ඌව නව මහ ඇමැතිට විරෝධයක්

ඌව නව මහ ඇමැතිට විරෝධයක්

ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කිරීම නීති විරෝධී ලෙස සිදුවූ බව පවසමින් ඌව පළාත් සභාවේ හිටපු එජනිස ඇමැතිවරයකු වූ චාමර සම්පත් දසනායක මහතා ඊ‍යේ (16) බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ අසළ බිම වාඩිවී විරෝධය පා ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ගොස් ආණ්ඩුකාරවරයාට බැන වදිමින් ආණ්ඩුකාර කාර්යාලයේ කලහකාරී ලෙස හැසිරුණේය.

නව ඌව ප්‍රධාන අමාත්‍යවරයා පත්කිරීම නීති විරෝධී ලෙස සිදුවූ බව පවසා හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊමේල් මඟින් එවූ බව කියූ ලිපියක් ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් සභාවේ (එජනිස) හිටපු ඇමැතිවරයකු වූ චාමර සම්පත් දසනායක, මන්ත්‍රීවරයකු වන එම්. පී. ලීලසේන යන මහත්වරු ඇතුළු පිරිසක් විසින් ඊ‍යේ (16) දහවල් ඌව ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතාට බාරදීමට ගියහ.

එහිදී ආණ්ඩුකාරවරයා පැවසුවේ තමාට එවැනි ලිපියක් බාරගත නොහැකි බවයි. මෙහිදී ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ චාමර සම්පත් දසනායක මහතා තර්ජනාත්මකව ආණ්ඩුකාරවරයාට කතා කරන්නට වූ අතර එම අවස්ථාවේ වහාම ඔහුට කාර්යාලයෙන් පිටවන ලෙසට ආණ්ඩුකාරවරයා නියෝග කළේය.

පසුව අදාළ ලිපිය ආණ්ඩුකාර කාර්යාලයේ මේසය උඩ තැබූ පිරිස පිටව ගියහ. කෙසේ වෙතත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා පැවසුවේ තමන් සියලු කටයුතු නිත්‍යානුකූලව සිදුකර තිබෙන බවයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා