පන්සලෙත් මෙහෙම නං

පන්සලෙත් මෙහෙම නං

දවසේ නියමිත රාජකාරි කටයුතු නිම කළ චිත්‍රපට නිෂ්පාදක දැරණියගල මහතා තම නිවසට පැමිණ ඇඟ පත සෝදා ගෙන හීන් අඩියක් ද ගසා සිටිය දී පන්සලට ඇවිත් තමා හමුවන ලෙස නායක හාමුදුරුවන් ගෙන් පණිවුඩයක් ලැබුණි. අඩියක් ගසා සිටි බැවින් පන්සලට යාමට දැරණියගල මහතා මඳක් අදිමදි කළත් ලොකු හාමුදුරුවන් ගේ පණිවුඩය නිසා නොගොස් බැරිකමට හේ පන්සල වෙත ගියේ ය.

‘ආ දැරණියගල මහත්තයා, මෙහාටම ආවනං? දැරණියගල පිළිගත් ලොකු හාමුදුරුවෝ දිගු කතාබහකට අරඅඳිද්දී උන්වහන්සේ ට තද සුරා ගඳක් දැනිණ. නැහැය හකුළා සැකයෙන් දැරණියගල දෙස බැලූ ලොකු හාමුදුරුවෝ ‘ඒකයැ මහත්තයෝ අද කවදාවත් නැතුව මොකද මේ සුරා ගඳක්?’ යයි ඇසුවේ තම පිළිකුළ ද නොසඟවමිනි.

‘ඒක නේන්නං හාමුදුරුවනේ. පන්සල්වලත් මෙහෙම නං අනේ මන්දා! අපි කොහොම මේවයින් බේරිලා මේ රටේ ඉන්නද කියලා. දැරණියගල ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේ ඉවත බලාගෙන ය.


ඉපදිලාවත් නැතුව ඇති

එය ටෙලි නාට්‍යයක නළු නිළියන් නැවතී සිටි ලොජ් එකකි. ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අන් නැකත සිදුවෙමින් පවතිද්දී රූගත කිරීම්වලට නියමිත නොවූ නිළියන් තිදෙනෙකු ලොජ් එකේ සාලයේ වාඩිවී ආගිය තොරතුරු කතා බස් කරමින් සිටියෝ ය.

වයස හතළිහ ඉක්මවූ බවක් පෙනුණු කුසුම් අඟර දඟර පාමින් මෙසේ කීවාය.

‘මේ ඔය දෙන්නටම මම ආරාධනා කරනවා, ලබන මාසෙ 25දා මගේ විසිඑක් වෙනි උපන් දිනේට එන්ඩම ඕනෙ හොඳේ.’

එය ඇසූ වයස 45 ක් පමණ වූ මානෙල් තම යෙහෙළියන් දෙදෙනාට තොදොල් බසින් මෙසේ කීවාය.

‘මම දැන් අවුරුදු 27 යි. ඒත් අපේ මහත්තයා නං කියන්නෙ එච්චර පෙනුමක් නෑ කියලයි, අනේ.’

මේ සාටෝප කතා සාලයේ කොනක වාඩිවී පොතක් බලමින් සිටි එම ටෙලි නාට්‍යයේ රඟපෑ ළමා නිළියක වූ සුජානි ආසා සිටි බැව් හදිසියේම දුටු කුසුම් ඈ දෙස බලා සිනාසී මෙසේ ඇසුවාය.

‘දැන් සුජානි, ඔයාට වයස කීය ද?’

‘අපොයි ඔය ඇන්ටිලගෙ වයසෙ හැටියට මම තවම ඉපදිලාවත් නැතුව ඇති.’ සුජානි ගත් කටට ම කීවාය.

- එඩ්වඩ්