කෙහෙළියට ඇප

කෙහෙළියට ඇප

රූපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක භාණ්ඩ මිලදී ගනිමින් රජයට පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පැවරූ නඩුවට අධිකරණයේ පෙනී සිටි හිටපු ජනමාධ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (20) ඇප නියම කළේය.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් ශරීර ඇප දෙක බැගින් සැකකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා රඹුක්වැල්ල මහතාට හැර සෙසු සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළේය.

රඹුක්වැල්ල, මන්ත්‍රීවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට විදේශ ගතවීමට අවශ්‍ය වන බැවින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ තැබීම අවශ්‍ය නොවන බව දන්වා සිටියේය.

රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූබසිංහ හා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු ඇප ලැබූ සෙසු සැකකරුවන් වේ.

පසුගිය මැතිවරණ සමයේ එනම් දෙසැම්බර් 02 දින හා 10 වැනි දින අතර කාලය තුළ රූපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොවන ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගනිමින් රජයට රුපියල් නම ලක්ෂ අනු දාහක් අහිමි කිරීමේ චෝදනාව යටතේ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව දූෂණය නමැති වරදක් කිරීම මත මෙම නඩුව අප්‍රේල් 22 දින පැවරීය.

අධිකරණයේ පෙනී සිටි සැකකරුවන්ට චෝදනා ඉදිරිපත්කර කියවා දීමෙන් පසුව ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට සිතාසි නිකුත් කරමින් නඩු විභාගය සැප්තැම්බර් 02 දිනට නියම කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා