.