ණය ඉවරයි

ණය ඉවරයි

නාට්‍යයක් රඟ දැක්වීම සඳහා දෙනියායට ගිය ලකී මල්ලි සහ අසෝක හට නාට්‍යයේ වේදිකා උපකරණ නියමිත පරිදි සවි කිරීමෙන් පසු පැය හතරක පමණ විවේක කාලයක් ලැබුණි. එම කාලය තුළ ගමේ ඇවිද කිතුල් රා ටිකක් බොමු යයි ලකී මල්ලි යෝජනා කළේය.

මේ අනුව දෙදෙනා කැලෑ මණ්ඩියක් මැදින් වැටුණු අඩි පාරක් දිගේකිතුල් රා ඇතැයි දැන ගන්නට ලැබුණු ඉසව්වක් වෙත පිය නගමින් සිටියෝය. ඔවුන් දෙදෙනා මෙසේ යද්දී එක් වරම ඔවුන් ඉදිරියට පිස්තෝලයක් අතින් ගත් පල් හොරෙකු කඩා පැන මෙසේ තර්ජනය කළේය.

“පණට ආදරේ ඇත්නම් අතේ තියෙන සල්ලි ඔක්කොම මෙහාට දෙනවා. නැත්තං මැරුම් කන්ඩ වේවි”

අසෝකා පණ බයේ ගැහෙමින් වහා කලිසම් සාක්කුවට අත දමා තම මුදල් පසුම්බිය ගෙන එය හොරා අතේ තැබීය. ලකී කලබල නොවී තම මුදල් පසුම්බිය අතට ගෙන ඉන් රුපියල් පන්සීයේ නෝට්ටුවක් ඉවතට ඇද එය අසෝක අත තබා මෙසේ කියා අනතුරුව මුදල් පසුම්බිය හොරා අත තැබීය.

“මෙන්න ගිය සුමානෙ එල්ෆින්ස්ටන් එකේදී මම උඹෙන් ණයට ගත්ත රුපියල් පන්සීය”


අහලා කියන්නම්

රමේෂ් සූරියාව දැක්කෙ ටෙලි නාට්‍යයක රූප ගත කිරීම් සඳහා දඹුල්ලේ ගත කළ දවස්වලදී. ඈ එම ටෙලි නාට්‍යයේ එක් චරිතයක් රඟ පෑ රූමත් කාන්තාවක්. දකින දකින රූමතියන් පස්සේ යන පුරුද්දක් රමේෂ්ට තිබුණා. ඒ අනුව ඔහු සූරියා පස්සෙනුත් වැටුණා.

දවසක්දා අහල පහළක කවුරුවත් නැති වෙලාවක ඔහු සුරියා ළඟට කිට්ටු කළා.

“මං ඔයාට ගොඩක් ආදරෙයි. මං කැමතියි ඔයාව බඳින්න. ඔයා මට කැමැත්ත දෙනවද ?” ආදරයටත් වඩා කෑදරකම උතුරා යන දෑසින් සූරියාගේ පිරිපුන් දේහයට ඉව අල්ලමින් රමේෂ් ඇසුවා.

“මම අහලා කියන්නං” සුරියා ලැජ්ජාවෙන් මෙන් සිනාසී පිළිතුරු දුන්නා.

“කාගෙන්ද” අම්මාගෙන්ද තාත්තාගෙන්ද ?” ඇගේ පිළිතුරෙන් ප්‍රමෝදයට පත් රමේෂ් වහාම ඇසුවා.

“නෑ මගේ මහත්තයාගෙනුයි. ලොකු පුතා ගෙනුයි” සුරියා කිව්වා.