මුද්‍රණය සඳහා

 
නළුවෙක් නොවුණා නම් මං අද නීතිඥවරයෙක්

නළුවෙක් නොවුණා නම් මං අද නීතිඥවරයෙක්

ජ්‍යෙෂ්ඨ නළු ඩග්ලස් රණසිංහ

යුද්දෙට මං ගියා
ගෑනි ගෙදර තියා
මගෙ යාළුවෝ මං එනතුරු
උන්දෑ බලා ගයි නිරතුරු

ලාවේදී හෙන්රි ජයසේනයන්ගේ අද්විතියීය වේදිකා නිර්මාණයක් වූ ‘හුණුවටයේ කතාව‘ හි මේ ගීතය ගයමින් රඟ දැක් වූ යුද හේවායා මතකද? එදා නවකයකු ලෙස වේදිකාවෙන් රංගනයට පිවිසි මේ කඩවසම් තරුණයා සිනමාවේ පමණක් නොව පුංචි තිරය ද දිග් විජය කළ ප්‍රතිභාසම්පන්න රංගන ශිල්පියෙකි. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. ඩග්ලස් රණසිංහ නම් වූ මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවා ගැන කීමට අටුවා ටීකා කුමට ද?

* ඔබ නළුවෙක් වෙන්නේ වේදිකාවෙන්. රංගනයේ ප්‍රබල අවස්ථා උදා කළේ වේදිකාවෙන්. නමුත් දැන් ඔබ වේදිකාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා. මේ සමුදීම ඔබ හිතාමතා ගත් තීරණයක් ද?

ගමේ ඉඳලා මම කොළඹට ආවේ Law collage යන්නයි. නීතිය හදාරමින් ඉන්න අතරේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉන් පස්සේ මම නීතිය හැදෑරීම පැත්තකට දමලා රඟපාන්න පටන් ගත්තා. ඒත් අප්පච්චිගේ ලොකු ආසාවක් තිබුණා මාව නීතීඥවරයෙක් කරන්න. එනිසා අප්පච්චි මාව එංගලන්තෙට යැව්වා.

නීතිය හදාරන්න එංගලන්තයට ගිය මම වැඩි කාලයක් යන්න නොදී නීතිය ඉගෙන ගන්නවා වෙනුවට කළේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තු එකයි. පස්සේ ඉතිං මගේ ජීවිතේම කලාව බවට පත් වුණා. මේ ගමනේදී මම විශේෂයෙන් සිහිපත් කළ යුතු දෙන්නෙක් ඉන්නවා. ඒ හෙන්රි ජයසේන මහත්මයා සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයයි.

මුලින්ම මම රඟපෑවේ ‘හුණුවටයේ කතාව‘ නාට්‍යයේ. ඒ නාට්‍යයේ රඟපෑමත් එක්ක එක් රැයකින් මාව ජනපි‍්‍රය වුණා. ඊට පස්සෙත් හෙන්රි අයියගෙම නිර්මාණයක් වූ ‘අපට පුතේ මගක් නැතේ’ රඟපෑමත් එක්ක නවකයෙක් වූ මගේ කලා ජීවිතේ ඉදිරිය හුඟක් ලස්සන වුණා. අන්තිමට මම රඟපෑවේ ‘කුස පබාවතී’ වේදිකා නාට්‍යයේ. අවුරුදු පහළොවකට විතර පස්සේ මේ මෑතකදී පසන් කොඩිකාර ‘කිඳුරු’ නමින් නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් වුණා. එය ඉතාම ලස්සන නිර්මාණයක්. ඒත් ඒ නාට්‍යය අතරමග නැවැතුණා.

* ඔබ සිනමාවට පිවිසෙන්නේ ‘රෝමියෝ ජුලියට්’ ප්‍රේමණීය කතාවේ පෙම්වතා ලෙස රඟපාමින්. නමුත් ඔබ ඉතාම ඉක්මනින් පෙම්වතා ගේ භූමිකාවෙන් ප්‍රතික්ෂේප වෙන බව අපි දකිනවා. ඇයි එහෙම වුණේ?

නළුවෙක් හැටියට මාව මේ සමාජයේ ඉස්මතු වෙනකොටම වගේ මම රට අතහැර යෑමත් මගේ මේ ඛේදවාචකයට බලපෑවා. මගේ යෞවන වියේ හොඳම සමය ගෙවුණේ එංගලන්තයේ යි. අවුරුදු ගණනාවකට පස්සේ නැවැතත් ලංකාවට ඇවිත් රංගනයට එකතු වෙනකොට මගේ පෙම්වතිය වුණේ ශිරානි නුගේරා. ශි‍්‍රයානි අමරසේන, අනෝජා වීරසිංහ වගේ ඊළඟ පරම්පරාවේ නිළියන් සමඟයි. පසු කාලයේ පුංචි තිරයට එකතු වුණාට පස්සේ කාංචනා මෙන්ඩිස්, සේමිණි ඉද්දමල්ගොඩ, දුලිකා මාරපන වගේ නිළියන් මගේ පෙම්වතිය බිරිඳ වෙලා තියෙනවා. ඒක තවත් පරම්පරාවක්.

* ඔබ රංගනය ගැන එංගලන්තයට ගොස් දීර්ඝ කාලයක් රැඳී ඉගෙන ගත් ශිල්පියෙක්. ඔබ උගත් ශිල්පයෙන් මෙරට නිර්මාණකරුවන් නිසි ප්‍රයෝජන ගත්තා යැයි ඔබට සෑහීමකට පත් විය හැකි ද?

ජීවිතේ කවදාවත් ඉගෙන ගත්තු දෙයක් අහක යන්නේ නැහැ. විශේෂයෙන් රඟපෑම වගේ වෘත්තියකදී අපට කිසි දෙයක් අහක දාන්න බැහැ. එක්තරා අවස්ථාවකදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මා ගැන ලස්සන කියමනක් කියා තිබුණා. ඩග්ලස්ට ස්ක්‍රිප්ට් එකකින් තව ස්ක්‍රිප්ට් එකකට මාරු වෙන එක හරියට ‘ස්විච්’ එකක් තද කරනවා වගේ කියලා. එයින් එතුමා අදහස් කර තිබුණේ එකවර නිර්මාණ කිහිපයකට නියැලී හිටියත් එක් සැනින් චරිතයන්ට මාරු වීමේ හැකියාව මා තුළ මනාව පිහිටා තිබෙන බවයි. ඇත්තටම ඒ හැකියාව මා ලැබුවේ මා උගත් නාට්‍ය හා කලාව අධ්‍යාපනය නිසයි.

* ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක් වුණත් රංගනය තුළ නියැලීම අපි දකින්නේ ඉතාම මන්දගාමි විදියටයි. දශක පහකට ආසන්න කාලයක් සිනමා කලා ක්‍ෂෙත්‍රයේ රැඳී සිටියත් ගණනින් බැලුවොත් චිත්‍රපට 30කට වඩා නැහැ. නමුත් ඔබ මෙරට කලා ලොවේ සිටින ප්‍රතිභාපූර්ණ කලාශිල්පියෙක්.

රංගනයට පිවිසි මුල් කාලේම මම එක්තරා තීරණයකට ආවා. ඒ තමයි මම රඟපාන්නේ යම් රංගන ප්‍රමිතියක් තිබෙන නිර්මාණවල පමණක් බවට. මේ තීරණය මම දරුණු විදියට පාවිච්චි කළා. ඒවගේම මම ගත් ඒ තීරණය ගැන ක්‍ෂේත්‍රය පුරා වැරැදි වැටහීමක් ප්‍රචාරණය වුණා. ඒ නිසා මට ඉතාම හොඳ නිර්මාණ රැසක් අහිමි වුණා. මට ආර්ථික පාඩු සිද්ධ වුණා. මගේ ඒ තීරණය නිසා මම රඟපා තිබෙන්නේ අල්ප වශයෙන්. ‘සිව් රඟසේනා’ ‘යුවතිපති’ ‘අක්කර පහ’ ‘භාවනා’ ‘යුගාන්තය’ ‘කුලගෙය’ ‘විරාගය’ වගේ චිත්‍රපට ඒ අතරින් මට මතක් වෙනවා.

පස්සේ කාලෙකදී ම’විසින් කරන ලද ස්වයං විවේචනයකදී මම මගෙන්ම ප්‍රශ්න කළා. මම මේ කරන්නේ මෝඩ වැඩක් කියලා. එක්තරා අවස්ථාවකදී මම මේ ගැන මා මිත්‍ර දයානන්ද ගුණවර්ධන නාට්‍යවේදියාගෙන් විමසීමක් කළා.ඔහු කිව්වේ, ඩගී ඔයා කරන්නේ මෝඩ වැඩක්. අපේ වගේ රටක තෝරා බේරාගෙන රඟපාන එක කරන්න අමාරුයි. ඒ නිසා ලැබෙන නිර්මාණවලට දායක වෙන්න කියලා. විශේෂයෙන් ඔහු ඒ කතාව කිව්වේ චිත්‍රපට ලොකේ ගැන හිතලායි.

* එදා ඔබ ගත්තු ඒ තීරණය ගැන අද ඔබ පසුතැවිලි වෙනවාද ?

මම එදා ගත්තු ඒ තීරණය හරිද වැරදිද කියලා මටත් පොඩි සැකයක් තියෙනවා. නමුත් නැවත නැවැතත් ඒ ගැන හිතන විට මම හරි කියලත් හිතනවා. කොහොම වුණත් ඒක හොඳක් සිද්ධ වුණා. මගේ ඒ තේරීම නිසා අදටත් මට ලැබෙන්නේ මම කැමැතිම චරිත. ඒ නිසා රංගනයෙන් මා විශාල තෘප්තියක් ලබනවා.

* මේ දිනවල ‘රිදී තාරකා’ ටෙලි නාට්‍යයෙන් ඔබ අප හමුවට එනවා. මෙගා නාට්‍යයකට ඔබ සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව නේද ?

ටෙලි නාට්‍යයක් යම් ප්‍රමාණයකට දීර්ඝ වුණාට කමක් නැහැ. මගේ තර්කය ඕනෑම නිර්මාණයක් හරවත් කලාත්මක විය යුතු බවයි. නමුත් ‘රිදී තාරකා’ අපි කාලයක් තිස්සේ දැකලා තිබුණු ‘මෙගා’ රැල්ලේ නාට්‍යවලට වඩා වෙනස්. මෙහි කතාවක් තියෙනවා. නිර්මාණාත්මක බවක් තිබෙනවා. පවන් ගේ පියා හැටියට මම නිරූපනය කරන ඒ චරිතයට අවංකවම මම කැමැතියි.

* මා දන්නා තරමින් ඔබ රඟපෑම හැරුණු විට වෙනත් වෘත්තීයක නියැළෙන්නේ නැහැ. කලාවෙහි නිරත වීමෙන් පමණක් ජීවත් වීම අසීරු නැද්ද ?

රංගනයෙන් යැපෙන්න හිතුවා නම් කවදාවත් මට කලින් සඳහන් කළ තීරණය ගන්න බැහැ. එහෙම නම් මට ආරාධනා ලැබෙන හැම ටෙලි නාට්‍යයකට චිත්‍රපටයක රඟපාන්න වෙනවා. නමුත් මගේ වාසනාවකට මට විශාල ගෞරවයෙන් මතක් කළ හැක් මාපිය යුවළක් හිටියා.මට ආර්ථික වශයෙන් ගැලවිල්ලක් තිබුණේ ඒ අය නිසයි. ඇත්තටම මම කලාවෙන් හම්බ කළ දෙයක් නැහැ.

* ඔබ සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපට අධ්‍යක්ෂණයට පෙරුම් පුරනවා. තවමත් එය ඉටු නොවුණු සිහිනයක් නේද ?

එය නම් පුදුම නොලැබීමක්. කාලයක් තිස්සේ මේ කර්තව්‍යයට මම පෙරුම් පුරනවා. පිටපත් කීපයක්ම ලියා තිබෙනවා. ඒත් තවම ඒ සිහිනය සැබෑ කර ගන්න බැරි වුණා. ඒක සිහිනයක් විතරක්ම වේවිදෝ කියලා වෙලාවකට මට හිතෙනවා. මෑතකදී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘සසර චක්‍ර’ ටෙලි නාට්‍යය මම චිත්‍රපටයක් කරන්න හිතාගෙන ලියූ පිටපතක්. නමුත් අවසානයේ හැඳුණේ ටෙලි නාට්‍යයක්.

* ගෙදර දොර ජීවිතේ කොහොමද ?

ඉතාම මිහිරියි. මට පුතෙක් ඉන්නවා. ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ තුන වසරේ ඉගෙන ගන්නේ. මම අධ්‍යක්ෂණය කළ ‘සසර චක්‍ර’ ටෙලි නාට්‍යයේ ‘මගේ පුතා’ හැටියට රඟපෑවා. මගේ බිරිය කුමාරි. නොම්බර එකේ විවේචකයා ඇයයි. අහවල් නිළිය සමඟ අසවල් නිර්මාණයේ රඟපෑවේ ඇයි කියලා ඇය මට දොස් කියන්නේ නැහැ. ඒ නිසා මගේ රංගන ජීවිතයට කුමාරිගෙන් කිසිම බාධාවක් නැහැ. එවැනි ගැහැනියක් නළුවෙකුට බිරිය කර ගත හැකි වීම ලොකු වාසනාවක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]