ඊයේ තමයි නියම දවස

ඊයේ තමයි නියම දවස

මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම ආසයි ආදරේ කරන්න.ඒ වගේම ආසයි ආදරේ විඳින්න.එතැනින් එහාට ගියාම හැමෝම ආසයි ආදරෙත් එක්ක ජීවත් වෙන්න.අන්න ඒ නිසාම අපි ආදරේ කරනවා.ආදරේ විඳිනවා.ආදරෙත් එක්ක ජීවත් වෙනවා.ඊයේ පෙබරවාරි 14.ඒ කියන්නේ වැලන්ටයින් දවස නැත්නම් ආදරවන්තයින්ගේ දවස.ඉතිං ආදරෙන් බැඳිලා ඉන්න හැමෝම ඊයේ ඒ දවස සමරන්න ඇති.මං මගේ හදවතට එකඟව එහෙම හිතනවා. ඒත් ඊයෙ කියන්නේ සමහර අයගේ ඉරණම විසඳුණු දවසක්.මං එහෙම කියන්නේ හේතුවක් ඇතුව. සමහරු ඊයේ හිතුවේ අද තමයි දැනෙන්නම ආදරේ කරන්න තියෙන දවස කියලා.ඒත් එහෙම හිතපු අයට ඊයේ වැරදුණා.වැරදුණෙත් නෑ වරද්ද ගත්තා.නමක් ගමක් නැති හැඟීම්වලට ඊයේ ඔයත් ලොකු ඉඩක් දුන්නා නම්,ඒ වරද්ද ගත්ත අය අතර ඔයත් ඇති. වැලන්ටයින් දවස නැත්නම් ආදරවන්තයින්ගේ දවස කියන්නේ හිතේ පොරකන හැඟීම් දැනීම්වලට උපරිම නිදහස දෙන දවසක් නෙවෙයි.සමහර විට ඔයා ඊයේ කළෙත් ඒ ටිකමයි.ඉතිං මං අද ලියන්නේ ඊයේ දවස තමන්ගේ ම කරගත්තු ආදරණීය ඔයාලට. පුළුවන් නම් මේ අකුරු වෙනුවෙන් ඔයාලගේ හිතේ පුංචිම ඉඩක් හරි චූටි වෙලාවකට මට දෙන්න.

චුට්ටක් මතක් කරන්න ඔයා මේ වෙලාවට ඊයේ හිටපු තැන.සමහර විට ඔයා ඉන්න ඇත්තේ Beach එකක.ඒ නැත්නම් Park එකක.හරි කමක් නෑ.මොකද එහෙම හිටියා නම් ඔයා ඊයේ දවස සුන්දරව ගත කරන්න ඇති කියලා මං හිතනවා.ඒත් මේක කියවන සමහර අය ඊයේ මේ වෙලාවට ඉන්න ඇත්තේ අලුත් තැන්වල.අන්න එයාලගේ ඉරණම ඊයේ හරි අපූරුවට විසඳෙන්න ඇති.හරි මං ඒ ගැන මෙහෙම කියන්නම්. ඔයාගේ කොල්ලා ඊයේ වෙනසකටත් එක්ක කියන්න ඇති "සුදූ අපි අද Room එකකට යමු" කියලා.එහෙම කියපු ගමන් ඔයා චුට්ටක් ගැස්සෙන්න ඇති.ඒත් ඔයා කොල්ලට තියෙන ආදරේට හරි තියෙන විශ්වාසෙට හරි ඔයා ඒකට කැමති වෙන්න ඇති.ඉතිං එහෙම කැමති වුණු ඔයා ඊයේ බිත්ති හතරකට කොටුවෙලා ආදරවන්තයින්ගේ දිනය අලුත් විදිහට සමරන්න ඇති.මං හරියටම හරි නේද? ඔව්,මට ඔයාලව දැන් කියවන්න පුළුවන්.ඒත් චුට්ටක් මේ ගැනත් හිතන්න.

ඔයාගේ අම්මා මුළු දවසම කිරිගස් එක්ක ඔට්ටු වෙන ගැහැනියක් වෙන්න පුළුවන්. අම්මා උදේම කිරි කපන්න ගිහින් කිරි කපලා ගෙදර එන්නේ පුළුවන් හින්දම නෙවෙයි.ඊට පස්සේ එයා දවල්ට උයලා ආයෙත් කපපු කිරි එකතු කරන්න ගිනි අව්වේ කිරි කට්ටියට යනවා.ඒ ඔයාගේ අම්මා.

ඊට පස්සේ තාත්තා ගැන හිතන්න.පට්ට අව්වේ උස පොල් ගස් එක්ක ඔට්ටුවෙලා එයා පොල් ගෙඩියක් බිම දාන්නේ ලොකු බලාපොරොත්තුවකින්.ඒත් කරන්න දෙයක් නැතිකමට ඒ බලාපොරොත්තුවලට පාට දෙන්නේ ඒ උස පොල් ගස්.ඒ ඔයාගේ තාත්තා.ඒ විදිහට දුක් විඳලා රුපියල් හොයලා ඒ දෙන්නා ඊයෙත් සල්ලි දුන්නේ ඔයාට පංති යන්න.ඒත් ඒ සල්ලිවලින් ඔයා ගියේ පංති නෙවෙයි.අම්මගේ කිරිපැල්ලම් ගෑවුණු ඒ සල්ලි කොළ,තාත්තගේ දහඩියෙන් පෙඟුණු ඒ සල්ලි කොළ අද ඇත්තේ ඔයා ඊයේ ආදරවන්තයින්ගේ දිනය සමරපු නවාතැනේ මනුස්සයා ළඟ.මෙහෙම ලියද්දී ඇත්තටම මගේ අත වෙව්ලනවා.ඒ ඇයි කියන්න මං දන්නේ නෑ.ඒත් මං නොදන්න ඒ දේට උත්තරේ, කියවන ඔයා හොඳටම දන්නවා.

ඊයේ දවසේ ඔයාලා පන්සලට ගිහින් මලක් පහනක් පූජා කරලා ඔයාලගේ ආදරේ වෙනුවෙන් පුංචි ප්‍රාර්ථනාවක් කළා නම් ඒක මොන තරම් හිතට සැනසීමක්ද? මං හිතන්නේ එහෙම ප්‍රාර්ථනාවක් කරපු අය ගොඩක් අඩු ඇති.ඒත් එතැන තමයි ආදරේ පිරිලා තියෙන්නේ.ඊට පස්සේ ලස්සන තැනකට ගිහින් එක තැන වාඩිවෙලා පුංචි විහිළුවක් කර කර ජීවිතේ ගැන කතා කෙරුවා නම් ඒකත් මොන තරම් සැනසීමක්ද? Beachවල කුඩයක් යට ගුලිවෙලා එයාගේ තොල් ඔයාගේ තොල් අග පැටලෙද්දි හරි ලෝකෙට හොරෙන් කාමර අස්සේ තනිවෙද්දි හරි ඔයාට ඒ සැනසීම දැනෙන්නේ නෑ.ඇත්තටම ආදරේ හදවතට දැනෙන්න නම් ජීවිතේ මේ සොබාදහමට හුඟාක් ළංවෙන්න ඕනෙ.මට හිතෙන්නේ එහෙමයි.මට නොපෙනුනාට ඔයා කෙල්ලෙක් නම් අද ඔයා ලෝකෙට හොරෙන් කොට්ටෙට මූණ තියන් අඬනවා ඇති. ඔයා කොල්ලෙක් නම් දැන් ඇඳ උඩ පෙරළිලා වේදනාවෙන් ඊයේ කරපු දේ ගැන පසුතැවෙනවා ඇති. ඔව් හුඟාක් අය ඊයේ සැමරුවේ එහෙමයි.පෙබරවාරි 14 දවස ආදරේ කියලා හිතන් ඒක විඳින ගොඩාක් අය පෙබරවාරි 15 වෙනිදට ඉන්නේ ඔය විදිහට තමයි. ඉතිං පුතේ දැන් අඬලා, පසුතැවිලි වෙලා වැඩක් නෑ. මොකද ඔය දේවල් හිතන්න තිබුණේ හැමදේටම කලින්. ඒත් දැන් ඔයාලා පරක්කු වැඩියි.

ඊයේ පෙබරවාරි 14.ඇත්තටම ඔයා ආදරේ කරන කෙනා හරි,ඔයාට ආදරේ කරන කෙනා හරි හදවතින්ම ඔයාට ආදරේ කරලද නැද්ද කියලා ඊයේ ඔයා හොඳින්ම තේරුම් ගන්න ඇති. සත්තකින්ම ජීවිතේ හරි දේ තෝරගන්න ඒක ලොකූ හයියක් වෙන්න ඇති.ඔයාට ආදරේ කරන එයා ඊයේ ඔයාට පන්සල් යන්න කතා කළා නම්, ඔයා හොයන් ඉන්නේ දාහකින්වත් හොයාගන්න බැරි කෙනෙක්.ඒත් ආදරේ කරන එයා ඊයේ ඔයාට තනිවෙන්න යන්න කතා කළා නම්,ඒ ඔයා හොයන් ඉන්නේ දාහකින් වුණත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කෙනෙක්. ඊයේ දවසේ හැඟීම්වලට ඉඩ නොදී ඔයා ඔයාගේ හෙට දවස ගැන හිතලා වැලන්ටයින් සැමරුවා නම් ඔයාගේ හෙට දවස හුඟාක් ලස්සන වෙයි.හුඟාක් කොල්ලෝ Sex නිසා ආදරේ කරනවා.හුඟාක් කෙල්ලෝ ආදරේ නිසා Sex කරනවා.ගොඩක් අයට වැරදුණේ ඒකයි.මේ අතරින් අපි හොයාගන්න ඕනෙ කොහොම කෙනෙක්ද? ඔව් ඔයා කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් හොයාගන්න ඕනෙ ආදරේට ඇත්තටම ආදරේ කරන කෙනෙක්. අන්න එයා තමයි දවසක ඔයාගේ ජීවිතේ හරියටම ලස්සන කරන්නේ. අන්න ඒක මට විශ්වාසයි.

ඉතින් අද අලුත් දවසක්.දවස කියනවා නම් පෙබරවාරි 15 වෙනිදා.අද ඉඳන් ජීවිතේ ලස්සනට සුන්දරව ගත කරන්න නම්,ඔයා චුට්ටක් ඊයේ දවස දිහා හැරිලා බලන්න.දැන් චුට්ටක් නෙවෙයි හුඟාක් සැරයක් හිතන්න.ඇස් අගට කඳුළු උනනවා නම් ඒ කඳුළු පිහදාගන්න.හදවත වේදනාවෙන් පිරිලා නම් ඒක ඉක්මනින් සැහැල්ලු කරගෙන අද ඉඳන් දැනගෙන ආදරේ කරන්න.අන්න එතකොට පුළුවන් ඔයාටත් පූජනීය ආදරේ ළඟ වින්දනීය ජීවිතයක් ලබන වාසනාවන්ත කෙනෙක් විදිහට ජීවත් වෙන්න.