රස්තියාදුකාරි

හින් ස්

ඇවිදලා ඇවිදලා ඉහින් කනින් දාඩිය පෙරාගෙන ඇවිදින් බස් එකට නැග්ගෙ ගෙදර යන්න.

"යන මගුලක ගිහින් හවස් වෙන්න කලින් ගෙදර එනවා. අද රෑ කෑමට ඉන්දු අක්කලගෙ අම්මලා එනවා. මට තනියම හැම දේම කරන්න බෑ"

උදේ එළියට බහින්න හදන කොටම අම්මා සද්දයක් දැම්මා.

ඉන්දු අක්කා කියන්නෙ අපේ පොඩි අයියගෙ වෙන්ඩ මනමාලි. කාට නැතත් පොඩි අයියගෙ දේකට මං බෑ කියන්නෙ නෑ. මගේ පිස්සු අයියලා දෙන්නගෙන් මං වැඩියම ආදරේ පොඩි අයියට. අපි දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම යාළුවෝ වගේ. ඉන්දු අක්කත් දැකපු දවසෙ ඉඳන්ම මට ගොඩක් ළං වුණා.

"හරි මගෙ සුදු අම්මා. එක වෙනකොට මං ගෙදර"

අම්මව බදාගෙන හාදුවකුත් දීලා මං එළියට පැන්නා.

" එකට කෙසේ වෙතත් අඩු ගානෙ තුනටවත් එනවා."

ඒ අපේ අම්මගෙ අවසාන තීරණේ. ඉතින් අපි කොහේ ගියත් ඒ තීරණයට ගරු කරලා වෙලාවට ගෙදර ඉන්න ඕන. බැරි නම් කලින්ම කියලා යන්න ඕන. රස්තියාදුකාරි වුණාට මාත් අම්මගෙ තීරණවලට යටයි ඉතින්.

උදේ ඉඳන් එහෙට මෙහෙට ඇවිදලා රිදෙන කකුල් දෙකත් නවාගෙන ප්‍රයිවට් බස් එකේ කොනකින් වාඩි වුණා. වෙලාව එකයි හතලිස් පහයි. කිලෝ මීටර් විසි එකක් පැයකින් යන්න පුළුවන් නෙ. අම්මා දීපු වෙලාවට ගෙදර යා ගන්නයි මට ඕන වුණේ. එකයි පනස් පහට බස් එක යන්න පටන් ගත්තා. සීට් ගානට විතරයි සෙනඟ හිටියේ.

මං රුපියල් සීයක් දීලා ටිකට් එකක් ඉල්ලුවා. රුපියල් පනස් දෙකක ටිකට් එක කඩලා දීලා, ඉතුරු දෙන්නම් කියලා පැණි හිනාවකුත් දාලා කොන්දොස්තර පස්සට ගියා. රුපියල් හතලිස් අටට දෙවි පිහිටයි කියලා මං හිතා ගත්තා. මටත් ඉතින් මෙලෝ සිහියක් තියෙනවා යෑ ඕක ඉල්ලන්න.

පයින් යනවටත් වඩා ටිකක් විතර හෙමිහිට බස් එක කිලෝ මීටරයක් දෙකක් ආවා. පාරේ traffic එකකුත් තිබුණෙ නෑ. බස් හෝල්ට් ගැන නොසලකා අඩියක් ගානෙ ඉන්න සෙනගත් ගොඩ කරගත්තා. තවත් හෝල්ට් දෙකක් විතර ඇවිත් එක හෝල්ට් එකක බස් එක නැවැත්තුවා. විනාඩි දෙකක් තුනක් ගියා. ආපහු යන පාටක් නෑ. රත් වෙච්ච ඉර එළිය වගේ ම ගමන නිමා කරන්න තිබුණ හදිස්සියත් මිනිස්සුන්ව නොසන්සුන් කළා. හෙමින් හෙමින් තැනින් තැන පටන් ගත්ත කසු කුසුව අව්වටත් වඩා උණුසුම් වුණා.

"යන්නෙ නැද්ද ඕයි?"

විනාඩි දහයකටත් එහා ඔරලෝසුවේ කටුව කැරකුණාට පස්සෙ බස් එකේ එක තැනකින් හඬක් නැගුණා.

"ඒක තමයි."

"මොන මගුලක්ද මන්දා"

තවත් දෙතුන් දෙනෙකුගේ සද්ද එහෙන් මෙහෙන් ඇහුණා. කොන්දොස්තර මහත්තයත් හරි හරියට කියවනවා.

" අපි යන්නෙ අපට ඕන වෙලාවට. තදියම නම් බැහැලා වෙන එකක යන්න මහත්තයා පව් නොදී."

ඔන්න ඉතින් ගමනාගමන පද්ධතියේ සදාචාරය.

" යනවා තමයි මිනිහෝ. අපි බස් එකට නගින්නේ කලට වෙලාවට පරිස්සමින් ගමන යන්න. තමුසෙලා එක්කෝ ඉගිලෙනවා නැත්නම් කොටනවා"

කටින් දෙකක් තුනක් ගහලා කතා කරපු මනුස්සයා බස් එකෙන් බැස්සා. ඒ මනුස්සයා බැස්සට පස්සෙ බස් එක යන්න පටන් ගත්තා. තවත් ටිකක් දුර කොට කොට ගිය බස් එක එක පාරටම භූමි තෙල් වැදුණු ගැරඬියා වගේ ඉගිලෙන්න පටන් ගත්තා. හැබැයි බස් එකේ නගින්න කවුරු හරි අත දැම්මොත් ඕන තැනක නැවතුණා.

හුළඟටත් වඩා වේගෙන් ඉගිලෙන බස් එකේ බෙල් එක වැදුණා. මං හැරිලා බැලුවා. අවුරුදු පනහක විතර අම්මා කෙනෙක් අමාරුවෙන් සීට් එක අල්ලගෙන ඉගිලෙන බස් එකේ දොර ළඟ හිටගෙන. බෙල් එක ගැහුවට බස් එක නැවතුනේ නෑ. ඒ අම්මා ආයෙමත් සැරයක් බෙල් එක ගැහුවා බස් එකේ වේගෙට එයාව වැටෙන්නත් ගියා.

"බහිනවා, බහිනවා"

බැරි තැන ඒ අම්මා කෑ ගැහුවා.

"ඕන ඕන තැන්වල නවත්තන්න බෑ. අපි නවත්තන්නෙ හෝල්ට් එකේ. හා හා ඉක්මනට බැහැගන්න" ගෝරනාඩුවකුත් එක්ක ඩ්‍රයිවර් බස් එක නැවැත්තුවා.

" නගින්න නම් හෝල්ට් ඕනෙ නෑ. බහින කොට තමා හැම නීතියක් ම "

ඒ අම්මා බැණ බැණ බැහැලා ගියා. බස් එක ආයෙමත් ඉගිලෙන්න පටන් ගත්තා. පාරෙ යන වාහන overtake කරගෙන, මාර්ග නීති ගැන කිසිම සැළකිල්ලක් නැතුව පිස්සු හැදුනා වගේ වේගෙන් ගිය බස් එක ගමනාන්තයට කිලෝ මීටර් පහකට විතර කලින් පොලීසියෙන් නැවැත්තුවා.

මදැයි විනාඩි පහෙන් ඉවර කරන්න තිබුණ ගමන තවත් විනාඩි විස්සක් පමා වුණා.

ඔය අලකලංචි සේරම ඉවර වෙලා ඔන්න ඉතින් බස් එක නැවතුමට ආවා. පැයක ගමනට පැය එක හමාරක්. හිත යටින් බැණ බැණ මං බස් එකෙන් බැස්සා.

"ඉතුරු සල්ලි "

කොන්දොස්තර මහත්තයගෙ පැණි හිනාවත් එක්ක රුපියල් හතලිස් අට...... ඒක උඩ හතරට පහට නවපු පොඩි කොල කෑල්ලක්...

" අයියේ මේ සල්ලි එක්ක ඔයාගෙ කොලේකුත් ඇවිත්. ආ මේක ගන්න"

මං ටිකක් සද්දෙට එහෙම කියලා කොල කෑල්ල එයා ළඟට දැම්මා. වටේ පිටේ මිනිස්සු කොන්දොස්තරට නෝන්ඩියට හිනා වෙද්දි මං බැහැලා ආවා.

බස්වලට ගමනාන්තයට යන්න වෙලාවක් නියම කරලා ඇති. තව තව නීතිත් පනවලා ඇති. ඒ හැම දේම කරන්නෙ ගුණාත්මක, කාර්යක්ෂම සහ විනයගරුක සේවයක් අපේක්ෂා කරලා මිසක් මනුස්සකම සහ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න නෙවෙයි.