බලයේ තටුවලින් ඉගිලෙන ගොංකං

බලයේ තටුවලින් ඉගිලෙන ගොංකං

පුංචි රාහුල හාමුදුරුවො කියන්නේ බුදුන් වහන්සේගේ ගිහි කල පුතා. උන්වහන්සේ බුදුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණත් හැමදාම උදේට මිදුල ඇමදලා ඉවර වෙලා, වැලි අහුරක් අරගෙන උඩදාලා හිතනවලු මේ වැලි කැට ගාණට මට අවවාද ලැබෙන්න කියලා.ඒ තරම් විනීත භාවයක් උන්වහන්සේට තිබුණා. තමන්ගේ පියා තනපු ශාසනයේ මහණවෙලා වැලි කැට ගාණට අවවාද හොයන්න තරම් උන්වහන්සේ නිරහංකාර වුණා.

ඒ වගේ ම ග්‍රීක ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වුණු සොක්‍රටීස් කිව්වේ "මම දන්නා එකම දෙය මම කිසිවක් නොදන්න බව කියලා" ඒකට හේතුව තමයි තමන් යම් කිසිවක් දන්නවා කියන පූර්ණ නිගමනයට පැමිණියහොත් අපිට දෙයක් දැනගැනීමට තිබෙන අවස්ථාව නැති වෙනවා කියන එක.

දන්නවා කියන මිනිසුන්ට කියන්නේ පණ්ඩිතයො කියලා. පණ්ඩිතයන්ට ඒදණ්ඩෙ යන්න බැහැයි කියලා කතාවක් තියෙන්නේ මේ නිසා වෙන්න ඇති. පණ්ඩිතයෙක් වුණු ගමන් අපි කොටු වෙනවා දැනුම කියන සංකල්පය ඇතුළෙ.

එතකොට තමයි පොරවල් බිහි වෙන්නෙ. පොරවල් වෙන්න තමන් කියන දේ අහන, කරන පිරිසක් ඕන වෙනවා. දැනුම ඇති පොරක් වෙන්න ටිකක් අමාරුයි. මොකද ඒකට ගොඩක් හදාරන්න, කියවන්න ඕන වෙනවා හැබැයි දේශපාලනේ හරි වෙනත් තනතුරක හරි පොරක් වෙන එක හරි ලේසියි. බලය ලැබුණු ගමන් මිනිස්සු බලය තිබෙන අය කියන දේ අහන්න ගන්නවා. එතකොට ඒ අය පොරවල් වෙනවා. හැබැයි ගොඩක් ගන්න තීරණ වැරදියි. මේ නිසා තමයි කියන්නේ බලය තියෙනකොට ඔළුව නෑ ඔළුව තියෙනකොට බලය නෑ කියලා. ලංකාවේ මැතිවරණවලින් පස්සේ සිද්ධ වෙන්නේ ගොංකංවලට තටු ලබා දීම. ඒ කියන්නේ නායකයින් සංවාදයෙන්, දැනුමෙන් ඈත්වීම.

ලංකාව වගේ රටක බලය ප්‍රශ්න කරනවට වඩා මිනිස්සු පුරුදුවෙලා තියෙන්නේ බලය තිබෙන අය දේවත්වයෙන් පුදන්න. මේ නිසා ප්‍රාදේශීය සභාවේ ඉඳලා ඉහලට යනකම් ජනතා නියෝජිතයින් වගේ ම රජයේ බොහෝ ආයතනවලත් ඉන්න අය දෙවිවරු වගේ අය වෙනවා.

 දෙවියන් ප්‍රශ්න කළහොත් දේව උදහසට ලක්වෙනවා වගේ මේ අය ප්‍රශ්න කළොත් උදහසට ලක්වෙනවා. මොකද සංවාදය වගේ දෙවල් මේ අය කරන්නේ වේදිකාවල විතරයි. සාමාන්‍ය ජීවිතේ දි මේ අය කරන්නේ සංවාසය විතරයි. සාමාන්‍ය ජීවිතේ දි සංවාද කරන දේශපාලකයො අපිට හමු නොවන්නේ මේ නිසා. සංවාද නැති නිසා නිවැරදි මතවාදයක් වෙනුවට එතැනට එන්නේ අත්තනෝමතිකත්වය. බොහෝ නායකයින් ඉන්නේ පොර මානසිකත්වයක. මේකට ජනතා නියෝජිතයො වගේ ම ජනතාවත් වගකියන්න වෙනවා. දැන් දිනපු අය එක්ක ෆොටෝ ගහන සෙට් එක තමයි මේ නියෝජිතයින් වැඩියෙන්ම අන්දවන්නේ.

නිදහස බලන්න මහනුවර පැත්තෙ මිනිස්සු වගයක් 1948 දි කන්දකට නැග්ගලු, නිදහස පෙනෙයි කියලා හිතාගෙන. එදා ඉඳලා සෑම වසරකම හාර පන්දහසක් මේ කන්ද නගිනවලු. මොකටද කියලා කවුරුවත් දන්නේ නෑ .ඒ වගේ ම ඡන්ද පෙටිට් උස්සනකොට රතිඤ්ඥා පත්තු කරන මිනිස්සුත් තාම ලංකාවේ ඉන්නවා. ඡන්ද පෙට්ටි ගෙනියනවා බලන්න පාරට එන මිනිස්සුත් ඉන්නවා.

 ඉතිං ජනතා නියෝජිතයෙක් කියන්නේ දෙවියෙක් කියන එක, මිනිස්සුවත් නියෝජිතයොවත් අතහරින්නේ නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියලා දෙන්න පුළුවන් විදිහක් ගැන නම් හිතාගන්නවත් බෑ. ගෑනිගේ රත්තරන් බඩු ඡන්දෙට උකස් තියපු ඕනතරම් නියෝජිතයො ඉන්නවා. කන්න තිබුණු සල්ලිවලින් රතිඤ්ඤා පත්තු කරපු ආධාරකරුවො ඉන්නවා. පැරදුණු අයගේ ගෙවල්වල මළගෙදරවල්වල වගේ නිදි වරපු අයත්, දිනපු අයගේ ගෙවල්වල මගුල් ගෙවල්වල වගේ නිදිවරපු අයත් ඉන්න රටක මහජන නියෝජිතයන්ගේ කාර්යය ගැන පංති තියලාවත් උගන්නන්න බැරි හැමෝම රැලේ යන නිසා.

ඒබ්‍රහම් ලින්කන් කියලා තිබුණා මිනිස්සු වහල්බවින් මිදුණත් ඔවුන් වහල් බැමිවලට ආදරය කරන බව.අපිත් ඒ වගේ කියලා අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ. පහුගිය දවස්වල විවිධ මට්ටමේ නායකයින් එනකොට පත්තු කරපු රතිඤ්ඤාවලින් ඒ බව ඔප්පු කරන්න ඇති. කැනඩාව වැනි රටක රතිඤ්ඤා පත්තු කළොත් පොලිසියෙන් අරන් යනවා. ඒ තරම් පරිසරයට හානි කරන අතර මිනිසුන්ටත් හානි කරන නිසා. හැමෝම කැමතියි සාමකාමීව ඉන්න. ඒත් රතිඤ්ඤා නිසා පරිසරයේ මෙන්ම මිනිස් මනසේ සාමකාමී බව කොතරම් අහිමි වෙනවාද කියන එකවත් අපිට තේරෙන්නේ නෑ. පරිසරයේ සිටින ඉතාමත් සංවේදී සතුන් කොපමණ සංඛ්‍යාවක් මේ නිසා මිය යනවද අපහසුතාවට පත් වෙනවද කියලා හිතන්න තරම් අපිට පොරත්වය ඉඩ දෙන්නේ නෑ.

ප්‍රජාතන්ත්‍රවාදි පොරවල් පත් කරගත් අපිට දැන් කරන්න තියෙන්නේ මේ පොරවල් පස්සේ යෑම. රැකියාව, උසස්වීම, මාරුවීම, නිවාස ණය, සමෘද්ධිය, වගා ණය වගේ දේවල්වලටත් ගමේ සමිතියෙන් ලියුම ගේන්න කිව්වම පිහිට වෙන්නේ මේ දෙවියන් නිසා අපිට මේ දෙවියන් කෝප නොවන විදිහට හැසිරෙන්න වෙනවා. මේක තමයි ලංකාවේ යථාර්ථය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සුද්දො අපට හඳුන්වලා දුන්නේ ජනතා නියෝජිතයින් පත් කරන්න මිසක් ජනතා පාලකයින් පත් කරන්න නෙවෙයි. මොකද අපිට එකතු වෙලා තීරණ ගන්න බැරි නිසා අපි වෙනුවෙන් තීරණ ගන්න කෙනෙක් තමයි අපි තෝරලා යවන්නේ. මේ අය නායකයො මිසක් පොරවල් නෙවෙයි කියන එක අමතක කරන්න එපා. පාලකයො ඉන්නේ වහල් සහ වැඩවසම් යුගවල. අපි මේ දෙක පටලවගෙන. ඒ නිසා බ්‍රිතාන්‍යයේ අගමැති බයිසිකලයෙන් පාර්ලිමේන්තු යනවා. ඉතාලියේ ඇමතිවරු සිල්ලර කඩෙත් පෝලිමේ ඉඳලා බඩු ගන්නවා. ඇමෙරිකාවේ ජනාධිපති පල්ලියේ පස්සේ පේලියේ හිටගන්නවා. රුසියාවේ ජනාධිපති ෂෙඩ් එකෙන් තනිවම තෙල් ගහගන්නවා. අපේ රට ගැන කියන්න ඕන නෑ ඔබ දන්නවා.

ප්‍රශ්න කිරීම අපේ රටට වැදගත් වෙන්නේ මේ නිසා. තොරතුරු පනතක් ගෙනාවත් තොරතුරු ගන්න මිනිස්සුන්ට ඕනකමක් නැත්තේ තවමත් අත්හැරගන්න බැරිවුණු මේ වැඩවසම් මානසිකත්වය නිසා. නියෝජිතයො ගැන කතා කරන්න, නියොජිතයො එනකම් ඉන්න තට්ටු මාරුව කියන්නේ මේකට. ලංකාවේ හැමදාම වුණේ තට්ටු මාරුව. කට්ටියකට ඉන්ටවල් ඉවර වෙනකොට කට්ටියකට ඉන්ටවල් ලැබෙනවා. අපිට ඉන්ටවල් එකක් ගන්න, අපි 1815 ඉඳලා බලන් ඉන්නවා.