සෑම අතින්ම සුරක්ෂිත ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ජීවත්විය හැකියි

සෑම අතින්ම සුරක්ෂිත ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ජීවත්විය හැකියි

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

සෑම අතින්ම සුරක්ෂිත ශ්‍රී ලංකාව ඕනෑම පුරවැසියෙකුට ජීවත්වීමට සුදුසු පරිදි නිර්මාණය වී තිබෙන බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා අවධාරණය කරයි.

දශක තුනක කාලයක් පැවැති අඳුරු යුඟය අවසන් කළ ශ්‍රී ලංකාව අදවන විට සාර්ථක ගමනක් යමින් සෑම අංශයකින්ම සංවර්ධනයක් ලබා තිබෙන බවද ඒ වෙනුවෙන් වත්මන් රජය විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට එරෙහි අසත්‍ය ප්‍රචාරයන් ගෙනයන ඕස්ට්‍රේලියාවේ ඇතැම් මාධ්‍ය වෙත පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් එරට මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අද්මිරාල් තිසර සමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ලොවටම ප්‍රකාශකර ඇත. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ඉතා හොඳ තත්ත්වයත් දක්නට ලැබෙන බව පෙන්වාදී තිබෙන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත්වූ උතුරු හා ‍නැඟෙනහිර ප්‍රදේශයන්හි වර්ධනය සියයට 27 ක් තරම් ඉහළ අඟයක් ගන්නා බවද අවධාරණය කර තිබේ.

මාර්ග, ජලය, විදුලිය වැනි යටිතල පහසුකම් මෙන්ම ආයෝජන, සෞඛ්‍ය, අධ්‍යාපන, ධීවර, කෘෂිකර්ම ආදී සෑම අංශයකම විශාල වර්ධනයක් ඇති වී තිබෙන බවද සඳහන් කර ඇති ඒ මහතා රජයේ අනුග්‍රහය යටතේ ඉදිරියටත් මෙවැනි සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවන බවට සහතික වියහැකි බවද සඳහන්කර ඇත. ඒ අනුව ඇඳහිය නොහැකි සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බව පෙන්වාදී තිබෙන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෝකයේ ඕනෑම අයෙකුට මේ සංවර්ධන කටයුතු දැකගත හැකි බවද කියාසිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා