කායික-මානසික නිරෝගී දරුවකු හදා වඩා ගන්නේ කෙසේද?

කායික-මානසික නිරෝගී දරුවකු හදා වඩා ගන්නේ කෙසේද?

පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වෛද්‍ය

ජී.ජී. චමල් සංජීව

ඒ. හේමජීව

නිරෝගි දරුවකු මෙලොවට බිහි කිරීම සහ එම දරුවා නිරෝගීව හදා වඩා ගැනීම සෑම මවකගේම මෙන්ම පියෙකුගේම ඒකායන ප්‍රාර්ථනය වන්නේය. දරුවාගේ කායික, මානසික සංවර්ධන සඳහා මවුපියන්ගෙන් හිමි වන ජාන හා පාරිසරික හේතුන්ද එක හා සමානව බලපානු ඇත. මෙම සාධකයන් දරුවාගේ මොළයේ සෛල කෙරෙහි ඍජු බලපෑම් ඇති කරනු ලබයි. එසේ නම් ජානමය හේතු කෙසේ වෙතත් දරුවාට වඩාත් හොඳ, ගුණදායක පරිසරයක් මවා දීමට හැකි නම් එවැනි පරිසරයන් තුළ ජීවත් වන දරුවන්ගේ වර්ධනය වඩාත් යහපත් වනවා ඇත. දරුවාගේ කායික හා මානසික පරිසරය උපරිම ලෙස දියුණු වීමට හැකි හිතකර පරිසරයක් ගොඩ නැගීම මවුපියන් වන කාගේත් යුතුකම මෙන්ම වගකීමක් ද වනු ඇත. කුඩා දරුවාගේ වයස අනුව කායික සහ මානසික වර්ධනය කෙරෙහි බලපානු ලබන සාධකයන් ද වෙනස් වේ. වයස අවුරුද්දට අඩු දරුවන්ගේ ලෝකය නිර්මාණය කර දෙනුයේ මවුපියන් විසිනි. මෙහිදී දරුවාට නිදහසේ තමන්ගේ කායික ක්‍රියාවන් සිදු කිරීමට නොහැකි වේ. ඔහු තම කායික ක්‍රියාකාරකම් සිදු කළ යුතු වන්නේ දෙමාපියන්ගේ සීමා මායිම්වලට යටත්වය. දරුවා ක්‍රමයෙන් වැඩීමත් සමඟ එනම් ප්‍රාථමික පාසල් වයස වනවිට නිදහසේ තම කායික ක්‍රියා සිදු කිරීමට දරුවන්ට අවස්ථාව සැලසේ.

එමඟින් ඔවුන් සමාජය සමඟ සබඳතාවන් පැවැත්වීමට පටන් ගනු ලැබේ. ක්‍රමයෙන් දරුවා වැඩීමත් සමඟ කායික ක්‍රියාකාරකම් වර්ධනය වනු ඇත. මෙම වර්ධනයත් සමඟ සංකීර්ණ අවශ්‍යතා ඇති වේ. මේ සංකීර්ණ අවශ්‍යතාව මත දරුවෙකුගේ ප්‍රධාන අංශ හතරක් සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාව අවධානය යොමු කෙරේ.

* දැඩි කායික ක්‍රියා

* සියුම් කායික කි‍්‍රයා

* කථන, භාෂා සහ ශ්‍රවණය

* සමාජීය ආකල්ප සහ චර්යා රටා ආදී වශයෙන්

දරුවෙකු වර්ධනය වන විට අපට පැහැදිලිව පෙනෙනුයේ නැගිටීම, පෙරළීම, ඇවිදීම වැනි දැඩි කායික ක්‍රියාවන්ය. අතේ ඇඟිලිවලින් යම් යම් දේ ඇල්ලීම සියුම් චලනයන් සේ සැලකේ. මෙහිදී දරුවාගේ පෙනීම, ඇසීම හා කථනය වැදගත් වන්නේය.

කුඩා දරුවෙකුගේ වර්ධනය ආවාට ගියාට සිදු වන්නක් නොවේ. එය ක්‍රමානුකූලව සිදුවන්නකි. මෙය developmental milestones ලෙස වෛද්‍ය විද්‍යාව හඳුන්වා දේ.

දරුවා වයසින් වැඩීමත් සමඟ ඊට සමගාමීව වර්ධන පියවරවල් අත්පත් කර ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් වයසට අනුරූපව දරුවාගේ කායික හා මානසික වර්ධනයක් සිදු නොවේ නම් එය developmental delay  ලෙස හඳුන්වයි. මේ තත්ත්වය ඇති වන්නේ කායික, මානසික, ජානමය හෝ පාරිසරික සාධකවල ඇතිවන බලපෑමක් හේතුවෙනි.

උදාහරණයක් ලෙස කීවොත් කුඩා දරුවකු වයස අවුරුද්දක් පමණ වනවිට ආධාරයක් ඇතුව නැගී සිට ඇවිදීමට පටන් ගත යුතුය. එහෙත් සමහර ළමුන් එම වයසට කලින්ද තවත් සමහරෙක් එම වයසට වසර එකහමාරක් දෙකක් පමණ ගතවී එම ඉලක්කය කරා ළඟා වේ. මේ අතර තවත් දරුවන්ට කිසිම කාලයක් තුළ ස්වාධීනව ඇවිදීමට නොහැකි තත්ත්වයක් උදා වේ. දරුවා ක්‍රමයෙන් වැඩීමත් සමඟ මාංශ පේශීවල ශක්තිය වැඩි වන අතර ක්‍රමයෙන් ඍජුව තබා ගැනීමට හැකි වේ. පළමුව වාඩි වීමටත් ඉන් අනතුරුව සිට ගැනීමටත් හැකි වේ.

ක්‍රමයෙන් දරුවාගේ කායික හා මානසික වර්ධනය සිදුවන විට දරුවාගේ සියුම් චලන සිදුවීම ආරම්භ වේ. ඇස විවිධ චලනය වන වස්තූන් දෙස යොමු කරන අතර අතේ ඇඟිලි වලින් කුඩා වස්තූන් අල්ලා ගැනීමට හැකි වේ. කාලය ක්‍රමයෙන් ගත වනවිට එක් අතකින් තවත් අතකට වස්තූන් හුවමාරු කිරීම හැකි වේ.

මාස 6ක පමණ කාලයක් ගත වීමත් සමඟ කුඩා දරුවන් සිනා සීම ආරම්භ කරනු ඇත.

මාස 08 පමණ වනවිට ආගන්තුකයින් හඳුනා ගැනීමට දරුවාට හැකි වේ. දරුවාගෙන් සමුගෙන යන අයට අතවනා කට වචනයෙන් ප්‍රතිචාර දැක්වීමට (ටටා, බයි බායි) කීමට මාස 10 ක පමණ කාලයක් ගත වේ.

අවුරුද්දක් අවුරුදු එකහමාරක් අතර කාලයේදී සෙල්ලම් බඩුත් සමඟ විනෝද වීමට පටන් ගනී. සෙල්ලම් කිරීමේදී ඔවුන්ගේ මානසික ක්‍රියාවල වර්ධනය සිදු වන අතර අජීවී වස්තූන් සජීවී ලෙස උපකල්පනය කරමින් සිදු කරන මෙම ක්‍රියාවන් ඔවුනට සමාජයට මුහුණ දීමට අත්වැලක් සලසයි. මුළු ලෝකයේම සිටින්නේ තමන් පමණක් යැයි ඔවූහු සිතති.

ශබ්දයට කුඩා දරුවන් සංවේදී වේ. කුඩා ශබ්දයට වුවද වහා තිගැස්සෙන අතර පළමුව තනි අකුරේ ශබ්ද නඟමින් පිට කරයි. මේ සඳහා වසරක පමණ කාලයක් ගත වේ. වචන දෙකේ වාක්‍ය ප්‍රකාශ කිරීමට වසර දෙකක් පමණ කාලයක් දරුවකු ගනු ලැබේ.

දරුවන්ට ඇත්තේ සුන්දර පරිසරයකි. මෙම පරිසරය සමාජයේ විවිධ කොටස්වල දායකත්වයෙන් ගොඩනැගුණකි. සමාජීය බලපෑම ළමා ලෝකය නිර්මාණයේදී ඍජුව සහ වක්‍රාකාරයෙන් බලපෑම් ඇති කරවනු ලබන්නේය. මිනිසාගේ ජිවිතයේ උදෑසන අවධිය ළමා කාලයයි. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ උදෑසන ලබා ගන්නා අත්දැකීම් මතය. ළමා ලෝකය ගොඩ නැංවීම කෙරෙහි ඔහුගේ ලිංගිකත්වය, ජාන පසුබිම, කායික සෞඛ්‍යය, පරිසරය බලපානු ලබයි. ළමයාගේ වයස සමඟ මෙම පරිසරය නිර්මාණය වන අන්දම වෙනස් වන අතර කුඩා අත දරුවකුගේ හෝ බිම දණ ගාන ළදරුවකුගේ අනාගතය කෙරෙහි නිවසේ පරිසරය ඍජු දායකත්වයක් දරයි. පාසල් යන වයසේ දරුවෙකුගේ අනාගතය කෙරෙහි පාසල් පරිසරය බලපාන අතර තවදුරටත් වයසින් වැඩෙත්ම තමා අවට තමන් ආශ්‍රය කරන සම වයසේ මිතුරන් හා පාරිසරික සාධකවල ඍජු දායකත්වය ලැබේ.

සංගීතය නාද රටා ක්‍රීඩා, විලසිතා සහ දේශපාලන කටයුතු වලද ආධාර උපකාර ළමා ලෝකය ගොඩ නැංවීමට එය හේතු වේ.

දරුවන්ගේ ලෝකය ගොඩනැංවීමේදී මවුපියන්ගෙන් ලැබෙන පරිසරය ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල මව හා පියා සමඟ ජීවත් වීමට දරුවාට සිදු වේ. මෙම පරිසරය දරුවාට ඉතාමත් සුරක්ෂිතය. එහි දරුවාට අවශ්‍ය ආදරය හා කරුණාව අවශ්‍ය පමණටත් වඩා තිබේ. ඒ අනුව දරුවාගේ අනාගතය ඉතාමත් පැහැදිලිය.

එහෙත් යුරෝපා රටවලදී මෙම තත්ත්වය වෙනස්ය. බොහෝවිට දරුවන්ට ජීවත්වීමට සිදු වන්නේ මව හෝ පියා සමඟ පමණි. මෙහිදී දරුවාගේ මනසේ නිර්මාණය වන්නේ වෙනමම පරිසරයකි. දරුවාට මවගේ මෙන්ම පියාගේ ද ආදරය එකහා සමානව නොලැබේ. ඒ අනුව දරුවන් මවුපියන් හැර යාමේ පරිසරයක් නිර්මාණය වන්නේය.මවුපියන්ට දරුවන් කෙරෙහි එතරම් ආදරයක් ඇති නොවීමට හේතුවක් වේ.

නිවසේ සාමකාමී පරිසරයක් නොමැති වූ විට දරුවා තුළ සංකීර්ණ මනෝභාවයන් ජනිත කරවයි. මෙය අනාගතයේදී බරපතල සමාජ ආර්ථික දේශපාලන ගැටලු රැසක් ඇති කරවීමට හේතු වේ. විශේෂයෙන්ම නූතන නාගරීකරණය සහ මවුපිය දෙදෙනාම රැකියාවල නිරත වීමේ ප්‍රතිඵලයන් ලෙස දරුවාට මවුපියන්ගේ ආදරය ලැබෙන කාලය අඩු වී ඇත. දරුවන්ට දිවා කාලයේ ගෙවීමට සිදු වනනේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලය. මේ අනුව දරුවන්ට මවුපියන්ගෙන් ලැබිය යුතු ආදරය හා කරුණාව නොලැබෙනු ඇත. දරුවන්ට මවුපියන්ගේ ආදරය හා කරුණාව නිරන්තරයෙන්ම ලැබීම මඟින් ඔවුන්ගේ අනාගතය සාර්ථක වන්නේය.

තම පවුලට අලුතින් සාමාජිකයකු එකතු වීමෙන් දරුවන් තුළ වෙනමම ආකල්පයක් සහ සංකල්පමය වෙනසක් ඇති කරවන්නේය. තමන්ට මෙතෙක් දක්වන ලද ආදරය සමාජිකයෙකුට හමුවීමද දරුවන්ගේ මනස තුළ දැවැන්ත වෙනසක් ඇති කරනු ලැබේ.

දැඩි ආත්ම විශ්වාසයකින් හෙබි අනාගතයක් නිර්මාණය කිරීම කෙරෙහි දරුවන්ට වැදගත් වන්නේ මවුපියන්ගේ ආදරය බැඳීමය. මෙය දරුවාගේ මනස තුළ ප්‍රබල බැඳීමක් ජනිත කරවන්නේය.