සමාජයේ ඉදිරි ගමනට කරුණා-මෛත්‍රී ගුණ වර්ධනය අත්‍යවශ්‍ය කරුණක්

සමාජයේ ඉදිරි ගමනට කරුණා-මෛත්‍රී ගුණ වර්ධනය අත්‍යවශ්‍ය කරුණක්

බෞද්ධ ජාත්‍යන්තර සමුළුවේ දී ඇමැති කරු කියයි

රටක් මෙන්ම සමාජයක් ඉදිරියට ගෙනයාමට නම් එරට කරුණාව හා මෛත්‍රී ගුණය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්තත්‍රීය පාලනය සහ බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය මහතා පැවැසීය. එවැනි රටක්, සමාජයක් ගොඩනැඟීමෙන් එකිනෙකාට ගෞරවය හා භක්තිය දක්වන පුද්ගලයන් නිර්මාණය කිරීමට හැකි වන බව හෙතෙම කීවේය.

වත්මන් රජයේ ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ ද අභිප්‍රාය එය බව යාපනය වීරසිංගම් ශාලාවේදී ඊයේ (20) පැවැති දෙමළ ජාතික බෞද්ධ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඇමැති කරු ජයසූරිය මහතා පැවැසීය.

කරුණාව මිනිසාට පමණක් නොව සතා සිව්පාවාට මෙන්ම ගහ කොළට ද එක එසේ අවශ්‍ය බව පැවැසු ඒ මහතා මෙවැනි සමුළු පැවැත්වීමෙන් එම ගුණය තව තවත් වර්ධනය කරගැනීමට හැකි වන බව ප්‍රකාශ කෙළේය.

ජාතික සමඟිය හා සංහිඳියාව වර්ධනය කර ගැනීමට මෙම සමුළුව පිටිවහලක් වන බවත් ඒ සඳහා දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බෞද්ධ ආගමික නායකයන් සැමට සිය රජයේ ගෞරවණීය ස්තූතිය පිරිනමන බවත් ජයසූරිය මහතා කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කෙළ්ය.

මෙරට පැවැත්වනු ලැබූ දෙමළ බෞද්ධ සම්මේලනයට එක් වූ ඉන්දියානු දූත පිරිස සිය රජය වෙනුවෙන් ඉතා ගෞරවයෙන් හා භක්තියෙන් පිළිගන්නවා. ඒ වගේම ඒ සියලුදෙනාට ලක් රජය වෙනුවෙන් සුභාෂිංශන එක්කර සිටිනවා. අද වගේ දවසක යාපන දිස්ත්‍රික්කයේ මෙවැනි සමුළුවක් පැවැත්වීම ඉතා වැදගත් වගේම සමඟිය හා සංහිඳියාව වර්ධනය කිරීමේ හොඳ අවස්ථාවක් ලෙස මා දකිනවා. ලොව පුරා බෞද්ධ ආගම ප්‍රචලිත කළ මහා පඬිරුවනක් වූ බුද්ධඝෝෂ හිමියන් දෙමළ හිමිනමක්. ඒ වගේම තවත් කිර්තිමත් දෙමළ හිමිවරුන් රැසක් මෙම ආගම ප්‍රචලිත කරන්න සුවිශේෂී දායකත්වයක් ලබාදුන්නා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බෞද්ධ ආගම වර්ධනය කරන්න ඉන්දීයාවේ බෞද්ධ සමාගම් හා ආයතන මෙන්ම ශ්‍රී ලංකාවේ මහා බෝධි සමාගම, සර්වෝදය ආයතනය විශාල කාර්ය භාර්යයක් කරනවා. එම නිසා තමයි මේ අවස්ථාවට දෙරටේ කිර්තිමත් නායක හිමිවරුන් රැසක් සහභාගි වී සිටින්නේ.

අද මේ සමුළුවට මුල් වූ කාරණාව තමයි කරුණාව. අපේ බුදුරජාණන්වහන්සේ කරුණා ගුණය පිළිබඳව දේශනා කළා පමණක් නොව ක්‍රියාවෙන් පවා ඔප්පුකර පෙන්වා තිබෙනවා. නාලාගිරි හස්ථියා දමනය කළේ කරුණා ගුණයෙන්, සුනීත, සෝපාක වැන්නන් නිවරදි මාර්ගයට ගත්තේ කරුණා ගුණයෙන්. එම නිසා මෙම ගුණය බුදු දහමට උල්පතක් ලෙසයි මා දකින්නේ. මාලදිවයින, බංගලාදේශය, මැලේසියාව වැනි රටවලත් බුදුදහම තිබුණා. එහෙත් එය අද වෙනකොට අඩුවෙමින් තිබෙනවා. එහෙත් අද වන විට ශ්‍රී ලංකාව වසර 2500 ක් පුරා අඛණ්ඩව බුදු දහම ආරක්ෂා කරගෙන ඇවිත් තිබෙනවා. මෙවැනි සම්මේලන පැවැත්වීම එය ඉදිරියට ගෙන යාමට මහත් රුකුලක් වෙනවා.

එක් අවධියක අපේ රටේ ලේ වැගිරීම් සිදුවුණා. විවිධ විරෝධතා තිබුණා. අද වන විට ඒ සියලු දේ දුරුවෙලා උතුරෙත් දකුණෙත් අපිට සාමයෙන්, සමඟියෙන් ජීවත්වෙන් හැකි වටපිටාව නිර්මාණය වී තිබෙනවා. යාපනය කියන්නේ ඉතා ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන භුමියක්. මේ භුමියේ ඉතා වැදගත් ස්මාරක රැසක් තිබෙනවා. නාග විහාරය, නල්ලුර් කෝවිල ඊට උදාහරණ ලෙස පෙන්වා දිය හැකියි. එම නිසා අපි සියලුදෙනා එක් වී මෙය රැකගනිමු යැයි ඉල්ලා සිටිනවා.

පුනරුත්ථාපන හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම් ස්වාමිනාදන් මහතා-ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉතා දීර්ඝ බැදීමක් මෙන්ම හොඳ සම්බන්ධතාවයත් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට ඕනෑම කාරණයකදී එකට වැඩ කරන්න හැකි වී තිබෙන්නේ. අපි සියලුදෙනා කුමන ආගම ඇදහුවත් මරණයෙන් පසු යන්නේ දෙවියන් ළඟටයි. එය අපි කවුරුත් හොඳින් අවබෝධ කරගත යුතුයි. අද පුන්කුඩතිව් ප්‍රදේශයේ සිදු වී තිබෙන අවාසනාවන්ත සිද්ධිය ගැන ඔබ සියලුදෙනාම දන්නවා ඇති යැයි මා විශ්වාස කරනවා. මෙවැනි අමානුෂික ක්‍රියාවන් කිසිවකු අනුමත කරන්නේ නැහැ. කිසිම ආගමක් අනුමත කරන්නේ නැහැ. එම නිසා අපි සියලු දෙනා එක්වී මෙවැනි ක්‍රියා සිදුවීම වළක්වා ගන්න කටයුතු කළ යුතුයි. ඊට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදිය යුතුයි. එසේ නොවුණහොත් මෙය සමාජ පිලිලයක් බවට පත්වීම වලක්වා ගන්න බැහැ.

මෙම සමුළුව යාපනයේ පැවැත්වීමට සහය ලබාදුන් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් යාපනයේ ජනතාවගේ ගෞරවණිය ස්තූතිය මා පිරිනමනවා. ඒ වගේම මෙම සමුළුවට එක් වූ දෙරටේ සියලු ආගමික නායකයන් ඇතුලු දූත පිරිසටද මාගේ ස්තුතිය පිරිනමනවා.

මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමල රතන නා හිමියන්, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්, උතුරු පළාත් ආණ්ඩුකාර එච්. එම්.ජී.එස් පලිහක්කාර, සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ඒ. ටී ආරියරත්න මහත්වරුන් ඇතුලු දෙරටේ ආගමික නායකයන් සුභාෂිංශන එක් කළහ. මේ අවස්ථාවට මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්, මහාචාර්ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ඇතුලු ආගමික නායකයන් රැසක් මෙන්ම ප්‍රදේශයේ දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරින් ද සහභාගි වී සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා