හිරියාල-කිඹුල්වානා වැව ගොඩවෙලා: පිටියේ අනවසර බෝග වගාව ජයටම

හිරියාල-කිඹුල්වානා වැව ගොඩවෙලා: පිටියේ අනවසර බෝග වගාව ජයටම

හිරියාල මැතිවරණ කොට්ඨාසයේ කිඹුල්වානා ඔය ගොවි ජනපදයේ හදවත බඳු වූ කිඹුල්වානා වැවේ අනවසරයෙන් වට්ටක්කා ඇතුළු ගොඩ භෝග වගාකිරීම නිසා පාංශු ඛාදනයට ලක්ව මේ වන විට වැව මුළුමනින්ම විනාශයට පත්ව තිබේ.

වැවට යටවන මුළු බිම් ප්‍රමාණය අක්කර 590 කි. මේ වන විට ඉන් අක්කර 400 ක පමණ දැවැන්ත වට්ටක්කා වගාවක් දැකගත හැකිය.

මේ වන විට වැව අනවසර වගාකරුවන්ගේ ග්‍රහණයට සම්පූර්ණයෙන්ම හසු වී ඇත. වැවේ ජලය කඳුලක් නැත. මේ වන විට වැවේ මාළු ලක්‍ෂ ගණනින් මැරී කුණුවෙමින් දුගඳ හමමින් මඩ තට්ටු මත පාවෙමින් තිබේ.

වැව ඇතුළත වට්ටක්කා වගාකර ඇති අතර, වගා ආරක්‍ෂා කර ගැනීම සඳහා කුඩා මඩු සිය ගණනක් එහි ඉදිකර ඇත.

වැවේ අනවසර වගා කිරීම් කටයුතු ආරම්භ වී ඇත්තේ මීට වසර තිහකට පමණ ඉහතදීය. එදා වැව් තාවුල්ලෙන් පටන් ගත් වගාව මේ වන විට මුළු වැවම ආක්‍රමණය කර ඇත. අනවසර වගා නතර කිරීමට කිසිදු වගකිවයුතු අංශයකට මෙතෙක් නොහැකි වීම ද පුදුමයට කරුණකි.

වැව යටතේ කුඹුරු අක්කර 2100ක් වගා කෙරේ. ඉන් යැපෙන පවුල් සංඛ්‍යාව 1800කි. එහෙත් මේ වන විට ජලය නොමැති නිසා කුඹුරු සියල්ල විනාශ වී ගොසිනි.

ඩී. පී. වීරසිංහ මහතා-මේ වැව යටතේ වාර්ෂිකව වී බුසල් 2,66, 240ක් පමණ නිෂ්පාදනය කෙරෙනවා. කාලයක සිට වැව් තාවුල්ලේ අනවසරයෙන් භෝග වර්ග වගා කෙරෙනවා. මේ ගැන අපි අධිකරණය දක්වා ගියා. එහෙත් අපට සාධාරණයක් ඉටුවුණේ නැහැ.

මෙදා කුඹුරු සියල්ල මැරුණා. අපට දැන් අවශ්‍ය සහනාධාර නෙවෙයි. වැවට අයත් ඉඩම් මැනලා වෙන්කරලා වැව හාරන්න. වැව ගැඹුරු නොකර ජලය පුරවන්නේ කොහොමද?

අංක 2 ගොවි සංවිධානයේ සභාපති හේරත් රත්නායක මහතා - මේ වැවට වසර ගණනාවක් තිස්සේ සිදුවන හානිය වගකිවයුතු අංශවලට නොපෙනීම විමතියට කරුණක්. අනවසර වගාකරුවන් හැමදාම ජය ගන්නවා. දිනෙන් දින වැව ගොඩවෙනවා. ලක්‍ෂ ගණනක් මාළු මැරිලා. වට්ටක්කාවලට ඉසින කෘෂි රසායනික ‍ෙතල් මාළු මැරෙන්න හේතුවක් වෙන්න ඇති. මෙ නිසා ධීවර කර්මාන්තයේ යෙදුණු පවුල් 30 – 40ක් අද අසරණ වෙලා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා