මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලයි

මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලයි

මූල්‍ය අපරාධ කොට්ඨාසය කැබිනට් මණ්ඩ‍ලයේ අනුමැතිය ලබා පිහිටුවන ලද්දක් බැවින් එය නීත්‍යනුකූල යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (20දා) පෙරවරුවේදී ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවිධ අභියෝග කුමන්ත්‍රණ පරාජයට පත් කරමින් තමයි සම්මත කර ගත්තේ. ඒ සඳහා විශාල මැදිහත්වීමක් ජවිපෙ කරනු ලැබුවා. ඒ අනුව තමයි ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට අවස්ථාව සැලසෙන්නේ. පසුගිය රජය සමයේ මහින්ද රාජපක්ෂ රජය කළේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමට 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවා. නමුත් බල පෙරළිය නිසා තමයි අද තිබෙන සාධණීය තත්ත්වය ඇති කර ගැනීමට හැකි වුණේ. එසේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළත් කතානායකවරයාගේ අත්සන යෙදුවට පස්සේ තමයි එය නීතියක් බවට පත් වන්නේ. ඒ අනුව පසුගියදා අත්සන් කළ නිසා තමයි එය නීතිගත වෙලා තිබෙන්නේ. අගමැතිවරයා ලබන සැප්තැම්බර් වන විටත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් සැප්තැම්බර් වලට පෙර මැතිවරණයක් ගැන කතා කරලා තිබෙනවා. කොහොම වුණත් එම මැතිවරණය ස්වාධීන සහ අපක්ෂපාතී මැතිවරණයක් විය යුතුයි.

ඉදිරියේ පවත්වනු ලබන මැතිවරණය කුමන මැතිවරණ ක්‍රමයක් අනුවද පවත්වනු ලබන්නේ කියලා දැන් සාකච්ඡාවක් ඇති වෙලා තිබෙනවා. දේශපාලන පක්ෂවලට එම සාකච්ඡාවලදී අපගේ අදහස් ලබා දුන්නා. අපට දැනගැනීමට ලැබී ඇති පරිදි මැතිවරණ දෙකක් ගැන යෝජනා වී තිබෙනවා. මිශ්‍ර සංයෝජන ක්‍රමයක් වගේම මිශ්‍ර සහ සමානුපාතික ක්‍රමයක් ගැන මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මෙම මැතිවරණ ක්‍රම දෙක පිළිබඳව ආණ්ඩුව අවසන් තීරණයකට එළඹී නැහැ.

ජනාධිපතිවරයා ඊයේ සාකච්ඡාවක් කැඳවා තිබුණා. දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක්. එයින් පැහැදිලි වන්නේ අවසන් එකඟතාවයකට පැමිණ නැති බවයි. ජවිපෙ මතය වන්නේ මෙම මනාප ක්‍රමය අවසන් කළ යුතු බවයි. නීතියේ කුමක් තිබුණත් මනාප ක්‍රමයට වැටුණේ නැති එකම පක්ෂය වන්නේ ජවිපෙ පමණයි. එය දැනටත් අපි ක්‍රියාවට නඟලා තිබෙන්නේ. ජනතාව තුළ යම් අදහසක් මතුවී තිබෙනවා තේරී පත්වන නියෝජිතයින් තමන්ට වඩාත් සමීප කෙනෙක් නම් හොඳයි කියලා. එම ජනතා ඉල්ලීමට අපි එකඟයි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතිවිය යුතුයි. කවර හෝ මැතිවරණ ක්‍රමයක් නීතියක් බවට පත් වෙනවා නම් එහිදී අපගේ සහාය ලබා දෙන්න සූදානම්. අප ඉන්නේ අලුත් මැතිවරණ ක්‍රමයක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය අනුවයි. එයට එකඟතාවය පළ කරනවා.

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමේදී සීමා නිර්ණය කොමිසමක් පත් කරලා මාස 3ක් යා යුතුයි. ඒ අනුව පැහැදිලිවම අලුත් ක්‍රමයකට මැතිවරණය පැවැත්විම ප්‍රායෝගිකව කළ නොහැකියි. ඒ වගේම එම නව ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. අනිත් පැත්තට පාර්ලිමේන්තුව කියන්නේ මුළු රටටම බලපාන නීති සම්පාදනය කරන තැනයි. ප්‍රතිපත්ති මත ඡන්දය දෙන ක්‍රමයක් පැවතුනොත් එය ඉතා හොඳයි. රටක් ලෙස පාර්ලිමේන්තුව ගොඩනැඟීමේදී පුද්ගලයාට ඡන්දය දෙනු වෙනුවට පක්ෂයට ඡන්දය දීම සඳහා එක් ඡන්ද පත්‍රිකාවකුත් ඒ වගේම පුද්ගලයකුට ඡන්දය දෙන පත්‍රිකාවකුත් තිබීම වඩාත් හොඳයි කියන එක තමයි අපි යෝජනා කළේ. නමුත් මේ වනතුරු මැතිවරණ ක්‍රමය පිළිබඳව දේශපාලන පක්ෂ අතර අවසන් එකඟතාවයකට පැමිණ නැහැ.

මේ දවස්වල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ එක් කොමසාරිස්වරයෙකු ඉල්ලා අස්වී තිබෙනවා. ඒ නිසා අනිත් කොමසාරිස්වරුන් දෙදෙනා කිසිදු නියෝගයකට තීන්දුවකට අත්සන් තබන්නේ නැහැ. පසුගිය කාලයේ මේ රටේ දූෂණ පැමිණිලි රාශියක් ඉදිරිපත් කරලා තිබෙනවා. සභාපතිවරයාට විරුද්ධව අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා. හොරුන්ට වංචාකරුවන්ව අල්ලා ගන්න තිබෙන ආයතනයක් තමයි මෙම ආයතනය. ඒ නිසා මෙය වහාම වෙනස් විය යුතුයි. මුලින්ම යෝජනාවක් තිබුණා 19 සම්මත වීමට පෙර පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි කියලා. ඒ නිසා නව ව්‍යවස්ථා සංශෝධනය අනුව එය සක්‍රීය කළ යුතුව තිබෙනවා. 19 තුළ කොමිෂන් සභා 11ක් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ක්‍රියාත්මක වන්නේ නැත්නම් ඒවා වහාම බලගන්වන ලෙසට අපි රජයට බලකර සිටිනවා. ඒ සඳහා පියවර ගත යුතුව තිබෙන්නේ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයායි.

ව්‍යවස්ථාදායක සභාව 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර 7 දෙනෙක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනවා. අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින් වහාම පත්කරන්න කියා අපි කියනවා. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ප්‍රමාද කරන්නේ නැතිව පත් කරන්න කියා තමයි අපි බල කරන්නේ. එය පත් කරලා ඉතාමත් කෙටි කාලයකින් අනුමැතිය ලබා දෙන්නත් අනිකුත් කොමිෂන් සභා පිහිටුවන්නත් පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් කොමිෂන් සභා පත් කරන්න හැකියි. විසුරුවා හැරීමට කලින් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන්න එයට මැදිහත්වීමටත් අපි සූදානම්.

අල්ලස් හෝ දූෂණ කොමසාරිස්වරයෙකු පත් කරන්න අල්ලස් කොමිසමේ ඉතිරි දෙන්නාත් අස්වෙන්න කියා අපි කියනවා. ජනතාවගේ මුදලින් නඩත්තු වන කොමසාරිස්වරුන් කුමකටද ඔවුන් ඉල්ලා අස්විය යුතුයි. ඒ අනුව ඉක්මනින් කොමිෂන් සභා පත්විය යුතුයි. පොලිස්, මැතිවරණ අල්ලස් වහාම පත්විය යුතුයි. ආණ්ඩුවේ වගකීම තමයි ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඒ සඳහා වහාම පියවර ගතයුතුයි.

පසුගිය ජනාධිපතිවරණයේදී අපි පක්ෂයක් ලෙස කිසිම කෙනෙකුට සහාය ලබා දුන්නේ නැහැ. සෘ‍ජුව මැදිහත් වුණේ නැහැ. අපි විපක්ෂයේ ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙසයි කටයුතු කරනු ලැබුවේ. ඒ නිසා ඉදිරි මැතිවරණ වලදීත් ජවිපෙ ස්වාධීනව තරඟ කරනු ලබනවා. ජවිපෙ මේ රටේ මහජනතාව සමඟ එකට එකතු වෙලා කටයුතු කරනවා වගේම කිසිම කෙනෙකුගේ බෙල්ලේ එල්ලෙන්නේ නැහැ. ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවේ යුතුකමක් වෙනවා.

පාර්ලිමේන්තුවේ සංයුතිය ඕනෑවට වඩා වැඩිවිය යුතු නැහැ වගේම මන්ත්‍රීධුර ගණනත් අනවශ්‍ය ලෙස වැඩිවිය යුතු නැහැ. රවි කරුණානායක වගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංග යෝජනා ගෙන ඇවිත් තිබෙනවා. මීට පෙර ගෙන ආ විශ්වාසභංග යෝජනා විවාදය ගැනීමට ඒවා ඉදිරිපත් කළ අයට පවා අද උනන්දුවක් නැහැ. අද විශ්වාසභංග උසුළු විසුළු කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා.

මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතාද එක්වී සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා