උපත් පාඩම

උපත් පාඩම

හයවැනි ශ්‍රේණියේ සිට ලිංගික විද්‍යාව අනිවාර්ය වීම නිසා ඒ සම්බන්ධයෙන් ළමයින්ට මූලික දැනුමක් ලබාදෙන්න ගරු මහත්ම මහත්මීන්ට සිදු වුණා. “සුලෝචනා” මිස්ටත් මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණා. මුල් පාඩම් කීපයෙන් පසු ‘දරු උපත්’ පාඩමේ දී දරුවන්ට තම තමන්ගේ මාපියන් ගෙන් ඒ පිළිබඳ තොරතුරු සොයාගන්න ඇය දරුවන් යොමු කළා. “මාපියන් ගෙන් අහලා ඒ ගැන ලියාගෙන එන්න” කියලා ඇය ළමයින්ට කීවා.

සුනිල් ඇගේ පංතියේ දරුවෙක්. එදා ගෙදර ගිය ගමන් ඔහු මා පියන් ගෙන් ඒ ගැන ප්‍රශ්න කළා.

“මං කොහොම ද ඉපදුනේ අම්මෙ!” ඔහු ඇසුවා.

මේ ප්‍රශ්නයෙන් අම්මයි තාත්තයි ගල් ගැහුණා. දෙන්නම ටික වේලාවක් මුණු මුණු ගෑවා. අන්තිමේදී තාත්තා මෙහෙම කීවා.

“පුතේ ඔයාව අපට ගෙනත් දුන්නේ දෙයියො.”

“එහෙමද? එතකොට අම්මයි තාත්තයි ඉපදුනෙ කොහොම ද? සුනිල් ඇසුවා.

“ඒත් පුතේ එහෙමම තමයි. දෙයියො අපිව ගෙනත් දීලා තියෙනවා” අම්ම කීවා.

“එතකොට කොහොම ද ආච්චියි සීයයි ඉපදිල තියෙන්නේ” සුනිල් ප්‍රශ්න කළා.

“ඇයි පුතේ ඒත් එහෙම තමයි. ඒ අයත් දෙයියො ගෙනත් දීලා තියෙන්නේ” තාත්තා කීවේ සුනිල්ගේ ඔළුව අතගාමින්.

පහුවෙනිද සුලෝචනා මිස් පංතියට ඇවිත් සේරම ළමයින් ගෙ පොත් එකතු කරගත්තේ ළමයි මොනවද ලියල තියෙන්නේ බලන්න. උඩින්ම තිබුණෙ සුනිල්ගේ පොත. ඇය එය පෙරළල බැලුවා. ඔහු මෙහෙම ලියලා තිබුණා.

“අපේ පවුලෙ උපත් සිදුවී තිබෙන ආකාරය ගැන හරි තොරතුරක් ලබා ගැන්ම අමාරුයි. ඊට හේතුව වී තිබෙන්නේ පරම්පරා තුනකදීම අපේ පවුල්වල ස්වභාවික දරු උපතක් සිදු නොවී තිබීමයි.”