මුද්‍රණය සඳහා

 
නිදහස් මාධ්‍ය සංස්කෘතියක් මෛත්‍රී පාලනය තුළ උදා වෙනවා

නිදහස් මාධ්‍ය සංස්කෘතියක් මෛත්‍රී පාලනය තුළ උදා වෙනවා

ජනමාධ්‍ය ඇමැති ගයන්ත වැඩ භාරගනිමින් කියයි

රටේ සියලුම මාධ්‍යවේදීන්ට නිදහසේ පෑන හැසිරවිය හැකි නිදහස් මාධ්‍ය සංස්කෘතියක් මෛත්‍රී පාලනයක් තුළින් උදාවෙමින් ඇතැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කෙළේය.

ඉදිරි දින සියය ඇතුළත තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කරන බවත්, අනතුරුව රටේ ඕනෑම පුරවැසියකුට ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු හැර රජයේ පරිපාලන, මූල්‍යමය සහ ප්‍රතිපත්ති දැනගැනීමට අවස්ථාව උදාවන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අයැදුම්පතක් පුරවා එම තොරතුරු ජනතාවට ලබාගැනී‍ෙම් හැකියාව ඇතැයි ද හෙතෙම අනාවරණය කෙළේය. ඇමැතිවරයා මෙසේ සඳහන් කෙළේ නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (16) සිය රාජකාරි කටයුතු අරඹමිනි.

පසුගිය සමයේ මාධ්‍යවේදීන්ට සිදුවූ විවිධ අඩන්තේට්ටම්, පහරදීම්, අතුරුදහන්වීම, නොමිලේ කොණ්ඩා, රැවුල කැපීම් ආදී තර්ජන එල්ල වූ බව ද, එම සිද්ධීන් හේතුවෙන් රට හැර ගිය සියලුම මාධ්‍යවේදීන්ට නැවත මාතෘ භූමියට පැමිණ ඔවුන්ගේ අනගි සේවය රටට ලබා දෙන ලෙස විවෘත ආරාධනයක් කරන බව ද ඇමැතිවරයා කීවේය.

ජනමාධ්‍ය පුටුවේ තමා වාඩිවූයේ දෑත පිරිසිදු දේශපාලනඥයෙක් ලෙස බව කී ඒ මහතා කවදා හෝ දිනක ඇමැති ධුරයෙන් පිටව යන්නේ ද දෑත පිරිසිදුව තබාගෙන බව පැවැසීය. දේශසීමා විරහිත මාධ්‍යකරුවන්ගේ නිර්ණායක අනුව ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 180 ක් අතරින් අපේ රටට හිමිවන්නේ 168 ස්ථානය බවත්, ඒ පිළිබඳ කනගාටු වන බවත් කී ඇමැතිවරයා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වලද සියයට සීයක මාධ්‍ය නිදහස නැති බවත්, එහෙත් අපේ රටේ මාධ්‍ය නිදහස ඇතිකිරීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]