ශ්‍රීලනිප නාම යෝජනා මණ්ඩල පත් කිරීමට පියවර

ශ්‍රීලනිප නාම යෝජනා මණ්ඩල පත් කිරීමට පියවර

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට සූදානම් වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නාම යෝජනා මණ්ඩල පත් කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

දළ වශයෙන් පත් කර ඇති එම නාමයෝජනා මණ්ඩලවලට පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබුණු පසු ප්‍රකාශයට පත් කරන බවත් තරග කිරීමට බලාපොරොත්තු වන අයට එම සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වන්නැයි ආරාධනා කරන බවත් මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළහොත් නාමයෝජනා මණ්ඩලවල සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට අදහසක් නොමැති බවත් මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ රටේ හිටපු ජනාධිපතිවරයා මෙන්ම පක්ෂයේ අනුශාසකවරයා ද වන මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ඇත්තේ විශාල ගෞරවයක් බව පැවසූ මහලේකම්වරයා රාජපක්ෂ මහතා සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමට පුළුවන්කමක් නොමැති බවත් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණයට තරග කිරීමට කිසිදු බාධාවක් නැතැයි පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙන බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මහ ලේකම්වරයා කීවේය.

නාමයෝජනා මණ්ඩල පත් කළ පමණින් පාර්ලිමේන්තුව අද හෝ හෙට විසිරුවනු ඇතැයි අදහස් නොවන බව පැවසූ මහලේකම්වරයා ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයට පක්ෂයක් ලෙස සූදානම් වීම මෙහි අරමුණ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා