ළමයින්ගේ වෙසක් කූඩු

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් වෙසක් බලන්නට ඇවිදින්න පටන් ගත්තේ, වෙසක් ලැබෙන්නටත් පෙර ය. හැම තැන ම අමුතු වෙසක් ය. ලස්සන ය. වැඩියක් ම ලස්සන ළමයි නිසා ය. වෙසක් සැරසෙන්නේ ද ළමයි නිසා ය. වෙසක් බලන්නේ ද ළමයි ය.

" මං කියන්නේ ළමයි නැත්තං වෙසක් නෑ ඇම්බන් මහත්තයා...” කියා ටොම්සන් මහත්තයා කීවේ ඇවිද ගෙන යන ගමන් ය.

" ඒක නං ඇත්ත ටොම්සන් මහත්තයා, වැඩිහිටියෝ මේවායේ හිටියාට, මේ හැම එක්ක ම එල්ල වෙලා තියෙන්නේ ළමයින්ට නේ... ළමයි නැත්තං වෙසක් නෑ.. මාත් ඒ කතාව පිළි ගන්නවා.. ”

පාරේ ඇවිද ගෙන යමින් සිටි ටොම්සන් මහත්තයා වට කර ගත්තේ ළමයින් පිරිසකි.

" ඇයි? මොකද පුතාලා මේ... ? මොකක් ද ප්‍රශ්නේ...? ” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ය.

ළමයි එක පොදියට සිනහසුණහ. ඒ හඬ අනෙක් තිදෙනාට ම ඇසුණේ දිය ඇල්ලකින් වතුර වැටෙනවා වාගේ ය.

" අනේ මාමේ අපේ වෙසක් කූඩු ටික හදා ගන්න උදව් වෙන්නකෝ... ” කියා ළමයි ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් ඇද ගෙන ගියේ බට පතුරු ගොඩක් තියෙන තැනකට ය.

" අපටත් හුඟක් කාලෙකින් වෙසක් කූඩුවක් හදන්න බැරි වුණා. ඒ වුණත් මේ පුතාලා එක්ක අපිත් අද වෙසක් කූඩු හදනවා... හැබැයි මෙහෙමයි.. අපි උදව් කරනවා විතරයි.. ඒ වුණාට වෙසක් කූඩු හදන්න ඕනෑ මේ පුතාලා දුවලා තමයි.. ” කියා ටොම්සන් මහත්තයා කොන්දේසියක් දැම්මේ ය.

" හරි මේ මාමලා අපට උදව් කරන්න.. අපි හදන්නං.”

" දැං මේ කොහේ එල්ලන්න ද මෙච්චර වෙසක් කූඩු හදන්න හදන්නේ... ? ”

" ඇයි? අපට හෙට ඉස්කෝලේ එල්ලන්න... අපේ ලොකු ටීචර් කිව්වා නේ. අපි ඔක්කෝට ම ගෙදරින් වෙසක් කූඩුව බැගින් හදා ගෙන එන්න කියලා.. ඉස්කෝලේ එල්ලන්න.. ”

" හරි.. එහෙනං හදමු කෝ...”

දැන් ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් වෙසක් කූඩු හදන්නට ළමයින්ට උදව් කළහ. හැබැයි වෙසක් කූඩු බැන්දේත්, කොළ කැපුවේත්, ඇලෙව්වේත් ළමයි ම ය. වෙසක් කූඩු ගණන ද දහයකි. එක එක පාටවලින් රැළි එල්ලෙන, එක එක පාටවලින් සව් කඩදාසි අලවා ඇති වෙසක් කූඩු ටික බලන්න හරි ලස්සනයි.

" මං කියන්නං.. අපි මේ වෙසක් කූඩු ටික මෙතන එල්ලලා බලමු.... එතකොට අපට දැන ගත්තහැකි මේවායේ හැටි... ”

හැමෝ ම එක් වී වෙසක් කූඩු දහය එල්ලූහ. ළමයින්ට නම් හරි ම සන්තෝස ය.

" මේක මගේ එක. මේක මං හැදුවේ.... මේකේ රැළි කපලා දුන්නේ මං... ” කියා දුවලා පුතාලා කෑ ගසන්නට පටන් ගත්තහ.

" මොකද උන්නැහේට හිතෙන්නේ මේ වෙසක් කූඩු ගැන.. ? ” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ය.

උන්නැහේ වෙසක් කූඩු දහය ඒ කෙළවරේ සිට මේ කෙළවරටත්, මේ කෙළවරේ සිට ඒ කෙළවරටත් බැලූවේ ය. තව ම එළිය දල්වා නැත. එළිය දල්වන්නේ පාසලට ගෙන ගිය පසු ය.

" මට නං හිතට හරි නෑ වගේ... ” කියා උන්නැහේ කීවේ ය.

" ඒ මොකද ඒ උන්නැහේ.. හිතට හරි නෑ වගේ කියන්නේ... මට තේරෙන්නේ නෑ.. " කියා ඇම්බන් මහත්තයා ඇසුවේ ය.

" මේක නේ ඇම්බන් මහත්තයා, මේ රැලි කපලා තියෙන හැටි කිසි ම පිළිවෙළකට නෑ.. මේ කඩදාසි හරියට ඇදලා අලවල නෑ.. මේවා අලවලා තියෙන්නෙත් පාප්ප ගුලි මතුවෙලා පේන්න.. අනික් එක මට නං එක වෙසක් කූඩුවක්වත් අටපට්ටං නෑ.. කූඩු ටික අටපට්ටං කියලා හිතා ගන්න විතරයි තියෙන්නේ.. එහෙං ඇදවෙලා.. මෙහෙං ඇදවෙලා.. මට නං හිතට හරි නෑ... ” කියා උන්නැහේ කීවේ ය.

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් කට කොනකින් සිනහසුණහ.

" දැන් උන්නැහේට පේන්නේ මේ වෙසක් කූඩු අටපට්ටං වගේ නෙවෙයි නං දස පට්ටං වගේ ද ?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේ ය.

" ඔව්.. එහෙම කියන එකත් හරි.. ඒ වගේ තමයි.. ”

" මේ උන්නැහේ... මේවා මේ ළමයින්ගේ වැඩ නේ.. පේන්නේ නැද්ද? ළමයි කරන ඒවා ඔය විදිහට අගය කරන්න පුළුවන් ද? ” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ය.

" ඇයි බැරි..? අටපට්ටං දසපට්ටං වෙන්න බෑ නේ.. අනික් එක අපිත් උදව් කළා නේ.”

" ඒක නිසා තමයි මේවා ළමයින්ගේ වැඩ කියන්නේ.. ඉතිං ළමයි හදාපු වෙසක් කූඩු ඇදවෙලා, දසපට්ටං වෙලා... රැළි පැටලිලා තියෙන එක තමයි ලස්සන.. ළමයින්ට පුළුවන් ද ඊට වඩා හොඳට හදන්න... බෑ නේ... අන්න අපි මෙතනට වෙලා මේවා ගැට ගහලා.. කඩදාසි අලවලා දුන්නා නං මීට වඩා ටිකක් හොඳ වෙයි. ඒ වුණාට ඊට වඩා නරක ද මේ ළමයි ම හදාපු මේ ඇද වෙච්චි,... රැළි ඇද වෙච්චි වෙසක් කූඩු ටික...කඩදාසි ඉරිච්චි වෙසක් කූඩු ටික... උන්නැහේ ව ආයෙත් සැරයක් මුල ඉඳන් ඉස්කෝලේ යවන්න වෙයි... ” කියා ටොම්සන් මහත්තයා කීවේ ය.

" මේ පුතාලා.. දුවලා මෙහෙ එන්න... හරි ඔහොම වට වෙන්න. දැන් දුවලා පුතාලා කියන්න බලන්න මේ වෙසක් කූඩු ලස්සන ද කියලා.. ”

" හරීරීරීරී ලස්සනයි.. ” කියා ළමයි ටික සිනහ නැඟුවෝ ය.

" හරි ... එහෙනං මේ ටික හෙට ඉස්කෝලෙට අරං ගිහිල්ලා එල්ලන්න.. කවුරු හරි මේ උන්නැහේ මාමා වගේ කෙනෙක් කිව්වොත් මේ වෙසක් කූඩු ඇද වෙලා,.. කිසි ම පිළිවෙළක් නෑ කියලා.. එතකොට මේ දුවලා පුතාලා කියන්න මේවා හදාපු අපි පුංචි ළමයි... ඉතිං අපට හරි ලස්සනයි මේවා..කියලා..."

ළමයි තාලෙට කෑ ගසන්නට පටන් ගත්තේ මෙසේ කියමිනි.

"ළමයින්ගේ වෙසක් කූඩු ලස්සනයි.. අපි හදාපු වෙසක් කූඩු ලස්සනයි... ”