අප නොසිතන රෝග ගණනාවකට මුල බඩේ කැක්කුම විය හැකියි

අප නොසිතන රෝග ගණනාවකට මුල බඩේ කැක්කුම විය හැකියි

ඇපෙන්ඩික්ස් හෙවත් උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ද දරුණු බඩේ රිදීමකට හේතුවක්

බඩේ කැක්කුම, බඩ රිදීම, බඩ කොරවීම, බඩේ වේදනාව බඩ දැවිල්ල ආදී විවිධ නම් වලින් හැඳින්වෙන රෝග ලක්ෂණය අප කාහටත් හුරු පුරුදුය. ශරීරයේ ඇතිවන සුලබ රෝග ලක්ෂණයක් වන බඩරිදීම ඉතා සරල හේතූන්හි සිට දරුණු රෝග තත්ත්වයන් දක්වා වන රෝග පරාසයක් සඳහා ඇතිවිය හැකිය. කෙසේ වෙතත් වේදනාව දැනෙන තැන හෝ ප්‍රදේශය හෝ මෙන්ම රිදීම ඇතිවන වේලාව සහ ආකාරය පිළිබඳව යම් විනිශ්චයන් කිරීම තුළින් පසුබිම් රෝගය පිළිබඳව කිසියම් නිගමනයක යෙදීම අසීරු නොවේ.

බඩේ කැක්කුම වැඩිපුරම ඇතිවන්නේ ආහාර අජීර්ණය, පාචනය හා අතීසාරය යන රෝග සමඟය. මෙහිදී බඩේ මැද පෙදෙසින් මුලින්ම ඇතිවන වේදනාව වම් පැත්තේ පහල පෙදෙසට විිහිදී යා හැකිය. වැසිකිලි යාමත් සමඟ සුළු සහනයක් ලැබුණ ද නැවතත් මතුවීමට ද පුළුවන. අතීසාරයේදී බොහෝවිට බඩ කොරවීම වැනි ලක්ෂණ ද දැකිය හැකිය. මල, දියට බුරුලට යන්නේ නම් එය දියරමය පාචනය විය හැකිය.

එසේම මල සමඟ ලේ පවතී නම් එය ලේ අතීසාරය ලෙස හඳුන්වන බැක්ටීරියානු ආසාදන තත්ත්වයක් විය හැකිය.

බඩ රිදීම රෝග ලක්ෂණය කරගත් අනෙක් ප්‍රධානතම ආසාදන තත්ත්ව මුත්‍රා ආසාදන ය. උදරය දෙපැත්තෙන් ඇතිවන වේදනාව පිටුපස පෙදෙසට හා ලිංගේන්ද්‍රිය දෙපසට පැතිර යයි. බඩ කොරවීම, මුත්‍රා දැවිල්ල සහ මුත්‍රා කරන විට වේදනාව සහ උණ ද මුත්‍රා ආසාදන ලක්ෂණය.

වකුගඩු, මුත්‍රාශය සහ මුත්‍රාවාහිනීවල ගල් ඇතිවීම හෝ හිරවීම හෝ නිසා ඇතිවන බඩ රීදීම ඉතා තදබල ලෙස උග්‍රව දැනේ. සමහරවිට මුත්‍රා කිරීමට නොහැකි තරම්ම තත්ත්වයක් ඇතිවිය හැකිය. පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම නිසා ද වැඩිහිටි පිරිමින්ට බඩේ වේදනාව ඇතිවිය හැකිය. එහිදී ද මුත්‍රා පහ කිරීමේ අසීරුතාව හා වේදනාව දැනීම පැවතිය හැකිය.

කාන්තාවන්ට මාසික ආර්තවය (ඔසප් වීම) නිසා ද වේදනා දැනේ. ආර්තවය සිදුවීමට දින 14කට පෙර එනම් ඩිම්බ සෛල ඩිම්බ කෝෂයෙන් මුදාහැරීම ආසන්නයේදී සමහර අයට මෙම වේදනාව ඇතිවන අතර සමහර කාන්තාවන්ට ඔසප් ඇරඹීමට පෙර දිනයේ සිට ඔසප් පවතින කාලය පුරාම වේදනාව තිබිය හැකිය. මෙහිදී බඩේ පහල පෙදෙස පුරා විහිදී යන වේදනාවක් දැනේ. සමහරවිට මෙම වේදනාව පිටුපස ප්‍රදේශයට කලව දෙසට පැතිර යාමට ද පුළුවන.

ඇපෙන්ඩිසයටීස් හෙවත් උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ද දරුණු බඩේ රිදීමක් ඇති කරයි. ඉවසා සිටීමට අසීරු එසේම මඳ උණක් සහ ඔක්කාරය සහ වමනය ද ඇතිවන මෙම අවස්ථාවේදී වේදනාව බඩේ මැද පෙදෙසේ සිට පහළ දකුණු දෙසට විහිදී යයි. බඩ වේලීම (මල බද්ධය ද) මෙහිදී තිබිය හැකිය.

බඩේ දකුණු පැත්තේ ඉහළ ප්‍රදේශයේ (පපු ඇටයට පහළින්) දැනෙන වේදනාව, උණ ගැනීමක් වැනි කෙඩෙත්තු ගතියක් ද ඇඟට ඇති කරයි.

විඩා ගතිය, මුත්‍රා කහ - දුඹුරු පැහැයක් ගැනීම ද ඇස් කහපාට වීම ද මෙහිදී සුලබව දැකිය හැකිය. හෙපටයිටීස් හෙවත් සෙංගමාලය ලෙස හැඳින්විය හැකි මෙම තත්ත්වයේදී මල කළු පැහැ ගැනීම ද ලක්ෂණයකි. ඒ, බී, සී, ඊ, ආදී සෙංගමාල වර්ග කිහිපයක්ම තිබෙන අතර ඒවා සමහරක් දූෂිත ආහාර පාන මඟින් ද අක්මාවට දූෂිත ලේ මිශ්‍ර වීමෙන් හා ලිංගික සම්බන්ධතා හරහා ද පැතිරෙයි.

මෙම රෝග ඉතා දරුණු සංකූලතා ඇති කරන බැවින් රෝග ලක්ෂණ දුටු වහාම ප්‍රතිකාර ගැනීම මෙන්ම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ද පමා නොකළ යුතුය. ආමාශයේ වණ සහ අම්ල ගතිය නැතිනම් ගැස්ට්‍රයිටීස්, රෝග තත්ත්වයේදී බඩේ ඉහළ කොටසේ දැවිල්ල සහ වේදනාව ඇති වෙයි. මෙම වේදනාව බඩේ ඉහළ කොටසේ දැවිල්ලක් සමඟ මතුවෙයි. ආහාර ගැනීම, යෝගට් කෑම සහ කිරි පානය මෙන්ම ප්‍රති ආම්ලික ඖෂධ, මෙහිදී යම් සහනයක් ලැබීමට ගත හැකි පියවරකි.

බර, සැර (මිරිස්/ කුළුබඩු සහිත) මෙන්ම තෙල් (මේදය) බහුල ආහාර වේලක් ගැනීම නිසාද අසීරුතාවක්, බඩ පිපුමක් සහ වේදනාවක් දැකිය හැකිය. ආමාශයේ සිට උගුර දෙසට ඇදෙන “ආමවාතය” නිසා බඩ පපුව දැවෙන ස්වභාවයක් ද ඇති කරයි. ඔක්කාරය සහ උගුරට ඒම ද මෙහිදී දැකිය හැකිය.

මළ බද්ධය නැතිනම් බඩ වේලීම නිසාද බඩේ කැක්කුම ඇති වෙයි. බඩේ සෑම පෙදෙසකටම විහිදී යන වේදනාව මෙන්ම සමහර අවස්ථාවලදී බඩේ වම් පැත්තේ වැඩිපුර ඇතිවන වේදනාව ද මල බද්ධය නිසා ඇතිවන බවට සැක කළ හැකිය. විශේෂයෙන්ම කුඩා ළමයින්ගේ බඩ වේලීම ඇති වූ විට තරංග ලෙස උදරය පුරා විහිදී යන වේදනාව බඩ කොරවීම ලෙසද හැඳින්වෙයි. සමහර කුඩා ළමයින්ට පාචනය ඇතිවන විට ද මෙවැනි බඩේ කොරවීම් ඇතිවිය හැකිය.

හදිසියේම බඩේ ඉහළ කොටසේ ඇතිවන වේදනාව පිත්තාශයේ ගල් ඇති වීම නිසා උපදින්නක් විය හැකිය. විශේෂයෙන්ම තෙල් හා මේදය බහුල ආහාර වේලක් ගත්විට මෙම වේදනාව දැකිය හැකිය.

ඩෙංගු රක්තපාත උණ ඇතිවිට උදර කුහරයට රුධිරය වෑස්සුනහොත් ද උදරය රිදීම් ඇති විය හැකිය. අක්මාව, ගර්භාෂය, ඩිම්බ කෝෂය, ආමාශ, අන්ත්‍රය, අග්න්‍යාසය ආදී උදර ප්‍රදේශයේ ඇති ඉන්ද්‍රියයන්හි පිළිකා තත්ත්වයන් ඇති වුවහොත් එයද බඩේ රිදීමක් සිය රෝග ලක්ෂණ කරගත හැකිය. කාන්තාවකගේ ඔසප්වීම ආශි‍්‍රත ගැටලු පැවතීම ද (උදර වේදනාවන්ට හේතු වෙයි.) මෙහිදී අවධාරණය කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ මෙම රෝග ලක්ෂණ මත පමණක් නොයැපී බඩේ රිදීමක් ඇති වූ විට වෛද්‍යවරයකු හමු වී උපදෙස් පැතිය යුතු බවයි.