ගෝඨාභයට එරෙහි පරීක්ෂණ අරඹයි

ගෝඨාභයට එරෙහි පරීක්ෂණ අරඹයි

මෙරටට මිග්යානා 4ක් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනාවක මූල්‍ය අක්‍රමිකතා සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ සිදුවී ඇතැයි කියන තවත් රුපියල් කෝටි ගණනාවක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ සභාපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටියදී මෙම විශාල මූල්‍ය වංචාව සිදුවී ඇතැයි ඒ මහතාට එරෙහිව පැමිණිලි ලැබී තිබේ. ඒ මහතාට අමතරව ලංකා හොස්පිට්ල්ස් හි අධ්‍යක්ෂවරු, කාර්ය මණ්ඩල නිලධාරීන්ගෙන්ද රහස් පොලිසිය මේ සම්බන්ධව තොරතුරු ලබාගෙන තිබේ. මේ අතර මෙරටට මිග් යානා 4ක් මිලදී ගැනීමද සිදුවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ බව පැවසේ.

‍එහිදී අති විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇත. ඒවා ගෙන්වීමට අදාළ ගනුදෙනුවලට තවත් කිහිප දෙනෙක් සම්බන්ධ වී ඇතැයි කියයි. ඔවුන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (20) පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කර ඇත.

යළිත් ඉදිරි දිනක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධව යළි කැඳවීමට නියමිත ඇත.

මෙම ගනුදෙනුවලට අදාළ ලේඛන රැසක් මූල්‍ය අපරාධ කොට්ඨාස පරික්ෂණවලට අදාළ කරගෙන තිබේ. මෙම ගනුදෙනු දෙකේදීම සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතාවලින් සිදුවී ඇති මූල්‍ය හානිය හරහා රජයට විශාල පාඩුවක් සිදුවී ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා