වැලන්ටයින් ඉවරද ?

වැලන්ටයින් ඉවරද ?

ආදරය කියන්නේ නම් මේ ලෝකේ පවතින්න උදව් කරන මහා බලවේගයක්. ආදරය කියන වචනෙ දකිද්දි නැතිනම් ඇහෙද්දි ඔයාට සතුටක් හිතෙන්නත් පුළුවන්. නැත්නම් ගොඩාක් දුක හිතෙන්නත් පුළුවන්. කොහොම වුණත් කමක් නැහැ. ආදරය දකින්න ආදරේ කරන්නම ඕනෙද ? ආදරේ නොකර ආදරේ දකින්න බැරිද? ඊයේ ඔයාගේ ජීවිතේට ආදරේ ගෙනාපු දවසක් වෙන්නත් පුළුවන් එහෙම නැතිනම් ආදරේ ඔයාගෙන් ගොඩාක් ඈතට ගිය දවසක් වෙන්නත් පුළුවන්. පෙම්වතුන්ගේ දිනය විදිහට ලේබල් ගහපු ඊයේ වගේ දවසක ඇත්තටම අපි ආදරේ සැමරුවාද කියලා හොයලා බලන්න ඔයාට හිතෙන්නේ නැද්ද ?

වැලන්ටයින් පියතුමා ආදරණීය හදවත් එක් කරපු නිසා ඔහුට ගෞරවයක් වශයෙන් පෙබරවාරි 14 නම් කරලා තියෙන එක වරදක් කියලා මම කියන්නේ නැහැ. පෙම්වතෙක්, පෙම්වතියක් වෙන්න ඕනෙම කෙනෙකුට පුළුවන්. ඒත් අධ්‍යාත්මික පෙම්වතෙක්, පෙම්වතියක් වෙන්න හැමෝටම බැහැ. ඒකට ආදරේ හරියට තේරුම් ගන්න ඕනේ.

ආදරේ කියන දේ හරියට තේරුම් ගන්න ඔයාට වගේ මටත් තවම හරියට බැහැ. ඒත් එහෙමයි කියලා අපි ආදරේ නොකර ඉන්නෙත් නැහැ. මෙහෙම හිතන්නකෝ වැලන්ටයින් දවසේ ඔයා ඔයාගේ පෙම්වතා නැතිනම් පෙම්වතිය එක්ක මුළු දවසම ගත කළා වෙන්න පුළුවන්. ඔයා එයත් එක්ක ගොඩාක් සතුටින් ඉන්න ඇති.

ඒත් ඔයා දන්නවද ආදරේ හරියට තේරුම් නොගෙන නමට පෙම්වතෙක්, පෙම්වතියක් වෙන අයත් අපි අතරම ඉන්නවා. ඔයා ආදරේ හොයාගෙන, අඳුරගෙන යන කෙනෙක් නම් ඒ අයගෙන් ඔයා පරිස්සම් වෙන්න. වැලන්ටයින් දවසේ ඔයාට ආදරේ පෙන්වන ඒ වගේ අය ඔයාගේ ජීවිතේ තියෙන සුන්දරත්වය ඔයාගෙන් උඳුරාගන්න පුළුවන්. ඒ නිසා ආදරේ කරද්දි එක පාරක් නෙවේ දහපාරක් ඒ ගැන හිතලා බලන්න.

ඊයේ දවස මාර්කටින්වලට කියාපු දවස කියලයි මම නම් හිතන්නේ. රෝස මල් විකුණන මුදලාලිලාගේ ඉඳන් ජුවලරි ෂොප් එකේ මුදලාලි දක්වා සියලුම මුදලාලිලාගේ මනදොල සල්ලිවලින් පිනවන්න ආදරේ මාර්කට් කරන්න, ඊයේ දවස හොඳම දවස. සමහර විට ඔයා ඊයේ දවසේ ඔයාගේ ආදරේ එයාට පෙන්වන්න ඔය කියන ජාතියේ ගොඩාක් මුදලාලිලා පෝසත් කරන්න ඇති. ඒත් ඔයා දන්නවද ආදරේට දෙන තෑගි මුදලට හිලව් කරන්න කවදාවත් බැහැ. ඔයා එයාට දෙන පුංචි දෙයක් වුණත් ආදරේදි ගොඩාක් වටිනවා. සමහර විට ඒක වචනයක් වෙන්න පුළුවන්. වැලන්ටයින් දවසේ එයාට ලොකු තෑගි දෙන්න බැරිවුණා කියලා ඔයා දුකින් ඉන්නවනම් හිතන්න එයාට ඔයා දෙන ලොකුම තෑග්ග අවංක ආදරය විතරයි කියලා. ඒ නිසා ඒ අවංක ආදරය පෙන්වන්න, එයාව සතුටු කරන්න වැලන්ටයින් දවසම එනකම් බලන් ඉන්න එපා.

ඔයා හිතනවනම් ඔයාට වැලන්ටයින් සමරන්න කවුරුත් නැහැ කියලා එහෙම හිතන්න එපා. ආදරේට දවසක් වෙන් කරලා තිබුණට ඔයාගේ ජීවිතේ ආදරේ ලියවෙන දවස ඔයාට නිගමනය කරන්න බැහැ. ඒ වගේ ම ඔයා වැලන්ටයින් සමරපු මතකයන් අස්සේ හිරවෙලා දුකින් ඉන්නවනම් වැලන්ටයින් මතකයේ තියෙන අඳුරු පාට, සොඳුරු වෙන දවසක් ඔයාගේ ජීවිතේට එන්නේ නැහැයි කියලා ඔයාට කියන්න බැහැනේ. ඒ නිසා ඉවසීමෙන් ඉන්න. ඔයා අවංකව ආදරේ කරන්න දන්නවනම් ඔයාට වරදින්න විදිහක් නැහැ.

වැලන්ටයින් දවසේ ඔයා මොනවා කළත් ඒක දැන් අතීතයට අයිති දෙයක්. අපි ඇත්තටම ආදරේ ගැන දන්නවනම් ආදරේ විශේෂයෙන් සමරන්න අපිට ඕනේ නැහැ. ඒත් අපි ආදරේ සමරලා සතුටක් ලබනවනම් සරලව හා හොඳ විදිහට ඒ සතුට ලබන්න ඕනේ. කාගෙවත් ජීවිතයකට බලපෑමක් නැති විදිහට ආදරේ සතුට වින්දොත් අපි ඇත්තටම ආදරේ කරන අය වෙන්නේ ඉබේටමයි.

වැලන්ටයින් දවස ගත වුණත් ආදරේ ගැන මං මේ කියපු දේවල් මේ වැලන්ටයින් දවසට විතරක් අදාළ දේවල් නෙවෙයි. ඉතිං මේ හැමදේමත් එක්ක මං ඔයාට ආදරෙන් කියන්නේ වැලන්ටයින් තව ඉවර නැහැ කියලා. හිතලා බලන්න ඔයත්... වැලන්ටයින් කියන්නේ ආදරේමද ? ආදරේ කියන්නේ වැලන්ටයින්මද කියලා.

 

ටිෂානි ශෂී කුමාරි