මට නින්ද යන කොටම හිමාලි මගේ ළගට එනවා

මට නින්ද යන කොටම හිමාලි මගේ ළගට එනවා

අම්බලන්ගොඩ නිහාල් තිස්පස් හැවිරිදි තරුණ විවාහකයෙකි. ඔහු අසිතා සමඟ විවාහ වී වසරකට වඩා කාලයක් ගතව නැත. දෙපා අසාමන්‍ය ලෙස ඉදිමී දැඩි ලෙස රෝගාතුරව තරුණ හැඟීම් වියැකී ගොස් අඹුසැමි සම්බන්ධතාවලින් ඈත්ව සිටින අසිතා නිහාල් සමඟ කතා කළොත් ඒ නොමනාපයකින්ම ය. කතාව නතරවන්නේ අඩදබරයකින් ය.

කිසිම පැහැදිලි හේතුවක් නැතිව උදාවී ඇති මේ තත්ත්වයෙන් අසිතා මුදා ගන්නට නිහාල් නොකළ වෙදකමක් නැත. ඒවායෙන් ලැබුණු සුවයක් ද නැත. දැන් දැන් අසිතා ජීවිතය එපා වී සියදිවි හානි කර ගන්නට ද මාන බලන බවක් පෙනෙන්නට ඇත.

හිතවතකුගේ උපදේසයක් මත නිහාල් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයක් වෙත සිය බිරිය රැගෙන ගියේ ඉන් පසුවය. ඔහු සියල්ල නොසඟවා ගවේෂකයාට කීවේය.

ගවේෂකයා ශක්ති කිරණ එල්ල කරන විට අසිතා ගැහෙන්නට වූවාය. සිහිසුන්ව මුලිනිඳුරූ ගසක් මෙන් වැටුණා ය. ඇය ශාරීරිකව ද මානසිකව ද ඉතාම පහළ තත්ත්වයකට වැටී සිටි බැවින් ඉන් එහා දෙයක් මතුකැර ගන්නට නොහැකිවූ අතර දින විසිදෙකක් ගමේ පන්සලේදී බෝධිපූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් ලැබිණි.

බෝධි පූජා අවසන්කොට ඔවුන් නැවත පැමිණි දිනයේ අසිතා ප්‍රලය වූවාය. ඇය භූතයකු සමඟ රැඳුණාය. එහිදී ගවේෂකවරයා ඒ භූතාත්මය සමඟ සාකච්ඡා කළේය.

“මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ කවුද....?”

“මම හිමාලි.......”

“කවුද හිමාලි කියන්නේ.......?”

“නිහාල්ගෙ පවුල....”

“බොරු කියන්න එපා.... නිහාල්ගෙ බිරිය අසිතානේ....”

“පිස්සුද.....? මමයි නිහාල්ගෙ බිරිය. එදත් එහෙමයි.... අදත් එහෙමයි.... මම අසිතාට නිහාල් එක්ක පවුල් කන්න ඉඩ දෙන්නේ නෑ. දැනුත් නිහාල් එක්ක ඉන්නේ මම.......”

“මොනවා කියන්නේ......? මොකක්ද මේ අණ්ඩර දෙමළ කතාව.....?”

“ඔය ළඟ ඉන්නේ නිහාල්. අහලා බලන්න මම කියන්නේ බොරුද කියලා....”

භූතාත්මය අසිතාගේ ශරීරයේ සිටියදී ම ගවේෂකවරයා මේ කතාවේ ඇත්ත නැත්ත නිහාල්ගෙන් විමසීය.

“ඔව් මහත්තයා.... හිමාලි මගේ පළමුවැනි බිරිඳ. අපි දෙන්නා ඉතාම ආදරෙන් සන්තෝසෙන් ජීවත්වුණේ. ඒත් අපි විවාහවෙලා මාස දෙකයි ගතවුණේ. හිමාලි වාහනයක හැපිලා මැරුණා. මම ඊට පස්සෙයි අසිතාව කසාද බැන්දේ. ඒත් හිමාලි තවමත් මා එක්ක ඉන්නවා. අසිතාටයි මටයි සන්තෝසෙන් සමඟියෙන් ඉන්න හිමාලි ඉඩදෙන්නේ නෑ. අසිතා කාමරයේ තනියෙන් නිදියනවා. මම සාලයේ සැටිය උඩ නිදියනවා. මට යාන්තම් නින්ද යාගෙන එනකොට හිමාලි මගේ ළඟට එනවා.....”

නිහාල් සිද්ධිය අනාවරණය කළේය.

“හි:.....හි:.....හි:............. බොරුද මම කිව්වේ.... මං අසිතාට මගේ නිහාල් එක්ක පවුල් කන්න ඉඩදෙන්නේ නෑ. මම නිහාල්ව දාලා ගියේ නෑ. අසිතාව අරගෙන ආවට මම තරහයි. දැන් මම නිහාල් ළඟින් හෙල්ලෙන්නේ නෑ..... නිහාල්ට සෑම යුතුකමක් ම ඉෂ්ට කරනවා. මේ ගෑනිව මම කොහොමහරි මරනවා. නිහාල් අයිති මටයි..... මේකිව මරනවා..... මරනවා....ම.......යි........”

භූතාත්මය කීවාය.

“තමුන් අම්මා තාත්තා ළඟට ගියේ නැද්ද....?”

ගවේෂකවරයා ඇසීය.

“නැහැ මට ඒ අය මතක නෑ........ මට නිහාල්වමයි ඕනේ......”

තවත් දින දහ හතරක් බෝධි පූජා පවත්වා ඊළඟ දිනයේ හිමාලිගේ මවුපියන් ද කැඳවාගෙන එන ලෙස ගවේෂකයා නිහාල්ට උපදෙස් දුන්නේ ය.

ඊළඟ දිනයේ නිහාල් හිමාලිගේ මවුපියන් ද කැටුව පැමිණියේය. එදින ද අසිතා දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“ මේ දෙන්නා අඳුනනවා ද.....?”

ගවේෂකවරයා හිමාලිගේ මවුපියන් පෙන්වා ඇසීය. විනාඩි කිහිපයක් ඒ දෙදෙනා දෙස දෑස් ලොකු කර බලා සිටි භූතාත්මය, “අනේ..... මගේ අම්මේ.... මගේ තාත්තේ.....” යැයි ඔවුන් බදාගෙන අඬන්නට වූවාය.

“ඇයි දුවේ..... දුවට මොකද වුණේ.....”

හිමාලිගේ පියා ඇසීය.

“මම මැරුණනේ තාත්තේ......”

“දුවට අපි දාන මාන දී පින් දුන්නනේ... ඒ පින් ලැබුණෙ නැද්ද....?”

“නෑ.... තාත්තේ.... ඒවට මගේ හිත ගියේ නෑ.... හිතට දැනුණේ නෑ. නිහාල්වමයි හිතේ තිබුණේ.....”

භූතාත්මය කීවාය.

“එහෙනම් ඔබ මැරුණ ද....?”

ගවේෂකවරයා ඇසීය.

“ඔව්.... මම මැරුණා.... වාහනේක හැපිලා මැරුණා......”

“හැබෑ ද....? එහෙම නම් ඔබ දැන් හිමාලි නෙමෙයි. හිමාලි මැරිලා..... ඔය ඉන්නේ ප්‍රේතියක්.....”

“ඊය්.....යා..... මම ප්‍රේතියක් ද.....?”

“ප්‍රේතියක් නේන්නම්... නිහාල් ගැන ආසාවෙන්, තණ්හාවෙන් මැරුණු නිසා, මැරෙන වෙලාවේ පහළ වුණ චුති චිත්තයට පෙර, මතුවුණ නිහාල් ගැන තණ්හාව නිසා, ඒ කර්ම නිමිත්ත නිසා, නිහාල් ළඟ ම ප්‍රේතියක් වෙලා උපන්නා. ඒ කර්ම නිමිත්තේ විපාකය වශයෙන් ප්‍රේතියක් ලෙස ප්‍රතිසංන්ධිය ලැබුවා. දැන් මේ අහිංසක අසිතා ගැන ද්වේශයෙන් පළිගන්න හදනවා.”

“ඇයි දුවේ ඔයා ප්‍රේතියක් වුණේ.... අපි ඔයාට පින් දෙන්නම්. ඔය ප්‍රේතාත්මයෙන් මිදී ආයෙත් මනුස්ස බවයක් ලබාගෙන අපි ළඟට ම එන්න....”

හිමාලිගේ මව හඬා වැටෙමින් කීවාය.

“අන්න බලන්න.... මවුපියන්ගේ ආදරය තවමත් වෙනස් වෙලා නෑ. මැරුණය කියලා අමතක කළේ නෑ. තවමත් පින් දෙනවා. තවමත් ආදරෙයි. ඔයා ඒ රත්තරං අම්මටයි, තාත්තටයි ආදරේ නෑ. දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා වදලා හදලා උස් මහත් කරපු අම්මා තාත්තා මතක නෑ. රාගයේ බලවත්කම නිසා නිහාල්වමයි මතක. වෙනත් විවාහයක් කරගත්ත නිහාල් ළඟ ඉන්න ලැජ්ජ නැද්ද....? ඔබ හරිම අසාධාරණයි.....”

ගවේෂකවරයා කීවේය.

“ම්....ම්......ම්.......”

පේ‍්‍රතාත්මය අඬන්නට වූවාය.

“බලන්න.... ඔබ මැරිලා අවුරුද්දෙන් නිහාල් වෙනත් විවාහයක් කරගත්තා. ඔහු ඔබ අමතක කළා. නිහාල් තවමත් තරුණයි. එයාත් ජීවත්වෙන්න ඕනෑ. ඒකයි නැවත විවාහවුණේ. අසිතා බලෙන් ආවා නෙමෙයි. අසිතා ඔබ ගැන දන්නේ නෑ. දැකලත් නෑ. අසිතා අහිංසකයි. එයාගෙන් පළිගන්න එක අසාධාරණයි. ඒක බරපතළ පාපයක්. ඔබ රාග ගින්නෙන් දැවෙනවා. දැවි දැවී ප්‍රේතාත්මයේ දුක් විඳිනවා. අවුරුදු දහස් ගණන් දුක් විඳින්න වේවි....”

“ම්..... ම්........ ම්........ ඉහි.... ඉහි..."

ප්‍රේතිය තවමත් හඬයි.

“හිමාලි ! ඔයා අම්මලගෙ ගෙදර යන්න කැමති ද.....?”

“ඔව්....”

ගවේෂකවරයා හිමාලිගේ මවුපියන් ඇමතීය.

මේ රසිකා ඔය දෙන්නගෙ දුවක් විදියට සලකලා සුමානයක් ඒ ගෙදර නතර කර ගන්න. හිමාලි දුවට සලකන විදිහට ආදරෙන් සලකන්න. අපි හිමාලිගේ ප්‍රේතාත්මය මේ දුක්ඛිත තත්ත්වයෙන් මුදවමු. ඔය දෙන්න අසිතාත් එක්ක ගමේ පන්සලේ දවස් හතක් බෝධි පූජා තියන්න. හිමාලිට පිං අනුමෝදන් කරන්න. දානයක් දී පින් අනුමෝදන් කර එයාව හොඳ තැනකට යවමු.”

ගවේෂකයා යෝජනා කළේය. එයට නිහාල් ද කැමති විය. අසිතා ද කැමති වූවාය. අසිතාගේ මවුපියෝ ද කැමති වූහ.

“හිමාලි... ඔයාත් මේ අය එක්ක බෝධි පූජාවට යන්න. හඬ නගා පන්සිල් සමාදන් වෙන්න. ගාථා කියන්න. තුන් සූත්‍රය කියන්න. එතකොට ඔයාට ඔය ප්‍රේතාත්මයෙන් මිදී ඉහළට යන්න පුළුවන්....”

ගවේෂකවරයා ප්‍රේතාත්මයට ද උපදෙස් දුන්නේය.

සතියකින් පසු දෙපිරිස ම යළි පැමිණියහ. ගවේෂකවරයා අසිතා

දිෂ්ටි ගැන්වීය. පේ‍්‍රතාත්මය ඇමතීය.

“ආ.... දැන් කොහොම ද.....?”

“මම බෝධි පූජාවලට ගියා මම දැන් අසිතා එක්ක තරහ නෑ. නිහාල්ව මට එපා.... මම අම්මයි තාත්තයි කියන දේ අහනවා. මට මෙතැනින් මිදිලා ඉහළට යන්න ඕනෑ. අම්මයි තාත්තයි පන්සලට දානයකුත් දුන්නා. මම හොඳ තැනකට යන්න කැමතියි.”

“අනුරාධපුරයට යන්න කැමති ද...? ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න කැමති ද....?”

“කැමතියි.... කැමතියි......”

හිමාලිගේ මවුපියන් ලවා පූජා වට්ටියක් ගෙන්වා ගත් ගවේෂකයා ඊට භූතාත්මය සම්බන්ධකොට ඔවුන් සමඟ අනුරාධපුරයට යැවීය. සැදැහැවතුන් පුද පූජා පවත්වන විට ඒවාට අතහිත දී සාදු කියා සිත පහන් කරගන්නා ලෙස ද භූතාත්මයට ඔහු උපදෙස් දුන්නේය.

දැන් අසිතා සුවපත්ව නිහාල් සමඟ සතුටින් ජීවත් වන්නේය.