Turning Point

Turning Point

 

ආදරය කියන්නේ කවර ආකාරයේ හැඟීමක් ද කාටද දෙන්න පුළුවන් හොඳම නිර්වචනයක් ?.මනුෂ්‍යත්වයට පණ පොවන්නේ ආදරය කියල මට මගේ කතාවට සමාරම්භයක් ගන්න පුළුවන්.භෞතිකව පෙනෙන දැනෙන ශරීරයට ප්‍රාණයක් එක් කරන්නේ ආදරයයි .

ජීවිතයේ අපිට හමු වෙන අපේ සිතුවිලි ගැටෙන අපි දකින බොහෝමයක් කරුණු ප්‍රශ්න සංකීර්ණයි .ඒ අතරින් සෙනෙහස නැතිනම් ආදරය කියන මූලික කරුණ ගොඩක් සංකීර්ණයි.ඒක මිනිසකුගේ මූලිකම අවශ්‍යතාවක්.

ආදරයක් නැතී ජීවිතයක බොහෝ සේ අඩු පාඩූ තිබීමේ සම්භාවිතාවන් තිබෙන බව බොහෝ තැන්වල දී හොඳින් ඉස්මතු වෙන කරුණක්.ඒ දුර්වලතා නොයෙකුත් මාදිලියෙන් එක් එක් මනුෂ්‍යයන් තුළ දකින්න හැකියාවක් ලැබෙනවා.සමහර විට පෞරුෂත්වය තුළින් මානසිකත්වයන් තුළින් මේ අඩු පාඩු සමාජය තුළ පිළිබිඹු වෙනවා.

එක එක මිනිස්සු විවිධ ආකාරවලින් ආදරයට අර්ථකථන ලබාදෙනවා.අපි ජීවත් වෙන කාල සීමාව තුළ විවිධ ස්වරූප‍යන් ඔස්සේ ආදරය අපේ හදවත වගේම මනස මුළු ජීවිතයම ස්පර්ශ කරනවා.ඒ ස්පර්ශය සෑම විටම මටසිලුටු ස්පර්ශයක් නම් වෙන්නේ නෑ .

ඇතැම්විට වේදනාකාරී වෙනවා.සමහර වෙලාවට සමහරුන්ගේ ජීවිතවල නොසිතූ විරූ ලෙස හැරවුම් ලක්ෂ්‍යක් ( Turning Point)වෙනවා .වර්තමානය තුළ නම් ආදරයම වෛරයක් බවට පර්වර්තනය වීම් සමාජය තුළ සුලභයි.වර්තමානයේ වාණිජකරණය වූ සමාජයක් තුළ මේ සිද්ධීන් සුලභවම ඇස ගැටෙන තත්ත්වයන්වලට බඳුන් වෙලා තිබෙනවා.

Love at first sight නැත්නම් එකවර දුටු විට ඇති වන ආදරය .චිත්‍රපටි, නවකතා, Tv serieses හෝ සිංදුවල දී හරියට අහන්න දකින්න ලැබෙනවා.ඒකේ තිබෙන පැවැත්ම හෝ ස්ථීර බව හෝ පිවිතුරුභාවය පිළිබඳව විග්‍රහ කිරීම මෙහි අරමුණ නොවේ ..

නමුත් love at first sight කියන දේ ජීවමානයෙන්ම ඔප්පූ කරන්න තරම් සාක්ෂියකුත් තියෙනවා.

මැක්සිම් ගෝර්කි වරක් ප්‍රකාශ කරනවා මේ ලෝකය තුළ ජීවය පවත්වාගෙන යන්නේ හිරු එළියයි අම්මගේ මව්කිරි කියන ආදරණීය සංකලනයෙන් කියලා.

බිළිඳකූ බිහිකරනවා කියන්නේ සංවේදී හා මානූෂීය හැඟුම් සමුදායක සංකලනයක්.ජෛව විද්‍යාව මෙන්ම මානූෂීයත්වය එකිනෙකව මුහු වෙන නිමේෂයක්.අම්මට දැනෙන දැඩි වේදනාව සුවපත් කරවන්නට තරම් ලොකු ආදරයක් අම්මගේ හිත පුරෝනවා.ලොකූ ආත්මීය බැඳීමකට මූලාරම්භය සනිටුහන් වෙන මොහොතක්.ධාරක ස්නේහය අමිලව දෝරේ ගලායනවා. එය බිඳලන්නට නොහැකි තරම් ශක්තීමත්.love at first sight කියන කරුණ ප්‍රත්‍යක්ෂ කරන වෙන නිදසුනක් මේ ලෝකයේ නෑ .

එතැනින් ඔබ්බට ගියාම ජෛවවිද්‍යනුකූලව හෝමෝනමය සමායෝජනයන්හි ක්‍රියාවලීන් ඇසුරින් නව යොවුන් වියේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආදරයක් ඇති වෙනවා.බොහෝ දුරට මේක ආදරයකට හෝ බැඳීමකට වඩා ආකර්ෂණයක් හෝ ආසාවක්.

ඒත් වයසින් මුහුකුරා යනකොට ක්‍රමානුකූලව පරිණතභාවයට පිවිසෙන විට ජීවිතයට නොයෙක් අත්දැකීම් එකතු වෙනකොට සමහරු සැබෑ ආදරය සොයා යනවා.සමහරුන්ට ඒක මුණගැහෙනවා.

ආදරය කියන්නේ ගැළපෙන පරිපූර්ණ දෙදෙනකු මුණගැහීමක් නම් නෙමේ.අසම්පූර්ණ දෙදෙනෙකු ළං වෙලා ආදරය තුළින් සම්පූණත්වය කරා යන ලොකූ ගමනක්.තෘප්තිමත් වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි.

තමන් ලද දෙය තුළින් තෘප්තිමත් වීම ඔස්සේ යහපත් මෙන්ම ශක්තීමත් සම්බන්ධතාවක් ගොඩනගාගත හැකියි .සරල වීම තුළින් බොහෝ දුරට ලස්සන ආදරයක් වගේම සුන්දර බැඳීමක් ගොඩනගාගන්න පුළුවන්. ඒක හිත පිරෙන සොඳුරු පැණි බේරෙන වදන්වලින්ම පිරෙන්න ඕනේ නෑ.sweetheart හරි darling හරි කියලා කතා කරන දෙන්නෙක්ට වඩා සැහැල්ලුවෙන් සහ විහිළුවෙන් බං හෝ මචං වගේ වචන කියලා ආදරේට කතා කරන දෙන්නෙක් අතර ලොකු බැඳීමක් තිබිය හැකියි.මුදල්වලින් පොහොසත්කම නිසා ඇතිවන හැඟීමක් නෙමෙයි මේ ආදරය.එය මූල්‍යමය වත්කම් මත තීරණය කළ නොහැකි දෙයක්.සල්ලි තියෙන තැන ආදරයක්වත් සල්ලි නැති තැන ආදරයක්වත් කියලා ආදරයට ප්‍රාථමික අර්ථකථන එක් කරන්න අපි කාටවත්ම බෑ.

ආදරය කියන්නේම social media networks වල relationship goals තියෙන posts share කිරීමක් හෝ upload කිරීමක් හෝ i love you කියන වචන තුනකට සීමා නොවූ ඊට එහා ගියපු ගැඹුරු තේරුමක් තියෙන හැඟීම් සමුදායක අපූර්ව සංකලනයක් . මහ ඉහළින් මොර දීලා කෑගහලා ලෝකෙටම පෙන්නලා කියන එකම නෙමේ ආදරය කියන්නේ.එය මිනිස්සු දෙන්නෙක් අතර අන්‍යොන්‍ය වශයෙන් ඇති වන තෘප්තිමත් බැඳීමක් .මැරෙනකල්ම මගේ අන්තිම හුස්ම පොද වාතලයට මුහු වෙනකල්ම " උඹ ළඟ මං ඉන්නවා " කියල එකිනෙකා වෙත හදවතින්ම දිවුරලා කියන ලොකු පොරොන්දුවක්.

ආදරය කියන්නෙම ඝට්ටනයන්, විවේචන, නින්දා හෝ නොයෙක් ස්වරූප ඔස්සේ බාධා එනකොට ශක්තිමත්ව ඉන්න හැකියාවක් තියෙන ලොකු පදනමක්.බැඳීමක ලොකුම පදනම ආදරයයි.

සැබෑ ලෙසින්ම ආදරය කියන්නේම නොනවත්වාලිය හැකි විග්‍රහයකට සුදුසු වෙන විදිහක කදිම වස්තු බීජයක්.නිශ්චිත පෙරවදනක් නැති දිග කතාවක්.

ඔබේ ආදරය , කරුණාව නිසාම එක මනුස්සයෙක් හෝ දවසකට හරි හදවතින්ම හිනා වුණෝතින් අන්න එදාට ඔබට ඔබේ ජීවිතය තුළ ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනේවි.

හොඳ ආදරයක් හොයන් යන්නෙපා.හොඳ ආදරයක් දෙන්න පුළුවන් හොඳ හිතක් තියෙන සංවේදී මනුස්සයෙක් වෙන්න පොඩි කැපකිරීමක් කරන්න.

දුම් දාලා ගිනියම් වෙන ගොරහැඬි කර්කශ පපුවකට වඩා මනුස්සයකුගේ දුකකදී පපුව මැද්දෙන්ම වේදනාවක් එන විදිහේ සංවේදීකමක් තමා තුළම ගොඩනඟාගන්න උත්සාහ කරන්න. ලස්සන ආදරයක් දැක්කෝතින් අවංකවම ඒ දිහා බලලා හදවතින්ම හිනා වෙන්න හැකි මනුස්සයෙක් වෙන්න බලන්න.එතකොට මේ ලෝකේ මීට වඩා ලස්සන තැනක් වෙයි.හොඳ ආදරයකුත් ලැබෙයි.

අන්තිම හුස්ම පොද වැටෙනකොට නිවිහැනහිල්ලේ ඇස් පියාගන්න පුළුවන් වෙයි.ඒ වගේම අවිනිශ්චිත ජීවිතයට ලොකූ වටිනාකමක් දෙන්නත් පුළුවන් වෙයි.