මුද්‍රණය සඳහා

 
බසයේ බීමත්ව ගමන් කළ මගියෙක්ගෙන් අසල සිටි කතකට අයුතු යෝජනාවක්

බසයේ බීමත්ව ගමන් කළ මගියෙක්ගෙන් අසල සිටි කතකට අයුතු යෝජනාවක්

ගාල්ලේ සිට ඇල්පිටිය බලා යන බස් රථයකි. මැදිවියේ කාන්තාවක් එහි අසුන් ගෙන සිටියාය. ඒ අසුනේ ඇය ළඟින් වාඩි වී සිටි පුද්ගලයා බීමත්ව සිටි බව ඇය අවබෝධ කර ගත්තාය.

මදදුරක් යනවිට නින්දෙන් මෙන් ඔහු ඇයට හේත්තු විය. නින්ද ගිය අයකුට බැණ වැදීම නුසුදුසු බැවින් ඔහුට අනුකම්පා කර නිශ්ශබ්දව ඉවසාගෙන සිටියාය. එක්වරම නින්දෙන් ඇහැරුණු ඔහු වරින්වර ඇය දෙස බැලුවේය.

ඔහු කාන්තාව සමඟ කතාබහට වැටුණේය. එහෙත් ඔහු අසන කිසිවකට ඇය පිළිතුරු නොදුන්නාය. බීමත් අයකු සමඟ කුමන කතාද? ඇය සිතුවාය.

ඔහු කාන්තාවට අයුතු යෝජනාවක් කළේය.

“එන්න මාත් එක්ක ඇල්පිටියට යන්න” ඔහු කීය.

එම යෝජනාවෙන් ඇය සැපින්නියක සේ කිපුනාය.

මොකක්ද තෝ කීවේ. දෙනවා මං උඹේ දත් කැඩෙන්න. උඹ හිතුවාද මං.....” කියමින් ඇය තම අතෙහි තිබූ කුඩය කැඩෙන තුරු ඔහුට පහර දුන්නාය. ඇය ඉන්පසු වෙනත් අසුනක වාඩි වුණාය.

ඔහු ලැජ්ජාවෙන් කරබාගෙන සිටියේය.

අතරමගදී තරුණියක් බසයට ගොඩ වූවාය. සිද්ධියට මුහුණදුන් මැදිවියේ කාන්තාව රත්ගම හන්දියෙන් බසින්නට සැරසෙද්දී තරුණිය අර තැනැත්තා හුන් අසුනේ වාඩිවීමට සුදානම් වූවාය. “නංගී ඔතන ඉන්නේ පාදඩ වනචරයෙක්. එපා නංගි ඔහු ළඟ වාඩිවෙන්න.” මැදිවියේ කාන්තාව තරුණියට ආදරයෙන් කීවාය.

“බොහෝම ස්තුතියි අක්කේ” කී ඇය සිටගෙන සිටියාය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]