එජාපය කිසිදාක ගොවියාට සැලකුවේ නැහැ

එජාපය කිසිදාක ගොවියාට සැලකුවේ නැහැ

අතාවුද සෙනෙවිරත්න

ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති

වර්තමාන දේශපාලන තත්ත්වය, රටේ සංවර්ධනය සඳහා ආණ්ඩුව ගෙන ඇති සැලැසුම් මොනවාද සහ තවත් සාමාජීය කරුණු පිළිබඳව, ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

l මැතිවරණ කාලයේදී ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල වුණා. එහෙත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ඒ චෝදනා බොරු කරමින් ආණ්ඩුවට පැහැදිලි බහුතර ජයග්‍රහණයක් ලබා ගැනීමට පුළුවන් වුණා. මේ ජයග්‍රහණයට මූලික වුණේ මොන විදිහේ කරුණුද?

මේ ජයග්‍රහණයට ප්‍රධාන කරුණු කීපයක් බලපෑවා. එයින් ප්‍රමුඛම කරුණ බවට පත්වෙලා තිබෙන්නේ යුද බිමක් වෙලා තිබූ මෙරටට යළිත් සාමය උදාකිරීමයි. මෙය ඉතාමත් විශාල ලෙස බලපානවා ආණ්ඩුවේ ජයග්‍රහණවලට. රටක සාමය උදාකිරීම කියන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි. මේ දේ මීට පෙර සිටි කිසිදු පාලකයකුට ඉටුකර ගැනීමට බැරිවූ දෙයක්. එදා බොහෝ අය කල්පනා කළා ත්‍රස්තවාදය පරාජය කිරීමට කිසිවෙකුට කිසිදාක බැරිවෙයි කියලා. ඒත් ඒ තර්කය බිඳ දැමීමට මේ ආණ්ඩුවට පුළුවන් වුණා. ඒ නිසා තමයි සුළු ප්‍රශ්න ඇති වුණත් ජනතාව ආණ්ඩුව අතනොහැර සිටින්නේ.

l ආණ්ඩුව සමඟ බැදුණු ජනමතය දිගුකාලීනව ආරක්ෂා වීමට බලපෑ වෙනත් කරුණු සඳහන් කළොත්?

රජය කිසිදු විදිහකට ඒ කාර්යයට පමණක් මේ සීමා වුණේ නැහැ. පශ්චාත් යුද සමයේදී යුද්ධය තිබූ ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට විශාල කාර්ය ප්‍රමාණයක් ඉටුකළා. නැවත පදිංචි කිරීම් දැනටමත් සියයට අනුනවයක් පමණ අවසන් වෙලා තිබෙනවා. මේවා නිකම්ම ගම්බිම්වලට ගිහින් දැමීම නොවෙයි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ඇතිව යළිත් පදිංචි කළා. ඒ වගේම එම ප්‍රදේශවල ගම්බිම් යටිතල පහසුකම් ඉහළ නැංවූවා.

යුද්ධය තිබූ ප්‍රදේශවල පමණක් නොවෙයි රටේ අනෙකුත් ප්‍රදේශවලත් විශාල සංවර්ධන කාර්ය ප්‍රමාණයක් ඉටුකළා. මාර්ග සංවර්ධනය, ඇතුළු කාර්ය ප්‍රමාණයක් ඉටුකළා. ඒ සියලු දේට කළගුණ දැක්වීමක් විදිහට තමයි මෙවර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට හොඳ ජනවරමක් ලැබුණේ.

l සංවර්ධන ව්‍යාපෘති සිදුකළත් ඒ සංවර්ධන ව්‍යාපෘතිවලින් පොදු ජනතාවට යහපතක් සිදුවී නැතැයි විපක්ෂය මතයක් ගොඩනඟනවා. මේ මතය කෙතෙක් දුරට සාධාරණ මතයක්ද?

කොහොමද එහෙම මතයක් සමාජගත කරන්නේ. ඒ මතය කවුරු ඉදිරිපත් කළත් වැරැදියි. රටේ තොටේ ඇවිදින මාධ්‍ය ඇසුරු කරන ඕනෑම කෙනෙකුට තේරෙනවා රටේ විශාල සංවර්ධනයක් සිදුවෙනවා කියලා. අධිවේගී මාර්ග ඇතුළු සෙසු මාර්ග සංවර්ධනය වීම මෙරට ඉදිරි ගමනට විශාල ශක්තියක්. හයක් හතරක් නොතේරෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා මහ මුදල් නාස්ති කියලා. ඒත් මේ දේවල් රටක සිදුවිය යුතු අත්‍යවශ්‍ය දේවල්.

හම්බන්තොට වරාය කියන්නේ් දිගුකාලයක සිට සැබෑකර ගැනීමට නොහැකිව තිබූ සිහිනයක් ඉටුකර ගැනීමක්. මේ වරාය නිසා කොළඹ වරායේ තිබූ තදබදය අවම කර ගැනීමට පුළුවන් වෙනවා. රටක් දියුණු වෙනවානම් මේ විදිහේ සංවර්ධන වැඩ කටයුතු අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම රටකට විකල්ප ගුවන්තොටුපළක් අත්‍යවශ්‍යයි. එහෙම නොවෙනවා නම් ඒක මහ අඩුවක්. ඒ වගේම ප්‍රාදේශීය ගුවන්තොටුපොළ සංවර්ධනය හා ඉදිකිරීම්ද සිදුකෙරෙනවා. මෙය රටක සංචාරක කර්මාන්තයේ දියුණුවටත් සංවර්ධනයටත් බලවත් පිටිවහලක් සපයනවා.

බලශක්තිය තර කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා. මේ වගේම සංචාරක කර්මාන්තය ශක්තිමත් වීමටත් සංචාරකයන් මෙරටට පැමිණීම වැඩිකර ගැනීමටත් ආණ්ඩුව සැලැසුම් සකස් කර තිබෙනවා. ඒ සඳහා මෙරට හෝටල් කාමර ප්‍රමාණය ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. අද තිබෙන්නේ හෝටල් කාමර පහළොස් දහසක් පමණයි. ඒ ප්‍රමාණය ඉදිරියේදී හතළිස් දහස දක්වා ඉහළ දැමීම තමයි සැලැසුම වෙලා තිබෙන්නේ.

l ගොවිකම මුල්කරගෙන ආණ්ඩුව බලයට පැමිණියත් අද වනවිට ගොවියා අමතක කර අැති බවටන බවට විපක්ෂය චෝදනා කරනවා. මේ චෝදනා කෙතරම් දුරකට සාධාරණද?

අපට හොඳට අතීතය මතකයි. එදා එජාප ආණ්ඩුව තමයි ගොවියාට ලබා දුන් පොහොර සහනාධාරය කපා දැමුවේ. එදා ඔවුන් ගොවියා පිළිබඳ අවධානය යොමු කරමින් වැඩ කළේ නැහැ. ඒත් ජනාධිපතිතුමා බලයට පැමිණි විගස වී ගොවියාට අවශ්‍ය පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කළා. මෙය ගොවියාට විශාල සහනයක් හා ශක්තියක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

ඒ සහනය වී ගොවියාට පමණක් නොවෙයි සෙසු ක්ෂේත්‍රවලටත් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ගොවියාට සලකන්නේ නැහැ. ගොවියා නොතකා හරිනවා යැයි කියනවා නම් ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. වැව් පද්ධතිය දියුණු කිරීම අලුතින් වැව් ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීම්ද සිදුකරනවා. මෙය ගොවියා පිළිබඳ කල්පනා කර ගත් තීන්දුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.

l මෙරටට සර්වජන ඡන්දය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තිබෙන්නේ. එහෙත් මෙවර ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රතිශතය සියයට පනහ තරම් පහළ මට්ටමට පැමිණ තිබෙනවා. මේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

මහ මැතිවරණයක ජනාධිපතිවරණයක තරම් උණුසුම් තත්ත්වයක් හෝ උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. එය තමයි ස්වභාවික තත්ත්වය විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒත් පරාජිත විපක්ෂය මෙය අමුතු දෙයක් අලුත් දෙයක් විදිහට උලුප්පා දැක්වීමට විශාල උත්සාහයක නියැ­ෙළනවා. ඒත් මේ කරුණ මඟින් එජාපයට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. අද මොන තර්කයක් ගොඩනැඟුවත් වැඩක් නැහැ. එජාපය ඇතුළු විපක්ෂය අන්ත පරාජයක් ලබා අවසන්.

අපට සතුටුවෙන්න පුළුවන් මේ මැතිවරණය ඉතාමත් සාමකාමී හා නිදහස් වාතාවරණයක් සමඟ පවත්වාගෙන යාමට හැකිවීම ගැන, ආණ්ඩුව මේ ජයග්‍රහණය ලබාගත්තේ හොරකම්, මැරකම් කර නොවෙයි සාධාරණ මැතිවරණයක් මඟින්.

ඒ වගේම මෙරට යළිත් සාමකාමී හා නිදහස් වාතාවරණයක් ඇතිව ඇතැයි ජාත්‍යන්තර නායකයන්, නිලධාරින් වගේම සංවිධානත් පිළිඅරගෙන තිබෙනවා.

l ජනතා විමුක්ති පෙරමුණ දශක දෙකක් තුළ තෙවන බලය හිමි දේශපාලන බලවේගය විදිහට නමක් දිනාගෙනයි සිටියේ. ඒත් පසුගිය මැතිවරණය වෙද්දි ජවිපෙ සුළු දේශපාලන පක්ෂයක් බවට හැකිළී ගොස් තිබෙනවා. මේ තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

එදා ආයුධ සන්නද්ධ දේශපාලනය තමයි විශ්වාස කළේ. එදා ඔවුන් මේ රටට විශාල විනාශයක් කළා. කොටි සංවිධානයත් මේ පීල්ලේම තමයි ගමන් කළේ. ඔවුනුත් මෙරටට අතිමහත් විනාශයක් සිදුකළා. එදා ඔවුන්ට විශාල පිරිසක් මුලාවී සිටියා ඒ අය තමයි එදා ජවිපෙටත් එල්.ටී.ටී.ඊ.යටත් රැවටී සිටියේ ඒත් අද ජනතාවට ඇත්ත යුත්ත මොකක්ද කියලා තේරුම් ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා.

මේ වෙද්දි එදා තිබු ජවිපෙ බලය පැහැදිලි ලෙසම තුනට කැඩිලා ඉවරයි. ජාතික නිදහස් පෙරමුණ විදිහට ආණ්ඩුවට සහය පළ කරනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ජවිපෙ තරුණ පිරිස අලුත් දේශපාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මේ හැම දෙයක්ම ජනතා විමුක්ති පෙරමුණ බිඳ වැටීමට මුලික වුණා.

අද ජනතාව අන්තවාදී මත සමඟ එකඟ වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ පුළුල් දැක්මක්. පුළුල් හැඟීමක් සහිත දේශපාලන ව්‍යාපාරයක්. ඒ සඳහා සුදුසුම දේශපාලන ව්‍යාපාරය විදිහට ජනතාව ෙතා්රාගෙන තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

l ඔබේ අමාත්‍යාංශය විෂය බවට පත්වෙලා තිබෙන්නේ ග්‍රාමීය කටයුතු විෂයයි. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

මේ ආණ්ඩුව නිතරම ග්‍රාමීය සංවර්ධනය ගැන ගමේ ජනතාව පිළිබඳ විශාල අවධානයකින් යුතුවයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් ඇතිකර තිබෙන්නේ. අප මේ අමාත්‍යාංශය හරහා ග්‍රාමීය සංවර්ධනය සඳහා අවශ්‍ය වැඩ කොටසක් ඉටුකරමින් තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා