බලපෑම් නැත විවේචන ඇත

බලපෑම් නැත විවේචන ඇත

රටේ සිදුවන ඇතැම් දේවල් ගැන ද; ඒ සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග ගැන ද විවිධ විවේචන පවතී. ඇතැම් විවේචන සාධනීය වන අතර තවත් විවේචන සාධනීය නො වේ. ජනාධිපතිවරයා මේ විවේචන දෙස උපේක්ෂාවෙන් බලන හැටියක් පෙනෙන අතර ඇතැම් විවේචනවලට පිළිතුරු සපයමින් යථා තත්ත්වය පැහැදිලි කරයි. එය සිදුවන එක් අවස්ථාවක් වන්නේ රාජ්‍ය නායකයා ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවන මාධ්‍ය සාකච්ඡාව ය. මේ මාසය සඳහා වූ ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් හමුවන සාකච්ඡා ඊයේ පැවැත්විණි. දේශපාලනයට අතිශයින් ම වැදගත් වන කරුණු කිහිපයක් මෙහි දී සාකච්ඡා විය.

මහ මැතිවරණය හා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම, උතුරේ මියගිය කොටි නායකයන් සැමරීම, 20 වන ව්‍යවස්ථා සංශෝධනය, මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය, තොරතුරු දැන ගැනීමට අදාළ පනත හා විල්පත්තුව සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය මේ සාකච්ඡාවේදී ප්‍රධාන මාතෘකා බවට පත් විය. මේ සෑම මාතෘකාවක් සම්බන්ධයෙන්ම අසත්‍ය ප්‍රචාර හා නිර්දය විවේචන පැතිර තිබේ.

නිදසුනක් කිවහොත් උතුරේ සටනින් මියගිය කොටි නායකයන් සමරා විවිධ උත්සව පැවත්වීම 2010 පටන්ම පැවැතිණි. ඇතැම් සැමරුම් උතුරේ නගරයකදී පැවැති අතර ඇතැම් සැමැරුම් විදේශවලදී පැවැත්විණි. මෙවරත් එය පවත්වා තිබිණි. එය විවේචනයට ලක් වූයේ ආණ්ඩුවේ අවසරය මත කොටි සැමරුමක් සිදුවූ බවට ය. ජනාධිපතිවරයා ඊට පිළිතුරක් ලබා දුන්නේ ආණ්ඩුව එබඳු අවසරයක් කිසිවිටෙක ලබා දී නැති බව හා ත්‍රස්තවාදයට යළි හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බව තහවුරු කරමින් ය. එබඳු උත්සාහයක් වෙතොත්; එය පරාජය කිරීමට අවශ්‍ය සියලු ශක්තිය හා උපායමාර්ග රජය සතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මානව හිමිකම් කොමිසමේ අලුත්ම ප්‍රතිචාරය ගැන ද විවිධ කටකතා පවතී. එක කටකතාවක් වන්නේ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර සඳහා නායකත්වය දුන් රණවිරුවන් හා දේශපාලන නායකයන් ජාත්‍යන්තර අධිකරණයක් වෙත යැවීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවය. මෙය අමූලික බොරුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් කිසිවකු පාවාදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නො වන බව තහවුරු කළේ ය. එහෙත් මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර හා අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් කළ යුතු බව සත්‍යයෙකි. ඒ සඳහා කටයුතු කිරීමට කමිටුවක් පත් කරන බව ද සමස්ත ක්‍රියාවලියේ ප්‍රගතිය ගැන වාර්තාවක් මානව හිමිකම් කොමිසමට ලබා දෙන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය. එය සාධාරණ හා යුක්තිසහගත තීරණයක් බව කිව යුතුය.

විල්පත්තුවේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී තිබේ. ඊට අනුව යුද්ධයෙන් අවතැන්වූවන් සඳහා විල්පත්තුවට අයත් හෝ ඒ ආසන්නයේ ඉඩම් හෝ ලබා දී ඇත්තේ පසුගිය ආණ්ඩුව ය. කාර්ය සාධක බළකාය ‍එලෙස ඉඩම් බෙදාදීම සිදුකර ඇති අතර එම ක්‍රියාවලිය විධිමත් ආකාරයකින් සිදුවී නැත. සරල නිදසුනක් කිවහොත් රජයේ ඉඩම් ජනතාවට ලබාදීමේදී එම ඉඩම්වලට අයත් දැව රජය සතුවිය යුතු වුව; එවැන්නක් මෙහි දී සිදු වී නැත. ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ ඉඩම් ගැන නැවත සොයා බැලීමක් සිදු වී නැති බැවින් පළමු පදිංචිකරුවන්ගේ ඊළඟ පරම්පරාවල්ද, අදාළ ඉඩම්වලට සමීපව ඇති කැලෑ ඉඩම් ශුද්ධකර පදිංචි වී ඇති බව ය.

විල්පත්තුව රක්ෂිතය පිළිබඳ ගැටලුවේදී කරුණු දෙකකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. පළමුවන්න විල්පත්තුව වනෝද්‍යානය ආරක්ෂා කිරීම ය. දෙවන්න අවතැන් වූ පිරිසට ඉඩම් ලබාදීම ය. මේ ගැටලු දෙකට ම ස්ථිරසාර විසඳුම් අවශ්‍ය වේ. දෙපැත්තට ම යුක්තිය ඉටුවන ක්‍රියාමාර්ගයක් වෙත යෑම තමන්ගේ අභිප්‍රාය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ඒ සඳහා තවදුරටත් අදාළ වාර්තාව පරීක්ෂා කොට සාකච්ඡා පවත්වන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ය. සිදුවිය යුතු හොඳ ම දේ ඒ යැයි සිතිය හැකි ය. මේ වන විට විල්පත්තුව ජනාවාසකරණය නැවතී ඇත.

මහ මැතිවරණය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මැතිවරණ ක්‍රමයේ සංශෝධනය හෙවත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ද විවිධ අදහස් සමාජය තුළ පවතී. වැඩි දෙනකු මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව ද සත්‍යයෙකි. දැනට පවතින තත්ත්වයට අනුව මැතිවරණ ක්‍රමයේ සංශෝධනයකින් පසුව මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැත. එසේ කිරීමට අවශ්‍ය නම්; තවත් කාලයක් බලා සිටින්නට සිදු වේ. දැනට පාර්ලිමේන්තුවේ පවතින සියලුම පක්ෂ පැරැණි මැතිවරණ ක්‍රමය යටතේ ඡන්දයකට යෑමට කැමැත්ත පළ කරයි. ඒ අනුව මැතිවරණයක් පැවැත්වීම දුෂ්කර වන්නේ නැත. ලබන සැප්තැම්බරය වන විට අලුත් රජයක් පිහිටුවීමට හැකිවනු ඇතැ’යි ජනාධිපතිවරයා කියා සිටියේ ය. එය හොඳ තත්ත්වයකි.

පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්; එම සභාවේ සෙසු කටයුතු සුපුරුදු ලෙස කෙරීගෙන යනු ඇතැ’යි ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය දැන් ක්‍රියාත්මකය. ඊට අනුව ජාතික විධායක සභාවට සාමාජිකයන් පත්කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුවෙයි. ඒ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ ජාතික සංවාදයක් සඳහා ය. විශ්වාසභංග යෝජනා ආදියද ඒ අයුරින් ම පාර්ලිමේන්තුවට ගෙන යා හැකිය. ජනාධිපතිවරයාගේ බලපෑමක් කිසිවකුට නැත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා