හලාවතදී කතක් ඝාතනය කළ තිදෙනකුට වසර පහළොවකට පසු සිර දඬුවම්

හලාවතදී කතක් ඝාතනය කළ තිදෙනකුට වසර පහළොවකට පසු සිර දඬුවම්

ඝාතනය සිදු වූයේ 1997 අප්‍රේල් 03 දින

පිහියෙන් ඇන විවාහක කාන්තාවකගේ මරණය සිදුකිරීමේ සිද්ධියක් පිළිබඳ නඩුව වසර 15 කට පමණ පසුව අවසන් කළ හලාවත මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලිනී ගුණරත්න මෙනෙවිය නඩුවේ විත්තිකරුවන් තිදෙනාට බර වැඩ සහිත වසර හත බැගින් සිර දඬුවම් නියම කළාය.

හලාවත මයික්කුලම පදිංචි නාරායන් සුබාසිදන්, සුබාදින් ඉන්ද්‍රන් හා නාරායන් රඝවන් ජානකී යන එකම පවුලේ සැමියා බිරිය සහ පුතා විත්තිකරුවෝ වූහ.

1997 අප්‍රේල් 03 දින හෝ ඊට ආසන්න දිනයක හලාවත මයික්කුලම දී ක්‍රිෂ්මන් තාමරී සෙල්වි යන අයගේ් මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකරන ලදැයි විත්තිකරුවෝ අධිචෝදනා ලබා සිිටියහ.

විත්තිකරුවන් තිදෙනාම චෝදනාවට නිවැරදිකරුවන් බව කියා සිටීම හේතුවෙන් නඩුව විභාගයට ගෙන විත්තිකරුවන් තිදෙනා මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වන බව මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලිනී ගුණරත්න මෙනෙවිය සඳහන් කළාය.

ඔවුන්ට දඬුවම් නියම කිරීමට පෙර ඔවුන්ගේ නීතිඥ එන්. සුමනවීර මහතා අධිකරණයට කරුණු දක්වමින් 2000 ඔක්තෝබර් 13 දින අධිචෝදනා ඉදිරිපත් කිරීමත් සමඟ මේ වනවිට වසර 11 මාස 10 කට වැඩි කාලයක් ගතව තිබෙන බවත් මෙම කාලය පුරාවටම විත්තිකරුවන් අධිකරණයේ නියෝගයන්ට අවනත වෙමින් නිසිපරිදි අධිකරණයට එමින් අධිකරණ කටයුතුවලට සහය ලබා දුන් බවත් කීය.

නීතිඥ සුමනධීර මහතා නැවත ඔවුන්ගේ ජීවිතය සකසා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

රජයේ අධිනීතිඥ සජිත් ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරිය මෙසේ කීවාය.

මියගිය අයත් නඩුවේ තුන්වන විත්තිකාරියත් අතර සිද්ධිය වු දින උදේ ඔවුන් රැකියාව කරන ලද කොහු මෝලේ දී ඇති වූ සුළු සිද්ධියක් මුල්කරගෙන සවස් කාලයේ ඒ පිළිබඳව දෙපාර්ශ්වය අතරේ සිදුවූ දබරයක් මරණයට හේතු වී ඇති බව පෙනී යයි.

උදේ වරුවේ සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගෙන් ප්‍රශ්න කිරීමට විත්තිකරුවන් තිදෙනා පොදු වේතනාවක් ඇතිව මියගිය තැනැත්තිය සිටි ස්ථානයට පැමිණ පළමුවෙන්ම දෙවන විත්තිකරු මියගිය අයගේ කොණ්ඩයෙන් අල්ලා බිම දැමීමෙන් පසුව පළමුවන විත්තිකරු පිහියෙන් ඇනීම කර ඇත. තුන්වන විත්තිකාරිය ඇයට පොල්ලකින් පහර දී තිබෙන බව සාක්ෂිවලින් හෙළිවී තිබේ.

මේ අනුව පොදු චේතනාවකින් යුක්තව මියගිය තැනැත්තියට පහරදීම හා තුවාල කිරීමට දායක වී තිබෙන බව සාක්ෂිවලින් අනාවරණය වී ඇත.

පළමුවන විත්තිකරු එක වරක් අනින ලද පිිහි පහර ඉතා බරපතළ ලෙස ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කිහිපයකට තුවාල සිදුකිරීමට සමත්ව ඇතැයිද පළමුවන විත්තිකරු පිහියෙන් ඇනීම සිදුකර තිබෙන්නේ සාමාන්‍යයෙන් කැපුම් තුවාලයක් සිදුකිරීමේ අදහසින් නොව බරපතළ ආකාරයෙන් ඇයට තුවාල කිරීම සඳහා ඒ අයුරින් පිහියෙන් ඇන තිබෙන බවට සාක්ෂිවලින් හෙළිවී තිබේ.

පෙර වැරදි වාර්තා පරීක්ෂණ කිරීමේදී පෙර වැරදි නැති නමුත් සිද්ධිය වී තිබෙන ආකාරය සැලකීමේදී තිදෙනාම ක්‍රියාකර ඇති පිළිවෙළ පිළිබඳව සැහැල්ලුවට ගත නොහැකිය.

සාපරාධී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකදී විත්තිකරුවන්ට බර වැඩ සහිතව වසර 20 දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන්ව ඇත. නමුත් සිද්ධිය වී වසර 15 ක් ගතව තිබීමත් පෙර වැරදි නැතිවීමත් යන කරුණු සැලකීමට ගෙන වසර හත බැගින් සිර දඬුවම් හා රුපියල් 15,000 බැගින් දඩ නියම කරන බව දැනුම් දුන්නා.

එයට අමතරව මියගිය තැනැත්තියගේ සැමියාට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමටද නියම කළාය. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හය බැගින් සාමාන්‍ය සිර දඬුවම් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් බර වැඩ සහිතව වසර දෙක බැගින් සිර දඬුවම් ද නියම කළාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා